• Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..! • පාඨලීගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාව සභාගත කරයි. • දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් එකතු කිරීමේ සැළකිය යුතු ප්‍රගතියක්. අපේක්ෂිත ආදායමෙන් 44% ක් පළමු මාස 6 තුළ..! එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අගෝස්තු 21 සභාගත කෙරිණ. පාර්ලිමේන්තුව අමතමින් එම අවස්ථාවේ අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට අපි සභාගත කරනවා. විශේෂයෙන්ම කරුණු කිහිපයක් මම අවධාරණය කරන්න කැමතියි. අපි මේ පලවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක සලකා බැලූ කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් රුපියල් බිලියන 1680.2 ක් එනම් අපේක්ෂිත ආදායමෙන් 44% මේ පළවෙනි හය මාසය තුළ උපයලා තියෙනවා ඒකෙ යම්කිසි සැලකිය යුතු ප්‍රගතියක් තිබෙන බව පෙනී යනවා ඒ කාරණා නිරීක්ෂණය කිරීමේදී. පසුගිය වසර තුළ රුපියල් බිලියන 978 ක් බදු අය නොකර බදු සහන ලබාදීම නිසා අහිමි වුණා විතරක් නෙවෙයි තවත් රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදලක් බදු අයකර ගැනීමට නොහැකිව තිබුණා. ඒ අනුව අප විසින් කරන ලද නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටවීමේ නියෝග නවසීයක් පමණ නිකුත් කර තිබෙනවයි කියලා වාර්තා කරලා තිබෙනවා. මේක ඉතාමත්ම අවශ්‍යතාවයක්, මේ හිඟ බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම වසර දහඅටට වැඩි වැඩිහිටියන් මිලියන දාහතක් ඉන්නවා. ඒ දාහත සඳහා Tin නොම්මර නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රියාවලිය තිබුන්නෑ. නමුත් මේ වන විට එයින් මිලියන පහක් පමණ Tin නොම්මර නිකුත් කර තිබෙන බව වාර්තා කරලා තියෙනවා. තවත් මිලියන දොළහක් Tin නොම්මර නිකුත් කිරීමට තිබෙනවා. ඒකත් අපි මේ වසර අවසන් වෙන්න පෙර සිදු කරන ලෙස නියෝග කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒකෙ යම් සාර්ථකත්වයක් තියෙනවා. එහි තියෙන එකම අඩුපාඩුව තමයි මේ Tin නොම්මර ඩ්‍රයිවින් ලයිසන් එක, ඒ වගේම අපේ අනෙකුත් රජයේ අවශ් යතා සඳහා පාවිච්චි කරන අපේ අනන් යතා අංක වලට පොදු සාධකයක් නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා ඒ පොදු සාධකය හැටියට අපගේ හැඳුනුම්පත් අංකය පාවිච්චි නොකළොත් අපට අනාගතයේ මේ කාර්යයන් කිරීම සඳහා රාජ්‍ය ඩිජිටල්කරණයට ලොකු බාධාවක්, මෙවැනි ආයතන වෙන වෙනම අංක ලබාදීම නිසා. මේ ටින් අංකයත් එක්කම අපගේ හැඳුනුම්පත් අංකය ඒකාබද්ධ කරන හැටියට අපි දැනුම් දීලා තියෙනවා. අපි රේගු බදුවල කරුණු තුනක් වැරදි ඉන්වොයිස්කරණ නිසා ඇතිවෙන ප්රශ්නය ගැන කරුණු තුනක් හඳුනාගෙන තියෙනවා. ඒක ඌණ ඉන්වයිස්කරණය (Under Invoicing) අධි ඉන්වයිස් කරණය (Over Invoicing), අදෘශ්‍ය ඉන්වොයිස්කරණය (Ghost Invoicing) ඒ කියන්නේ හොයාගන්න කෙනෙක් නෑ. බදු ආදායම් හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය සඳහා මම කියන්න ඕනේ රටට ගෙන්වන භාණ්ඩ වලින් විශේෂයෙන්ම ආහාර භාණ්ඩ වලින් 25-25 නැමැති තාවකාලික පදනම යටතේ තමයි 65% ගෙන්නන්නේ. ඒ අයගෙන් බදු අය කිරීමක් හෝ වෙනත් කිසිම ආකාරයක ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත්, රේගු දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා. මේ 25-25 ක්ෂේත්‍ර යටතේ ඒ කාලයේ ආහාර හිඟයක් තිබුණා, ඩොලර් හිඟයක් තිබුණා. ඒ අවස්ථාවේ ඒක යුක්තිසහගත කරගන්න පුළුවන්. නමුත් දැන් ඒක මග ඇරලා කටයුතු කරන හැටියට ඒ සඳහා අර හත්දාහ කාණ්ඩයෙන් පමණක් ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දෙන ලෙස කියලා තියෙනවා. මොකද මේ නිසා රටට අහිමි වෙන ප්‍රමාණය ඩොලර් බිලියන හතරක් වාර්ෂිකව. ඒක අපගේ ගෙවුම් ශේෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. මේ ප්රශ්නය අපි හරියට අල්ල ගත්තොත් අපිට මේ රටේ ඩොලර් ප්රශ්නය විසඳා ගැනීමට අවශ්‍යතාව තිබෙනවා කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රශ්නයක් මතු වුණා මේ රත්තරන් ගෙන ඒම ගැන. රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කටයුතු කරලා ව්‍යාපාරික දහ දෙනෙක්ගෙන් හය දෙනෙක් පමණ රත් රං ආනයනය පිළිබඳ කරපු පරීක්ෂාවෙන් ලබාගෙන තියෙන දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.2 ක්. තව බදු මුදල් අය කරගන්න තියෙනවා. ඒ වගේම දඩ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය විධිමත්කරණය කිරීම නිසා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් බිලියන 10 ක පමණ මේ වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් වෙලා තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්නා ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9 ක්. ඒකෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447 ක්. ඒ වගේම වයඹ ඩිස්ටිලර්ස් රෝයල් සිලෝන් සමාගම, රු. මිලියන 560ක්. වයඹ ස්ප්‍රීතු සමාගම රු. මිලියන 281 ක්. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් රු. බිලියන 1.148 ක්. ක්, මැකලම් බෲවරීස් රුපියල් මිලියන 619 ක්, කළුතර සමූපකාර ඩිස්ටීලර්ස් රුපියල් මිලියන 17 ක් හැටියට තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නා මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අයකර ගැනීමට ක්‍රියා කරන්නයි කියලා. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත් යාංශයෙන් නිශ්චිත නියෝගයක් මේ සඳහා පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. නමුත් අපි දන්නවා ගිය වසරේ නොවැම්බර් මාසේ මේ කටයුත්ත තාවකාලිකව කලහම බදු මුදල් එකතු වීම විධිමත් වුණා. විධිමත් වීම නැවත නතර වුණේ මේ බදු මුදල් ආයතන කිහිපයක් පැහැර හරිනවා. සුරාබදු නිෂ්පාදකයින්. ඒ පැහැර හැරීම නිසා අනික් අයත් බදු ගෙවන්නට අපොහොසත් වීම කියන කාරණය. ඒ වගේම අපි අතිශය වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ රාජ්‍ය සඳහා පොදු ඩිජිටල් පහසුකමක් සැපයීම. ඒ කියන්නේ Digital Public Infrastructure (DPI) එකක් ගැන යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපේ අවට කලාපයේ රටවල් හැම එකම මේක කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අද හුඟක් දෙනෙක් භෞතික යටිතල පහසුකම ගැන පාරවල්, වරායවල්, ගුවන් තොටුපලවල්, නැව්, නාවුකාංග, මේවා ඉදිකිරීම ගැන කතා කරනවා. නමුත් ඉතා අඩු මුදලකට මේ පොදු ඩිජිටල් පහසුකම ලබා දෙන්න පුළුවන් නම්, අපේ රටේ DPI ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, අපට රාජ්‍ය අංශය කාර්යක්ශම කරගන්නත් පුළුවන්, මහජනයා බලාත්මක කරන්නත් පුළුවන් ඒ වගේම මහජනයාට තමන් ගෙවන මුදල සාධාරණද කියලා දැනගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කුළුණු තුනක්. එකක් තමයි ප්‍රසම්පාදන කුළුණ. ආහාර කීයටද ගේන්නේ? තෙල් කීයටද ගේන්නේ? ගල් අඟුරු කීයටද ගේන්නේ? පොහොර කීයටද ගේන්නේ? ඖෂධ කීයටද ගේන්නේ? කීයටද විකුණන්නේ කියන එක පිලිබඳ විවෘත වේදිකාවක් තනන්න කියලා. එමගින් මහජනයාට දැනගන්න පුළුවන් තමන් ආහාරවලට ගෙවන මිල කුමක්ද කියන එකත්, ඒ වගේම පාරිභෝගික අධිකාරියට ඒක පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා. දෙවෙනි එක තමයි රජයේ බලපත්‍ර, උප්පැන්න සහතික, මරණ සහතික, හැඳුනුම්පත් සහතික, එහෙම නැත්නම් අපේ ඔප්පු, මේ යන ආදී සියලුම දේවල් ඩිජිටල් වේදිකාවක් මතට ගැනීම විසින්, සෑම කෙනෙකුටම භාෂා භේදයෙන් තොරව අද මේ රටේ දෙමළ භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න තියෙනවා කියනවා, සිංහල භාෂාව කතා කරන අයට විශේෂ ප්‍රශ්න කියලා තියෙනවා. නමුත් මේ තුළින් ජනතාවට බොහෝ දෙනෙක් ඉල්ලා හිටපු ස්වයං නිර්ණ අයිතිය තමන්ගේ පැවැත්ම තමන්ට සහතික කරගෙන ඕනෑම ආයතනයක් එක්ක ගනුදෙනු කිරීමේ අයිතිය, ඒ ස්වයං නිර්ණ අයිතිය ලැබෙනවා. මේ DPI එක අපි හරියට නිවැරදිව ක්‍රියාත්මක කළොත්. තුන්වෙනුව සියලුම ගනුදෙනු සියලුම ආකාරයේ ගනුදෙනු බුලත් විට කඩේ ගන්න ගනුදෙනුවේ ඉඳන් සියලුම ගණුදෙනු, ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට එකක් අපේ තක්සේරුව හැටියට රාජ්‍ය ආදායම් බදු වැඩි කිරීමකින් තොරව දෙගුණයකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද බදු නොගෙවා ඉන්න පිරිසක් ඉන්නවා තමන්ගේ ආදායම වියදම නොදන්න. මේ ක්‍රියාවලිය හරහා ඒකත් කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම මේකේ අවසාන ඉලක්කය හැටියට ඊ රුපියල හඳුන්වා දෙන තෙක් ගමන් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා මේ තමයි අපගේ මූලික කාරණා ටික. ඉතාම වැදගත් නිර්දේශ ගණනාවක් තියෙනවා. පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමත්, පාරිභෝගික අයිතිය තහවුරු කරගැනීමත්, රාජ්‍ය සේවාවන් ලබාගැනීමට මහජනයාට තියෙන අයිතිය තහවුරු කරගැනීමත්, බදු පැහැර හැර සිටින, බදු ගෙවීමට හැකියාව තියෙන අය, බදු දැලට ළඟා කරගැනීම සඳහා වෙච්ච තාක්ෂණික ක්‍රියාදාමයක්, ඒ වගේම, නීතිමය වශයෙන්, ඒ ක්‍රියාවලිය පහසු කරවන ක්‍රියාදාමයක් අපි යෝජනා කර තිබෙනවා.”
2022 අය වැය - පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ඉබ්බාට පියාසර කිරීමත් රාජපක්ෂලාට රාජ්‍ය පාලනයත් කළ නොහැක. _________________________________________ අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය. මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි. ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත. අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි. ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද? එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත. 2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය. බැංකු පද්ධතිය විනාශ කිරීම රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය. 2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත. එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්රියාප්රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධි අවදානම් තත්ත්වයට ගොදුරු වී තිබේ. VAT වෙනුවට පිරිවැටුම් බදු සමාජ සංරක්ෂණ දායක මුදල් නමින් පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින් 'පිරිවැටුම' මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම 'එකතු කළ අගය' මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත. මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත. රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ. අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි. මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම් රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟා කරගත හැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක. මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ. අපට අවශ්‍ය වන්නේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිගුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි. පාඨලී චම්පික රණවක
මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:- • 1980න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත. • නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත. • දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී. • බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි. ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත. පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය - නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති. ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවය. කෙටියෙන්ම කිව හොත් රට සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරනය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත. ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ආසන්න වෙමින් පවතියි. පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ. මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 9 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙනඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි. 2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි. සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි. අනෙක් අතින් තමන්ම සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය. බලයෙන් පවත්වාගෙන යන 'නිල' විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත. ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය. මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්රවල වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ. මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බකරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය. ප්රශ්නය කෝවිඩ්ද? තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය. අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය. එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ නුගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණය. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තිය. විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු. ප්‍රයෝගික වැඩ පිළිවෙලක් අපි ප්රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්රතිව්යුහගතකිරීමයි. • 2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත. • රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය. • එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය. • රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ. මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත. සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම 'රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්' බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි. - පාඨලී චම්පික රණවක *(මෙම සටහන පළමු වරට පළ කරන මොහොතේ දී මා අතින් වරදක් සිදු විය. එනම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශුද්ධ විදේශ වත්කම් ඍණ වීමක් සිදු වූයේ මේ අවස්ථාවේ බවට මම සඳහන් කළෙමි. එය වැරදි බව මම පසුව දැනගත්තෙමි. ඇත්තෙන්ම මීට පෙර අවස්ථා දෙකකදී එසේ වී තිබේ. නමුත් ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු විදේශ වත්කම් ඍණ වීමක් වාර්තා වන්නේ පළමු වතාවට මෙවර ය. මුලින් මේ පිළිබඳව වැරදියට සටහන් කිරීම පිළිබඳව කණගාටු වෙමි.) ---------------------------------------------------------------------------------------------- Can Jack and the bean stalk save the crumbling Central Bank? Ground realities • The net foreign assets of the Central Bank of Sri Lanka have fallen to (negative) levels since 1980s. • Net foreign reserves have become the lowest in last 11 years. • Total combined foreign assets of all local banks have reached USD -3.5 • The money printing factory in Biyagama (De La Rue) is setting record by each day. The above mentioned critical financial issues have now become the ail of the general public. Our Nation is sinking with the financial crisis of the Government and the dearth of foreign currency reserves. The Banking sector is failing to maintain the uninterrupted supply of Medicine, Fertilizer and agrochemicals, LP gas, Petroleum and Coal. It is evident by the ever long queues for Milk powder, LP Gas and the suffering of patients without medicine. The agriculture sector is in chaos with lack of fertilizer. On the other hand, there is a mass exodus of not just professionals but anyone who can find visa abroad. People are in long queues in front of the embassies and the green card applicants have multiplied over the resent months. The general public is anxious and apprehensive. Those who can escape are running away from this country. History teaches us good lessons about the fate of such failed Governments in other countries. The Central Bank road map vs Jack and the bean stalk. The Central Bank of a country is the epicenter of state financial governance. Our Central Bank is at the verge of collapse. However, a proposition which equals nothing but to a Bean Stalk in the fantacy story of Jack and the Bean Stalk has been forwarded as the “road map for the next six months”. The proposals are nothing but fantacies and imagination which are similar to the golden duck who lays golden eggs. It is apparent that the proposals are to strangle even the excisting trickles of income. The “road map” proposes to generate more than 9 billion USD in the next six months and also generate foreign reserves to satisfy imports sufficient for the next 4 months. At a time when the Government has been downgraded in the international financial ratings due to its potential inability to repay debt as a result of illadviced massive tax consetions to the high income category, the proposals aim to generate money from fantacy donors whom you would only find in fairy tails. On the otherhand, the unpresidented rate of printing money has caused the inflasion to run through the roof. Government is making a futile attempt to stabilize the economy by increasing the interest rates and forcasting a 6% economic growth. but, how this rate of economic growth is going to be cheived is beyong any known economic principal. With the exchange rates being fosibly kept at aconstant and the express rate of printing money, the economic growth is expected to be further reduced or even become a negative growth in the future. Tha fantacy “road map” of Central Bank akin to the fairy tail story of Jack and the Bean Stalk, levels unjustifiable allegations against local exporters. It proposes aquisition of income in dollars to the local exporters. and penalties to those who do not comply. The artificial “fixation” of exchange rate has already reduced the income in rupees to the exporter.The Central Bank moves even further and tries to forcibly aquire a part of their dollar income too. This is a move to discourage and dishearten our local exporters who are competing with foreign exporters in the open market. it is not surprising that most exporters are now resorting to other means of foreign revenue instead of bringing in foreign currency. Another unrealistic proposal in the “fantacy road map” is the proposal to sell land and National heritage to foreign entities without any transparency or competitive bidding in the process. The Government is already in motion to sell the “Yugadanawi” and “Sobadanawi” electricity plants to a foreign company. The Gas supply is also arranged to be sold to a crumbling foreign company. There is a plan to hand over the refining and distribution of petroleum in similar fasion. Also, plans are in motion to sell valuable land and ancients buildings withing the colombo port and in urban colombo. As a result the Port, Petroleum and Electricity trade unions are agitated and ready to take trade union action. It is very important to note that those officials in the ministry of finance including the secretary to the ministry and the officers in the Urban Development Authority are the ones who are helping these corrupt politicians. They should remeber that they will be brought to justice one day and the politicians whom they helped may well have escaped to their magical “homeland” by that time. Is it due to COVID ? It is very clear that the current economic crisis in this country is not due to COVID. If so, countries with similar COVID impact should also have long queues for Milk powder, gas and medicine. They should also have a fertilizer shortage. No other country is experiencing such a demand for migration at embassies. Countries which gains their main sourse of income through tourism should become bankrupt. instead, they all are thriving after COVID. So it is very clear that its not COVID but the illadviced economic strategy of this Government that brought this crisis. Independent economic experts, former senior Central Bank officials and many international analysts have warned us many a time. We have emphasized the danger of “bubble economies” in our book, “Alapalu arthikaya” in 2014. We have forecasted the economic crisis in 2023 for the first time in our book named “Mulya arbudaya abiyasa”. We have been warning about the current crisis caused by the inadvertent tax cuts since January 2020. Pragmatic Solution We are not going to pose questions and stop. We have solutions too. We emphasize that action should be taken promptly. What is needed immediately is to stabilize the economy and re structure the debts. • The tax cuts introduced in 2019 should be re visited and the state income should be systematically increased. This will create confidence in the foreign investment sector. A stable economy will reduce the necessity to print money. • We are facing difficulty in repaying state debt and interest. We need to get our foreign borrowings restructured. We need to formulate a practical framework in increasing state income and negotiate with the lenders to restructure the instalments in the next few years. • We are compelled to act in partnership with the world bank to generate confidence in investors. Currency swaps with friendly countries will further deepen the economic abyss we are in right now. • Country should be liberated from one single family controlling the economy and the state affairs. We need good governance to be reestablished. The citizenry is complacent to the lawless tyranny they have been subjected to for a long time. They need to be shown what law and order is. The bureaucracy should become forthright instead of being a pawn to the politician. Instead of scammers and looters who rip public off their hard earn money, proper entrepreneurs and businesses should flourish to build trust among the business community. None of the above steps would be easy or popular. However, for the betterment of the country these steps should be taken. Countries which were abundant with natural resources have become bankrupt due to bad economic management. If action is not taken swiftly, our nation will crumble in to dust, the experts say. It is our solum duty to prevent such catastrophe. - Patali Champika Ranawaka *(I had mistakenly stated that, net foreign assets declined for the first time in the history of Sri Lanka when I published this post before. Later I realized that it was not accurate. Infact , it has occurred on two previous occasions. But this is the first time net foreign assets of CBSL have declined ever since Sri Lanka became an open economy. I would like to extend my apologies to have misrepresent this in the first place.)
පැන්ඩෝරා ග්‍රීක දේවකතාවල එන පළමු ගැහැණු චරිතයයි. සියස් විසින් මවනු ලබන ඇය විවෘත කරනා මංජුසාවක් නිසා ලොවේ සියළු කම්කටොළු, දුක්ගැහැට, යක්ෂ දෝෂ ඇතිවූ බව කියැවේ. පසුගියදා බ්‍රිතාන්‍ය BBC සේවය (2021.10.03) වාර්තා කළේ ‘පැන්ඩෝරා පත්‍රිකා’ නම් මිලියන 12 ක් තරම් විශාල එතෙක් රහසිගතව තිබූ ලෝක බලවතුන්ගේ වත්කම් පිළිබඳව හෙළිදරව්වක් වී ඇති බවය. මේ පිටුපස අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදයක් (ICIJ) සිටින බවද හෙළිදරව් විය. බලවතුන් හා බලවත් රටවල රහසිගත යුධ, දේශපාලනික හා මූල්‍ය තොරතුරු හෙළිදරව්ව ආරම්භ වූයේ අද ඊයේ නොවේ.¬¬ මේ සියවසේ එය ප්‍රචලිත වූයේ ‘විකිලීක්ස්’ නිසාය. එමෙන්ම ඉහත කී ICIJ ආයතනය විසින් හා පුද්ගලයින් විසින් 2012-13 අක්වෙරළ සමාගම් පිළිබඳව, ලක්සම්බර්ග් ලීක්ස් (2014), ස්විස් ලීක්ස් (2015), පැනමා පත්‍රිකා (2016), පැරඩයිස් පත්‍රිකා (2017), ෆින්සෙන් (Fincen) ගොනුව (2020) හා පැන්ඩෝරා පත්‍රිකා (2021) හෙළිදරව් කර ඇත. මේවායින් ඇතැම් දෑ සාමාන්‍ය ව්‍යාපාරික තොරතුරු වන අතර තවත් දෑ ලොවේ ඒ ඒ රටවල සිදුවූ නීත්‍යානුකූල ගණුදෙනු ද වෙයි. නමුත් තවත් දෑ ලොවේ ධනවත්, බලවත් අය අයථා ක්‍රමයට උපයා ගත් ධනය හා වත්කම් පිළිබඳව තොරතුරු වෙයි. ඒවා ගැන සෙවීම ඒ ඒ රටවල වගකීම හා යුතුකම බව පැහැදිළිය. අක්වෙරළ සමාගම් හා අක්වෙරළ ගිණුම් හා වත්කම් වලට මගේ නම ද ඈඳීමේ තුච්ඡ උත්සාහයක් ඇතැම් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු, රාජ්‍ය හා පුද්ගලික ඇතැම් මාධ්‍යයද ගෙනයති. එයට හේතුව වන්නේ 2016 අප්‍රේල් මස හෙළිදරව් වූ පැනමා පත්‍රිකාවල අපගේ මහනගර අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු හා විදුලිබල අමාත්‍යාංශයේ හිටපු සභාපති විද්‍යා අමරපාල මහතාගේ නම ගෑවී තිබීමය. මේ පිළිබඳව ඒ මහතා විසින්ම පැහැදිළි කිරීම් ගණනාවක් 2013 වසරේ සිටම සිදුකරනු ලැබීය. මුලින්ම අක්වෙරළ සමාගම් හා ඒවායේ අධ්‍යක්ෂකවරු පිළිබඳ හෙළිදරව්වක් 2013 දී සිදුවිය. ඒ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ප්‍රශ්න කිරීමක්ද සිදුකළ අතර අමරපාල මහතා එයට පිළිතුරු ලබාදුන්නේය. දෙවනුව මොසැයික් ෆොන්සේකා (පැනමා) නම් නීති හා ලේඛන කටයුතු පිළිබඳ ආයතනය විසින් පහසුකම් සපයන ලද අක්වෙරළ සමාගම් හා බදු පාරාදීසයන් (Tax Haven) ගැන තොරතුරු හෙළිදරව් විය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ‘පැනමා පත්‍රිකා’ නමින් ප්‍රචලිත වූ එකී හෙළිදරව්ව සමඟ 2013 අක්වෙරළ හෙළිදරව්වද නැවත පළ කළේය. එහෙයින් විද්‍යා අමරපාල මහතාගේ නම පැනමා පත්‍රිකාවලද ඇතැයි මතයක් වාර්තා විය. එවකට (2016) ඔහු සේවය කළේ අපගේ අමාත්‍යාංශයේය. එවිට අප කළේ කුමක් ද ? පළමුව ඔහුට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර අභ්‍යන්තර පරීක්ෂණයක් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු යටතේ පැවැත්වීමය. දෙවනුව මගේ පුද්ගලික ලේකම්තුමා අදාළ බලධාරීන්ට (පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම මත) ලිඛිතව පැමිණිලි කිරීමය. (2016.04.12) ඒ අනුව රාජ්‍ය විමර්ශන අංශ ගණනාවක් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර පවත්වාගනු ලැබීය. යහපාලනය කාලයේ මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොවීය යන්න අමූලික බොරුවකි. තවදුරටත් කියන්නේ නම්, පැමිණිල්ල කළේම අප විසිනි. මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාදාමයක් ද ආරම්භ විය. මේ පිළිබඳව 2016.06.02 දාතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මූල්‍ය අපරාධ අංශය විසින් මා වෙත ලිඛිතව දන්වා සිටියේ, i.අදාළ අක්වෙරළ සමාගම (Sovereign Capital Corporation) ආතර් සේනානායක මහතාට අයත් IWS හෝල්ඩින්ග්ස් ආයතනයේ සිංගප්පූරු ඒකාබද්ධ සමාගමක් බවය. (එය අද දක්වා පවතී) ii.විද්‍යා අමරපාල මහතා IWS හෝල්ඩින්ග්ස් හි රැකියාව කර ඇති අතර (2003-10 කාලයේදී) සේනානායක මහතා විසින් උක්ත සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර ඇත. iii.ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් වැඩභාර ගැනීමේදී එකී අක්වෙරළ සමාගමෙන් පමණක් නොව IWS ආයතනයෙන්ද ඉල්ලා අස්වී ඇත. iv.විද්‍යා අමරපාල මහතා නමින් කිසිදු ගිණුමක් හෝ එකී සමාගම විසින් ඔහුට කිසිදු ගෙවීමක් හෝ එම කාලයේදී සිදුකර නැත. මේ තොරතුරු පසුව අධිකරණයටද වාර්තා වී ඒ සම්බන්ධ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලදි. ඉහත කී සමාගම තවමත් පවතින අතර එය ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් (IWS) සිය ව්‍යාපාරික කටයුතු සඳහා අද දක්වා යොදාගන්නා අක්වෙරළ සමාගමකි. අක්වෙරළ වත්කම් මොනවාද ? යුරෝපයේ ලිබරල්වාදය මතුවූ මුල් අවස්ථාවේදීම පුද්ගලික නිදහසේ වෙන්කළ නොහැකි අංගයක් ලෙස පුද්ගලික දේපොළ හා පුද්ගලිකව ධනය රැස්කිරීමට ඇති අයිතිය පිළිගන්නා ලදි. මෙය සමාජවාදීන් හා සමාජ ප්රජාතන්ත්රවාදීන් නිතර ප්‍රශ්න කළ දෙයක් වූ අතර අධික ධනය උපදවන්නන් සමාජයේ පොදු යහපත උදෙසා බදු වශයෙන් ධනය ලබාදිය යුතුය යන්න පසුව බොහෝ දුරට ස්ථාපිත වූයේ පැරණි ලිබරල්වාදීන් හා කොන්සර්වේටිව්වාදීන්ගේ විරෝධය මතය. 19 වැනි සියවසේදී යුරෝපයට ධනය ගොඩගැසෙද්දී ඉඩම් හා නිශ්චල දේපොළ වෙනුවට ධනය ගබඩා කිරීම බලවත් මූලිකම වත්කම බවට පත්විය. බදුසහන සහිත බදු පාරාදීසය (Tax Haven) පිළිබඳ අදහස් පැමිණියේ, පළමු ලෝක සංග්රාමයෙන් පසු ණය වී සිටී ප්‍රබල යුරෝපීය රාජ්‍යයන් (එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, තුර්කිය) සිට රටවල ධන උත්පාදනය කරන්නන් සඳහා ඉහළ ආදායම් බදු, දේපොළ බදු (72% දක්වා) අය කිරීමෙන් පසුය. යුද්ධයේදී නිර්පාක්ෂික වූ ස්විස්ටර්ලන්තය තම රටේ මුදල් තැන්පත්කරන්නන්ට බදු නැති, නම් හෙළිදරව් නොකරන, පෙරළා ආයෝජනයද කළහැකි ‘ස්විස් බැංකු’ ක්‍රියාවලිය හඳුන්වා දුන්නේ ඒ සමඟය. ඒ හා සමඟ ලෝකයේ බොහෝ රටවල මෙවැනි බදු පාරාදීසයන් ඇති විය. ලන්ඩනයේ කැනරිවෝන්, වර්ජින් අයිලන්ඩ්, පුවටරිකෝ, පැනමාව, ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, මැකෝවා ආදී ස්ථාන 100 කට අධික ප්‍රමාණයක් දැනට ඇති අතර ලංකාවේ පෝට්සිටිය ද එවැනි බදු පාරාදීසයක් වීමට තරඟ කරයි. මේවා බොහෝ රටවල් පිළිගත් නීත්‍යානූකූල සම්ප්රදායක් වී ඇත. පසුගිය කාලයේ ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත ආයතනද HSBC වැනි දැවැන්ත බැංකුවලටද සිය ලාභාංශ සඟවන බවට චෝදනා එල්ල විය. 2015 දී සිදු කරන ලද සමීක්ෂණයකට අදාළව (ග්‍රේබ්‍රියෙල් සුමාන්) ලොවේ සියලු මූල්‍ය වත්කම් වලින් 8% ක් (ආසන්නයෙන් ඩොලර් ට්‍රිලියන 7.6 ක්) මෙලෙස බදු පාරාදීසවල ඇත. තවත් අය කියන්නේ මේ මුදල් ඩොලර් ට්‍රිලියන 21-32 තරම් ඉහළ අගයක් (ජේම්ස් හෙන්රි) බවය. වර්තමානයේ ක්‍රමයෙන් ප්‍රචලිත වී ගෙන එන බ්ලොක්චේන් (Block chain) තාක්ෂණය හා ක්‍රිප්ටෝකරන්සි ක්රියාවලියද රහස්‍ය ලෙස ධනය සැඟවීමට යොදාගන්නා බව කියැවේ. (එහිදී අනාගත මූල්‍ය ප්‍රවාහයක් නැත) පවතින විවෘත ආර්ථික ක්‍රමය තුළ මෙවැනි බදු පාරාදීසයන් කරා ධනය උපදවන්නන් ඇදීයාමට හේතු ගණනාවකි. i.ඉහළ ධනය උපදවන සමාගම් නිවැරදිව සිය ආදායම් නොපෙන්වා ඒවා විදේශවල තැන්පත් කරලීම. මෙය බොහෝ දුරට ජාත්‍යන්තර වෙළෙඳාමේ නියැලෙන අය විසින් ද සිය අපනයන වල අගය අඩු කිරීමෙන්ද (Under Invoice ) ආනයනවල අගය ඉහළ දැමීමෙන්ද (Over Invoice) සිදු කරයි. ii.සිය රට තුළ ආදායම් බදු, වානීජ බදු හා වෙනත් බදු මඟහැරීම පිණිස සිය මූල්‍ය ප්‍රවාහය හා ලාභාංශ බදු පාරාදීසවල ඇති තමන්ගේම ව්‍යාජ සමාගම් වෙත යොමුකිරීම. iii.ආයෝජන හා සංවර්ධන කාර්යන්හිදී උපදේශක සේවා හෝ වෙනත් කොමිස් ආකාරයෙන්ද, ආයෝජන භාණ්ඩ ගෙනඒමේ හෝ විනෝදාස්වාද ක්‍රියා (කැසිනෝ, ප්රසාංගික සංදර්ශන, ක්‍රීඩා) හරහාද ධනය බදු පාරාදීස වෙත ගෙනයාම. iv.මත්ද්‍රව්‍ය, අවි වෙළෙඳාම, මානව වෙළෙඳාම හෝ නීති විරෝධී භාණ්ඩ වෙළෙඳාම මඟින් උපයන ධනය බදු පාරාදීසය වෙත ගෙනගොස් ඒවායින් කොටසක් නීත්‍යානුකූල ලෙස ආයෝජනය කිරීමට යෙදවීම. සහ වෙනත් හේතූන්ද සහිත සංකීර්ණ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ තත්ත්වය වසර 2015 දී Global Financial Intergrity Report කදිම හෙළිදරව්වක් (2004-14) ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් පිළිබඳව කළේය. එමඟින් පෙන්වා දුන්නේ, රාජපක්ෂ දශකය තුළ අපනයන සඳහා අඩුවෙන් මිළ ගණන් පෙන්වීම (ඩො.මි. 3,849), ආනයන සඳහා වැඩි ගණන් මිළ සැපයීම (ඩො.මි. 13,453) හා හඳුනා නොගත් විදේශ මුදල් සංසරණය (ඩො.මි. 2,665) මඟින් අයථා ලෙස රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය ඩො.මි. 19,967 ක් බවය ! ඒ වකවානුවේ එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ සමස්ත විදේශ ණය බරින් 76% ක් විය ! මේ පිළිබඳව මවිසින් 2016 ජුනිමස පළකරන ලද ‘මූල්‍ය අගාධයක් ඉදිරියෙනි’ නම් කෘතියේ සඳහන් කළ අතර රට තුළ ප්‍රමාණවත් අවධානයක් එයට යොමුනොවී සිල්රෙදි, කැරම්බෝඩ්, අවුරුදු ලිත් ආදී වංචා කෙරේ වැඩි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව කැරලි කිහිපයකට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව රාජ්‍ය අනුග්‍රහයෙන් කරනා සුළු අවිජාවාරම්වලට සම්බන්ධ සමාගම්වලට රැකවරණය දෙන බවට ජාත්‍යන්තර චෝදනාවක් වෙයි. ප්‍රහාරක ගුවන් යානා, යුධ අවි හා උපාංග මිලදී ගැනීමේදී සිදුවූ මහා අක්‍රමිකතා වලින් සමහරක් හෙළිදරව් වී ඇත. එමෙන්ම රාජ්‍යයට අභියෝග කළ කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද කැරලිකාරී යුගයේ උපයාගත් ධනය හා ඒවා ආයෝජනය කර ඇති ආකාරය ගැන විධිමත් වෝහාරික විමර්ශනයක් මෙතෙක් සිදුකර නැත. විශේෂයෙන්ම කොටි සංවිධානයේ ගිණුම් 1,582 ක් ඇති බවට වූ ආණ්ඩුවේම හෙළිදරව්ව (2009) මත සිදුකළ කිසිදු විමර්ශනයක් වාර්තා වී නැත. ශ්‍රී ලංකාවේ වැදගත් භූ ගෝලීය පිහිටීම, අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලීය මධ්‍යස්ථානයක් බිහිකර ඇත. විටින් විට පාතාල ලෝකයේ නායකයින් සංදර්ශන සහිතව වෙඩිකා මියයන අතර ඔවුනගේ වත්කම් වලට සිදුවූ දෙයක් වාර්තා වී නැත. 1980-90 කාලයේ කොලොම්බියාව, මෙක්සිකෝව ආදිය හසුව තිබූ ආකාරයේ මත්ද්‍රව්‍ය රාජ්‍යයක් (Narco State) බවට ලංකාව පත්වෙමින් දේශපාලනය, මාධ්‍ය හා ව්‍යාපාරික ලෝකය කළුසල්ලි විසින් අතික්‍රමණය වන තත්ත්වයක් උදාවී ඇත. දැන් මේ කළු සල්ලි යොදාගැනෙන්නේ ප්‍රතිවාදීන් නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරුකිරීමට නොව, ඔවුනගෙන් සමහරෙකුගේ චරිත ඝාතනය කරනා අතරේ තවත් අයගේ චරිත මිලදී ගැනීම සඳහාය. මේ නිසා රටම පාදඩ දේශපාලනයක අත්අඩංගුවට පත්ව ඇත. විසඳුම බදු පාරාදීසයන් ලංකාවේ අපට පමණක් තනිව මර්දනය කළ නොහැක. මෙයට එක්සත් ජනපදයේ FATCA නීතියට සමාන්තර ජාත්‍යන්තර නීති පද්ධතියක් අත්‍යාවශ්‍යය. එමෙන්ම බදු පාරාදීසයන් වෙතින් බදු අයකරගෙන, ඒවා මූලිකව එම මුදල් නිපදවූ රටට ලැබෙනා ආකාරයේ නව බදු නීති පද්ධතියක් ජාත්‍යන්තරව අවශ්‍යය. ජාතික හා ජාත්‍යන්තර ලෙස දේශීය සමාගම් පමණක් නොව අක්වෙරළ සමාගම් ද නිරීක්ෂණය කරනා, නියාමනය කරනා යාන්ත්‍රණයක් අවශ්‍යය. පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් හෙළිදරව්වලින් පසු මෙවැනි යාන්ත්‍රණයන් ලොව තුළ හා රටතුළ ඇතිකිරීමට ජනමතයක් දැන් අවශ්‍යව තිබේ. පැන්ඩෝරා යනු තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවී, ලෝකයේ සාමාන්‍ය ජනතාවට හා ධනවතුනට එක නීතියක් පවතින බව ලොවට දැනෙන්නට වැඩපිළිවෙළක් යෙදීම ශ්‍රී ලංකාවේද, යුගයේද අවශ්‍යතාවයයි.