පැන්ඩෝරා ග්‍රීක දේවකතාවල එන පළමු ගැහැණු චරිතයයි. සියස් විසින් මවනු ලබන ඇය විවෘත කරනා මංජුසාවක් නිසා ලොවේ සියළු කම්කටොළු, දුක්ගැහැට, යක්ෂ දෝෂ ඇතිවූ බව කියැවේ. පසුගියදා බ්‍රිතාන්‍ය BBC සේවය (2021.10.03) වාර්තා කළේ ‘පැන්ඩෝරා පත්‍රිකා’ නම් මිලියන 12 ක් තරම් විශාල එතෙක් රහසිගතව තිබූ ලෝක බලවතුන්ගේ වත්කම් පිළිබඳව හෙළිදරව්වක් වී ඇති බවය. මේ පිටුපස අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදයක් (ICIJ) සිටින බවද හෙළිදරව් විය. බලවතුන් හා බලවත් රටවල රහසිගත යුධ, දේශපාලනික හා මූල්‍ය තොරතුරු හෙළිදරව්ව ආරම්භ වූයේ අද ඊයේ නොවේ.¬¬ මේ සියවසේ එය ප්‍රචලිත වූයේ ‘විකිලීක්ස්’ නිසාය. එමෙන්ම ඉහත කී ICIJ ආයතනය විසින් හා පුද්ගලයින් විසින් 2012-13 අක්වෙරළ සමාගම් පිළිබඳව, ලක්සම්බර්ග් ලීක්ස් (2014), ස්විස් ලීක්ස් (2015), පැනමා පත්‍රිකා (2016), පැරඩයිස් පත්‍රිකා (2017), ෆින්සෙන් (Fincen) ගොනුව (2020) හා පැන්ඩෝරා පත්‍රිකා (2021) හෙළිදරව් කර ඇත. මේවායින් ඇතැම් දෑ සාමාන්‍ය ව්‍යාපාරික තොරතුරු වන අතර තවත් දෑ ලොවේ ඒ ඒ රටවල සිදුවූ නීත්‍යානුකූල ගණුදෙනු ද වෙයි. නමුත් තවත් දෑ ලොවේ ධනවත්, බලවත් අය අයථා ක්‍රමයට උපයා ගත් ධනය හා වත්කම් පිළිබඳව තොරතුරු වෙයි. ඒවා ගැන සෙවීම ඒ ඒ රටවල වගකීම හා යුතුකම බව පැහැදිළිය. අක්වෙරළ සමාගම් හා අක්වෙරළ ගිණුම් හා වත්කම් වලට මගේ නම ද ඈඳීමේ තුච්ඡ උත්සාහයක් ඇතැම් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු, රාජ්‍ය හා පුද්ගලික ඇතැම් මාධ්‍යයද ගෙනයති. එයට හේතුව වන්නේ 2016 අප්‍රේල් මස හෙළිදරව් වූ පැනමා පත්‍රිකාවල අපගේ මහනගර අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු හා විදුලිබල අමාත්‍යාංශයේ හිටපු සභාපති විද්‍යා අමරපාල මහතාගේ නම ගෑවී තිබීමය. මේ පිළිබඳව ඒ මහතා විසින්ම පැහැදිළි කිරීම් ගණනාවක් 2013 වසරේ සිටම සිදුකරනු ලැබීය. මුලින්ම අක්වෙරළ සමාගම් හා ඒවායේ අධ්‍යක්ෂකවරු පිළිබඳ හෙළිදරව්වක් 2013 දී සිදුවිය. ඒ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ප්‍රශ්න කිරීමක්ද සිදුකළ අතර අමරපාල මහතා එයට පිළිතුරු ලබාදුන්නේය. දෙවනුව මොසැයික් ෆොන්සේකා (පැනමා) නම් නීති හා ලේඛන කටයුතු පිළිබඳ ආයතනය විසින් පහසුකම් සපයන ලද අක්වෙරළ සමාගම් හා බදු පාරාදීසයන් (Tax Haven) ගැන තොරතුරු හෙළිදරව් විය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ‘පැනමා පත්‍රිකා’ නමින් ප්‍රචලිත වූ එකී හෙළිදරව්ව සමඟ 2013 අක්වෙරළ හෙළිදරව්වද නැවත පළ කළේය. එහෙයින් විද්‍යා අමරපාල මහතාගේ නම පැනමා පත්‍රිකාවලද ඇතැයි මතයක් වාර්තා විය. එවකට (2016) ඔහු සේවය කළේ අපගේ අමාත්‍යාංශයේය. එවිට අප කළේ කුමක් ද ? පළමුව ඔහුට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර අභ්‍යන්තර පරීක්ෂණයක් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු යටතේ පැවැත්වීමය. දෙවනුව මගේ පුද්ගලික ලේකම්තුමා අදාළ බලධාරීන්ට (පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම මත) ලිඛිතව පැමිණිලි කිරීමය. (2016.04.12) ඒ අනුව රාජ්‍ය විමර්ශන අංශ ගණනාවක් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර පවත්වාගනු ලැබීය. යහපාලනය කාලයේ මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොවීය යන්න අමූලික බොරුවකි. තවදුරටත් කියන්නේ නම්, පැමිණිල්ල කළේම අප විසිනි. මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාදාමයක් ද ආරම්භ විය. මේ පිළිබඳව 2016.06.02 දාතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මූල්‍ය අපරාධ අංශය විසින් මා වෙත ලිඛිතව දන්වා සිටියේ, i.අදාළ අක්වෙරළ සමාගම (Sovereign Capital Corporation) ආතර් සේනානායක මහතාට අයත් IWS හෝල්ඩින්ග්ස් ආයතනයේ සිංගප්පූරු ඒකාබද්ධ සමාගමක් බවය. (එය අද දක්වා පවතී) ii.විද්‍යා අමරපාල මහතා IWS හෝල්ඩින්ග්ස් හි රැකියාව කර ඇති අතර (2003-10 කාලයේදී) සේනානායක මහතා විසින් උක්ත සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර ඇත. iii.ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් වැඩභාර ගැනීමේදී එකී අක්වෙරළ සමාගමෙන් පමණක් නොව IWS ආයතනයෙන්ද ඉල්ලා අස්වී ඇත. iv.විද්‍යා අමරපාල මහතා නමින් කිසිදු ගිණුමක් හෝ එකී සමාගම විසින් ඔහුට කිසිදු ගෙවීමක් හෝ එම කාලයේදී සිදුකර නැත. මේ තොරතුරු පසුව අධිකරණයටද වාර්තා වී ඒ සම්බන්ධ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලදි. ඉහත කී සමාගම තවමත් පවතින අතර එය ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් (IWS) සිය ව්‍යාපාරික කටයුතු සඳහා අද දක්වා යොදාගන්නා අක්වෙරළ සමාගමකි. අක්වෙරළ වත්කම් මොනවාද ? යුරෝපයේ ලිබරල්වාදය මතුවූ මුල් අවස්ථාවේදීම පුද්ගලික නිදහසේ වෙන්කළ නොහැකි අංගයක් ලෙස පුද්ගලික දේපොළ හා පුද්ගලිකව ධනය රැස්කිරීමට ඇති අයිතිය පිළිගන්නා ලදි. මෙය සමාජවාදීන් හා සමාජ ප්රජාතන්ත්රවාදීන් නිතර ප්‍රශ්න කළ දෙයක් වූ අතර අධික ධනය උපදවන්නන් සමාජයේ පොදු යහපත උදෙසා බදු වශයෙන් ධනය ලබාදිය යුතුය යන්න පසුව බොහෝ දුරට ස්ථාපිත වූයේ පැරණි ලිබරල්වාදීන් හා කොන්සර්වේටිව්වාදීන්ගේ විරෝධය මතය. 19 වැනි සියවසේදී යුරෝපයට ධනය ගොඩගැසෙද්දී ඉඩම් හා නිශ්චල දේපොළ වෙනුවට ධනය ගබඩා කිරීම බලවත් මූලිකම වත්කම බවට පත්විය. බදුසහන සහිත බදු පාරාදීසය (Tax Haven) පිළිබඳ අදහස් පැමිණියේ, පළමු ලෝක සංග්රාමයෙන් පසු ණය වී සිටී ප්‍රබල යුරෝපීය රාජ්‍යයන් (එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, තුර්කිය) සිට රටවල ධන උත්පාදනය කරන්නන් සඳහා ඉහළ ආදායම් බදු, දේපොළ බදු (72% දක්වා) අය කිරීමෙන් පසුය. යුද්ධයේදී නිර්පාක්ෂික වූ ස්විස්ටර්ලන්තය තම රටේ මුදල් තැන්පත්කරන්නන්ට බදු නැති, නම් හෙළිදරව් නොකරන, පෙරළා ආයෝජනයද කළහැකි ‘ස්විස් බැංකු’ ක්‍රියාවලිය හඳුන්වා දුන්නේ ඒ සමඟය. ඒ හා සමඟ ලෝකයේ බොහෝ රටවල මෙවැනි බදු පාරාදීසයන් ඇති විය. ලන්ඩනයේ කැනරිවෝන්, වර්ජින් අයිලන්ඩ්, පුවටරිකෝ, පැනමාව, ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, මැකෝවා ආදී ස්ථාන 100 කට අධික ප්‍රමාණයක් දැනට ඇති අතර ලංකාවේ පෝට්සිටිය ද එවැනි බදු පාරාදීසයක් වීමට තරඟ කරයි. මේවා බොහෝ රටවල් පිළිගත් නීත්‍යානූකූල සම්ප්රදායක් වී ඇත. පසුගිය කාලයේ ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත ආයතනද HSBC වැනි දැවැන්ත බැංකුවලටද සිය ලාභාංශ සඟවන බවට චෝදනා එල්ල විය. 2015 දී සිදු කරන ලද සමීක්ෂණයකට අදාළව (ග්‍රේබ්‍රියෙල් සුමාන්) ලොවේ සියලු මූල්‍ය වත්කම් වලින් 8% ක් (ආසන්නයෙන් ඩොලර් ට්‍රිලියන 7.6 ක්) මෙලෙස බදු පාරාදීසවල ඇත. තවත් අය කියන්නේ මේ මුදල් ඩොලර් ට්‍රිලියන 21-32 තරම් ඉහළ අගයක් (ජේම්ස් හෙන්රි) බවය. වර්තමානයේ ක්‍රමයෙන් ප්‍රචලිත වී ගෙන එන බ්ලොක්චේන් (Block chain) තාක්ෂණය හා ක්‍රිප්ටෝකරන්සි ක්රියාවලියද රහස්‍ය ලෙස ධනය සැඟවීමට යොදාගන්නා බව කියැවේ. (එහිදී අනාගත මූල්‍ය ප්‍රවාහයක් නැත) පවතින විවෘත ආර්ථික ක්‍රමය තුළ මෙවැනි බදු පාරාදීසයන් කරා ධනය උපදවන්නන් ඇදීයාමට හේතු ගණනාවකි. i.ඉහළ ධනය උපදවන සමාගම් නිවැරදිව සිය ආදායම් නොපෙන්වා ඒවා විදේශවල තැන්පත් කරලීම. මෙය බොහෝ දුරට ජාත්‍යන්තර වෙළෙඳාමේ නියැලෙන අය විසින් ද සිය අපනයන වල අගය අඩු කිරීමෙන්ද (Under Invoice ) ආනයනවල අගය ඉහළ දැමීමෙන්ද (Over Invoice) සිදු කරයි. ii.සිය රට තුළ ආදායම් බදු, වානීජ බදු හා වෙනත් බදු මඟහැරීම පිණිස සිය මූල්‍ය ප්‍රවාහය හා ලාභාංශ බදු පාරාදීසවල ඇති තමන්ගේම ව්‍යාජ සමාගම් වෙත යොමුකිරීම. iii.ආයෝජන හා සංවර්ධන කාර්යන්හිදී උපදේශක සේවා හෝ වෙනත් කොමිස් ආකාරයෙන්ද, ආයෝජන භාණ්ඩ ගෙනඒමේ හෝ විනෝදාස්වාද ක්‍රියා (කැසිනෝ, ප්රසාංගික සංදර්ශන, ක්‍රීඩා) හරහාද ධනය බදු පාරාදීස වෙත ගෙනයාම. iv.මත්ද්‍රව්‍ය, අවි වෙළෙඳාම, මානව වෙළෙඳාම හෝ නීති විරෝධී භාණ්ඩ වෙළෙඳාම මඟින් උපයන ධනය බදු පාරාදීසය වෙත ගෙනගොස් ඒවායින් කොටසක් නීත්‍යානුකූල ලෙස ආයෝජනය කිරීමට යෙදවීම. සහ වෙනත් හේතූන්ද සහිත සංකීර්ණ ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ තත්ත්වය වසර 2015 දී Global Financial Intergrity Report කදිම හෙළිදරව්වක් (2004-14) ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් පිළිබඳව කළේය. එමඟින් පෙන්වා දුන්නේ, රාජපක්ෂ දශකය තුළ අපනයන සඳහා අඩුවෙන් මිළ ගණන් පෙන්වීම (ඩො.මි. 3,849), ආනයන සඳහා වැඩි ගණන් මිළ සැපයීම (ඩො.මි. 13,453) හා හඳුනා නොගත් විදේශ මුදල් සංසරණය (ඩො.මි. 2,665) මඟින් අයථා ලෙස රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය ඩො.මි. 19,967 ක් බවය ! ඒ වකවානුවේ එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ සමස්ත විදේශ ණය බරින් 76% ක් විය ! මේ පිළිබඳව මවිසින් 2016 ජුනිමස පළකරන ලද ‘මූල්‍ය අගාධයක් ඉදිරියෙනි’ නම් කෘතියේ සඳහන් කළ අතර රට තුළ ප්‍රමාණවත් අවධානයක් එයට යොමුනොවී සිල්රෙදි, කැරම්බෝඩ්, අවුරුදු ලිත් ආදී වංචා කෙරේ වැඩි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව කැරලි කිහිපයකට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව රාජ්‍ය අනුග්‍රහයෙන් කරනා සුළු අවිජාවාරම්වලට සම්බන්ධ සමාගම්වලට රැකවරණය දෙන බවට ජාත්‍යන්තර චෝදනාවක් වෙයි. ප්‍රහාරක ගුවන් යානා, යුධ අවි හා උපාංග මිලදී ගැනීමේදී සිදුවූ මහා අක්‍රමිකතා වලින් සමහරක් හෙළිදරව් වී ඇත. එමෙන්ම රාජ්‍යයට අභියෝග කළ කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද කැරලිකාරී යුගයේ උපයාගත් ධනය හා ඒවා ආයෝජනය කර ඇති ආකාරය ගැන විධිමත් වෝහාරික විමර්ශනයක් මෙතෙක් සිදුකර නැත. විශේෂයෙන්ම කොටි සංවිධානයේ ගිණුම් 1,582 ක් ඇති බවට වූ ආණ්ඩුවේම හෙළිදරව්ව (2009) මත සිදුකළ කිසිදු විමර්ශනයක් වාර්තා වී නැත. ශ්‍රී ලංකාවේ වැදගත් භූ ගෝලීය පිහිටීම, අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලීය මධ්‍යස්ථානයක් බිහිකර ඇත. විටින් විට පාතාල ලෝකයේ නායකයින් සංදර්ශන සහිතව වෙඩිකා මියයන අතර ඔවුනගේ වත්කම් වලට සිදුවූ දෙයක් වාර්තා වී නැත. 1980-90 කාලයේ කොලොම්බියාව, මෙක්සිකෝව ආදිය හසුව තිබූ ආකාරයේ මත්ද්‍රව්‍ය රාජ්‍යයක් (Narco State) බවට ලංකාව පත්වෙමින් දේශපාලනය, මාධ්‍ය හා ව්‍යාපාරික ලෝකය කළුසල්ලි විසින් අතික්‍රමණය වන තත්ත්වයක් උදාවී ඇත. දැන් මේ කළු සල්ලි යොදාගැනෙන්නේ ප්‍රතිවාදීන් නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරුකිරීමට නොව, ඔවුනගෙන් සමහරෙකුගේ චරිත ඝාතනය කරනා අතරේ තවත් අයගේ චරිත මිලදී ගැනීම සඳහාය. මේ නිසා රටම පාදඩ දේශපාලනයක අත්අඩංගුවට පත්ව ඇත. විසඳුම බදු පාරාදීසයන් ලංකාවේ අපට පමණක් තනිව මර්දනය කළ නොහැක. මෙයට එක්සත් ජනපදයේ FATCA නීතියට සමාන්තර ජාත්‍යන්තර නීති පද්ධතියක් අත්‍යාවශ්‍යය. එමෙන්ම බදු පාරාදීසයන් වෙතින් බදු අයකරගෙන, ඒවා මූලිකව එම මුදල් නිපදවූ රටට ලැබෙනා ආකාරයේ නව බදු නීති පද්ධතියක් ජාත්‍යන්තරව අවශ්‍යය. ජාතික හා ජාත්‍යන්තර ලෙස දේශීය සමාගම් පමණක් නොව අක්වෙරළ සමාගම් ද නිරීක්ෂණය කරනා, නියාමනය කරනා යාන්ත්‍රණයක් අවශ්‍යය. පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් හෙළිදරව්වලින් පසු මෙවැනි යාන්ත්‍රණයන් ලොව තුළ හා රටතුළ ඇතිකිරීමට ජනමතයක් දැන් අවශ්‍යව තිබේ. පැන්ඩෝරා යනු තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවී, ලෝකයේ සාමාන්‍ය ජනතාවට හා ධනවතුනට එක නීතියක් පවතින බව ලොවට දැනෙන්නට වැඩපිළිවෙළක් යෙදීම ශ්‍රී ලංකාවේද, යුගයේද අවශ්‍යතාවයයි.
ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද? චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය. රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත. අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු. ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද? පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද? විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද? මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද? මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී. විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී. විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත. පුරාජේරු. වගාඩම්බර වලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි. ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත. විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.
කෝවිඩ් අගුළුලෑමත් සමඟ Netflix වෙතින් මෙක්සිකානු චිත්‍රපටයක් නැරඹූවෙමි. එහි ඉංග්‍රීසි නාමය ‘Perfect Dictator’ වේ. ජාවාරම්කාර ගජ මිතුරකුගෙන් අල්ලසක් ගැනීම වීඩියෝවක පටිගතවීම නිසා දේශපාලනිකව අසරණ වී සිරගෙට යා යුතු වූ මෙක්සිකෝවේ පළාත් ආණ්ඩුකාරවරයෙක්, මාධ්‍ය මෙහෙයුමක් මඟින් රටේ ජනාධිපතිධුරය දක්වා ගමන් කිරීම එහි තේමාවයි. රාජ්‍ය ධනය කොල්ලකෑම, ඝාතන, හමුදා බලය අයථා ලෙස යොදාගැනීම, කුමන්ත්‍රණ, යුක්තිය ඉල්ලන පුද්ගලයින්ගේ චරිත ඝාතන, මාධ්‍ය ලෝකය - මාධ්‍යවේදීන් හා රාජ්‍ය ධනය කොල්ලය අතර ඇති සබැඳියාව මෙයින් මනාව පෙන්වා දී ඇත. මෙය නරඹන ඔබට ලංකාවේ එයට බොහෝ සමීප චරිත බොහොමයක් හමුවනු ඇත. අප ජීවත් වන්නේ සත්‍ය හා බුද්ධිය යටපත් වූ, බුද්ධිය මෙන්ම හදවත ද මාධ්‍ය මෙහෙයුම් මඟින් සොරාගත් යුගයක බව ඔබට එවිට වැටහෙනු ඇත. කතෝලික පල්ලියේ නායක පූජක උතුමන් නැවත නැවතත් ‘පාස්කු ප්‍රහාරය’ පිළිබඳ යුක්තිය ඉල්ලා අරගල කරමින් ඇත. පාස්කු ප්‍රහාරය දේශපාලන බලයක් අල්ලාගැනීම සඳහා කළ ජනඝාතක මාධ්‍ය මෙහෙයුමක් බව දැන් පල්ලියේ නායක පූජක උතුමන්ටද ප්‍රකාශ කිරීමට සිදුව ඇත. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බුද්ධිය හා හදවත සොරාගෙන පාස්කු මහමොළකරුවන් අල්ලන බවට වූ රණවිරු ගී උත්කර්ෂයන් මතය. පසුගිය වසර දෙකක කාලය තුළ එකදු නව වැදගත් සැකකරුවෙකු හෝ අල්ලා ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. එමෙන්ම පාස්කු ප්‍රහාරකයින් හා ඔවුන්ගේ මුල් ආගමික කන්ඩායම වූ ‘තවුහිද් ජමාත්’ ව්‍යාපාරය සමඟ බුද්ධි අංශ වල තිබූ සබැඳියාව නම් තව තවත් පැහැදිළිවෙමින් තිබේ. පාස්කු ප්‍රහාරයේ ඇතුළත කතාව යටගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇති බව කතෝලික පල්ලියේ පූජකතුමන්ලා කියන්නේ ඒ අනුව විය යුතුය. මේ පිළිබඳව දීර්ඝ ප්‍රකාශයක් මවිසින් පාස්කු කොමිසමට ලබාදෙන ලදි. 1980 ගණන්වල සිට ඇතැම් අන්තවාදීන්ට රැකවරණය ලැබුණු හැටි, 1990 න් පසු අවි ලැබුණු හැටි, 2010 න් පසු නීති විරෝධී අවි ගබඩා හා අවි පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ආකාරය, තවුහිද් ජමාත් හා සහරාන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා ඇතැම් දේශපාලන නායකයින් සමඟ තිබූ සබඳතා මා පමණක් නොව තවත් බොහෝ අය විසින් ද හෙළිදරව් කර ඇත. එහෙත් පාස්කු කොමිසමේ වෙළුම් 22 ක් තවමත් රහසිගත වන අතර වාර්තා කර ඇති තොරතුරුද අසම්පූර්ණ වාර්තාකරණයකි. රට දැන් පාස්කු ප්‍රහාරය මෙන් සියගුණයකට වඩා විශාල වසංගත උවදුරකට අපරාධමය නොසැලකිල්ල නිසා ගොදුරු වෙමින් ඇත. විටින් විට පාස්කු ප්‍රහාරයේ වගවීම් ලෙස වසංගත අපරාධය වසං කිරීමට අනුවේදනීය සිදුවීම් මාධ්‍ය මෙහෙයුම්කරුවන් විසින් යොදාගනිමින් ඇත. මේ මාධ්‍ය මෙහෙයුමට යටින් සිදුවිය හැකි තවත් බරපතල ව්‍යසනයක් පවතින බව අප මතක තබාගත යුතුය. එය නම්, තලිබාන්වරු දකුණු ආසියාවේ බලවත්ම යුධ උපකරණ සහිත ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ යුධජයග්රහණයකින් පිහිටුවා ඇති බවය. 2012-14 කාලයේ සහරාන් ප්රමුඛ පාස්කු ප්‍රහාරකයින් උත්කර්ෂයට පත්වූයේ ISIS ස්වයං කලිපාතය (caliphate) හොහොත් ඉස්ලාමීය රාජ්‍යයක් ඉරාකයේ හා සිරියාවේ සීග්‍ර යුධජයග්රහණයකින් බිහිකළ නිසාය. එවැන්නක් නැවත සිදු නොවෙතැයි කිසිවෙකුට කිව නොහැක. ලංකාවේ අද පවතින අරාජික රාජ්‍යය, මාධ්‍ය මෙහෙයුම් විසින් අවුළුවා ඇති ආගමික සංවේදීතා හා විදේශීය බලවේගවල ලංකාව ගැන වූ අසහනය ආදිය විසින් තවත් ව්‍යසනයක් ඇතිවීමට ඉඩක් නැතුවා නොවේ. විරෝධතා පානා ගුරුවරුන්, සිසුන් හා සමාජ මාධ්‍ය සටහන් තබනා වෙද, හෙද කාර්ය මණ්ඩල හා සිය ඇත්ත දේශපාලන විරුද්ධවාදීන්ගේ කාර්ය මණ්ඩල පසුපස 24x7 ලුහුබැඳ යන ගෙස්ටාගෝ පන්නයේ ඇතැම් ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය ද ජාතික ආරක්ෂාවට ඇති සත්‍ය තර්ජනය නොතකා ඇති බව පැහැදිළිය. ශ්‍රී ලංකාව පා තබමින් සිටින්නේ වසංගත, සාගත හා මූල්‍ය අර්බුද පිපුරුම් සහිත බිම්බෝම්බ අඩවියක පමණක් නොවන බව අප නැවතත් සිහි තබාගත යුතුය.
කොවිඩ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. සුභදායී ප්‍රවෘත්තිය නම් කොවිඩ් නිසා පනස් දහසක් මියයන විට එමෙන් සිව් ගුණයක් එනම් ලක්ෂ දෙකක් රෝගය වැළඳී සුවය ලබා ඇති බවය. පසුගිය මාර්තු 10 වැනිදා කොවිඩ් ගෝලීය මාරාන්තික වසංගතයක් (Pandemic) බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මේ වසංගතය පිළිබඳ විශේෂඥ වූ ටෝමස් පූයෝ (Tomas Pueyo) මාර්තු 11 වැනිදා කොවිඩ් මර්දනය පිළිබඳව වහා කළයුතු සිද්ධාන්තයක් ලෙස හැමර් ඇන්ඩ් ඩාන්ස් ඉදිරිපත් කළේය. මේ වනවිට ලංකාව සිටියේ එක් රෝගියෙකු හඳුනාගෙන ඇති තත්වයකය. එය බරපත තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද බලධාරීන් එසේ නොසිතූහ. එක්සත් ජනපදය ක්‍රියාකළේ රෝගය පාලනයට සිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත්, රට වසා දැමීම අවශ්‍ය නොවන බවත් කියමිනි. ඉතාලිය හා ස්පාඤ්ඤය රෝගයට ගොදුරු වෙමින් සිටියේය. බ්‍රිතාන්‍ය අනුගමනය කළේ රෝගය පැමිණියද තම රටේ ජනයාගේ විශිෂ්ට සෞඛ්‍ය සේවාව (NHS) හා නිරෝගී සෞඛ්‍ය තත්වය විසින් සාමූහික ප්‍රතිශක්තියක් (Herd Immunity) ඇතිවී සිය රට සති කිහිපයක් තුළ සුළු මරණ අනුපාතයකින් අර්බුදය ජය ගන්නා බව කියමිනි. රුසියාව සිය රාජ්‍ය යාන්ත්‍රණය මුවහත් කරමින් සිටියේය. ස්වීඩනය තවමත් රට වසා දමා නැත. මෙයට සූදානම් වූයේ සිංගප්පූරුව, තායිවානය, හොංකොං වැනි ආසියානු රටවල් කිහිපයක් පමණි. එවන් තත්වයක් තුළ තෝමස් පූයෝ නිවැරදි ලෙස රෝගයේ ඝාතීය වර්ධනය පෙන්වා දුන්නේය. යම් යම් රටවල සෞඛ්‍ය පහසුකම් තත්වය (රෝහල්වල ඇඳන් කීයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද? වෙන්ටිලේටර් කීයක් කොවිඩ් සඳහා සූදානම්ද? ICU ඒකක කීයක් තිබේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා උපකරණවල ප්‍රමාණය ආදී) ඉක්මවා රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාව පාරවල් වල මිය යන තත්වයක් ඇතිවේ යැයි විශේෂඥයින්ගේ මතය විය. කොවිඩ් වක්‍රයට මිටි පහරක් දිය යුතු බව තෝමස් පූයෝ යෝිජනා කළේ එවන් තත්වයක් තුළය. (රූප සටහන බලන්න) හැමර් ඇන්ඩ් ඩාන්ස් අනුව රෝගය මර්ධනය සඳහා ගතයුතු පියවර 10 කි. 01. Ro<1, - එනම් එක් රෝගියෙකුගෙන් රෝගය බෝවෙන පුද්ගලයින් ප්‍රමාණය එකකට වඩා අඩුකළ යුතුය. (දැන් මෙය 2.6 කි) 02. සමාජ දුරස්ථභාවය 80% කට වැඩියෙන් තබාගත යුතුය - රටවල් වසා දැමීමෙන්, පුද්ගලයින් නිවසට සීමා කිරීමෙන් හා අවසාන ලෙස ඇඳිරි නීතිය ආදිය පැනවීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි. 03. නගර අතර, ජනාවාස අතර සංක්‍රමණය අවම කිරීම - ඇතැම් ගම්මාන, ජනාවාස හුදකලා කිරීම පවා අවශ්‍ය වන්නේ මේ නිසාය. 04. ස්ථිර ආසාදිතයන් තරයේ හුදෙකලා කිරීම - කොවිඩ් ආසාදිතයන් වෙනම රෝහල් හෝ වාට්ටුවල ප්‍රතිකාර කරවීම මෙයින් අදහස් වේ. 05. ස්පර්ෂකයින් 80% ක් සොයා ගැනීම - එක් රෝග වාහකයෙක් සොයා ගත්විට ඔහුගේ සබඳතා ජාලය සොයා ගැනීම. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණය අනුව මාර්තු 30 වැනිදා සිටියේ රෝගීන් 34 ක් වුවත්, ස්පර්ෂකයින් 1800 කට වඩා සිටි බව තහවුරු වීම. සති දෙකකට කලින් වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේ රටේ 18,000 කට වඩා ස්පර්ෂකයින් සිටින බවය. 06. නිවැරදි විද්‍යානුකූල පරීක්ෂාව - අප්‍රියෙල් 01 දා වනවිට ශ්‍රී ලංකාව පරීක්ෂණ 3007 ක් සිදුකර රෝගීන් 148 ක් හඳුනාගෙන තිබිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ Test, Test, Test කියාය. එනම් හැකිතාක් PCR පරීක්ෂණ සිදු කරන්නැයි කියාය. මේ පිළිබඳව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. එනම්, ශ්‍රී ලංකාව ඉතාම අඩුවෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවය. මාර්තු 26 වැනිදා වනවිට ලෝකයේ PCR පරීක්ෂණ තත්වයන් අනුව ජනගහණයෙන් දශ ලක්ෂයකට, • දකුණු කොරියාව - 7068 • ජර්මනිය - 5826 • එක්සත් ජනපදය - 1651 • එක්සත් රාජධානිය - 1577 • තායිවානය - 1211 • හොංකොං - 707 • මලයාසියාව - 539 • වියට්නාමය - 334 • ශ්‍රී ලංකාව - 87 • ඉන්දියාව - 20 • ඉන්දුනීසියාව - 15 (source - daily mirror) ලෙස විය. ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. එයට හේතුව පැහැදිලි කරදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් කොවිඩ් රෝගීන් 20% කට පමණ සාමාන්‍ය හෙම්බිරිස්සාවකින් ඔබ්බට රෝග ලක්ෂණ පහල නොවන නිසා දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වූ අය පමණක් PCR පරීක්ෂාවට යැවීම නුවණට හුරු නැත. අනෙක් අතින් මේ සඳහා පරීක්ෂණාගාර, Testing Kit හා පරීක්ෂකයින්ද අවශ්‍ය වේ. ඒවා ප්‍රමාණවත්ව ඉදිරි සතිය තුළ සකස් කරගෙන අඩු තරමින් දිනකට පරීක්ෂාවන් 2000 ක් වත් සිදුකර සියළු ස්පර්ෂකයින් ආසාදිතයින්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය අවධානය යොමුකර තිබේ. 07. පොදු ස්ථානවල ගැවසීම පාලනය කිරීම - පාසල්, සිනමා ශාලා, උත්සව ශාලා, ආගමික ස්ථාන යනාදිය මෙයට ඇතුළත්ය. කොරියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ඉරානය හා ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිර යෑමට එක් හේතුවක් වී ඇත්තේ විවිධ ආගමික කණ්ඩායම් සාමූහිකව යාඥා මගින් කොවිඩ් ජය ගැනීමට යෑමත් ආගමික සමුළු පැවැත්වීමත්ය. ආගම ඇදහීම ඉලෙක්ට්‍රොනික ලෙස හෝ පුද්ගලිකව සිදුකර ගැනීම කාගේත් කයට මෙන්ම සිතටද සුවදායකය. එමෙන්ම, මෙවැනි වසංගත වලදී ආගම්වල වසර දහස් ගණනකට පෙර යෝජනා කර ඇති ඇතැම් වතාවත් සිදුකළ නොහැකි බවද අප අවබෝධ කරගත යුතුය. 08. මනා ප්‍රතිකාරය - කොවිඩ් වැළඳුනු අයගෙන් 80% කටම මතු වන්නේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක් බව විශේෂඥ මතයයි. 20% කට බරපතල රෝග ලක්ෂණ මතුවේ. එයිනුත් 5% කට අසාධ්‍ය රෝගී තත්වයක් ඇතිවේ. තමන් වෙනත් බරපතල රෝග තත්වයන්ගෙන් පෙළුනේ නම් හෝ තමන්ගේ ප්‍රතිශක්තිය දුර්වල නම් (වයස්ගත නම්) අසාධ්‍ය තත්වය මරණය කරා යයි. මෙය සරළව කිවහොත් මෙලෙසය. රටක රෝහල්වල ඇඳන් ලක්ෂයක් ඇත්නම්, එයින් 10,000 ක් කොවිඩ් සඳහා වෙන්කළ හැකි නම් ඒ රටේ හඳුනාගත් රෝගීීන් 50,000 ක් දක්වා සිටියද වෛද්‍ය පහසුකම් පවතී. වැදගත්ම දෙය නම්, ඒ රටේ වෙන්ටිලේටර් හෝ ICU පහසුකම, වෙනත් රෝගීීන්ටද ලබාදීමෙන් පසු අඩු තරමින් 2500 ක් (5%) තිබිය යුතුය. මේ සීීමාවන් ඉක්මවා ගිය කල මරණ සීග්‍රයෙන් සිදුවේ. දියුණු යැයි අප සිතා සිටි ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් ජනපදය, ආදියේ සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීමේ අර්බුදයයි. (ලංකාවේ රෝහල්වල ඇඳන් 90,000 ක්ද, වෙන්ටිලේටර් 830 ක්ද, ICU ඒකක 542 ක්ද තිබෙන බව වාර්තාවේ. මෙයින් කොපමණ ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද යන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ යුතුය. මන්ද, තවත් රෝගීන්ද එකී පහසුකම් ඉල්ලා සිටින නිසාය.) මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඇතැම් රෝගීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසා රෝහල් කාර්ය මණ්ඩල පිටින්ම නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ. කොවිඩ් සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටවල වෛරස් රෝග වසරකට කිහිප වතාවක් පැතිර යන අතර, වසර දහස් ගණනක සිට යොදාගත් හුමාලය ඇල්ලීම, කොත්තමල්ලි පානය වැනි සාමාන්‍ය ප්රතිකර්මයන්ද පවතී. ඒවායින් යම් ප්‍රතිකර්මයක් සිදුවන බව බටහිර විශේෂඥයින්ද ප්‍රකාශ කර ඇත. 09. වරායන්, ගුවන් තොටුපල වසා දැමීම - අපි දූපත් රාජ්‍යයකි. අපට පිටින් පුද්ගලයින් පැමිණෙන මූලිකම ස්ථානය ගුවන් තොටුපලයි. එය මුලදීම (මාර්තු 01) වසා දැම්මා නම් බොහෝ දුරට කොවිඩ් ලංකාවට වැළඳීමට ඉඩ තිබුනේ නැත. එය පසුව හෝ වසා දැමීම සුදුසු ක්රියාමාර්ගයකි. වරාය සහමුලින් වසා දැමිය නොහැක්කේ ආහාර හා ඖෂධ රටට ගෙන ඒම අත්‍යාවශය නිසාය. 10. ප්‍රතිශක්තියක් නිපදවීම - පර්යේෂණ සාර්ථක වුවහොත් ඇතැම්විට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තියක් බිහිවනු ඇත. ඇතැම් විට වෛරසය ස්වයංව වෙනස්වනු (Mutation) ඇත. ඇතැම්විට අපගේ ප්‍රතිශක්තිය මෙයට ඔරොත්තු දෙන ලෙස වර්ධනය වනු ඇත. බටහිර හෝ ශීත රටවලට වඩා කොවිඩ් වලට ඔරොත්තු දිය හැකි කායික බලය ඇත්තේ ඝර්ම කලාපීය රටවල බැව් විශ්වාස කරමි.
කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ ඉදිරි සති දෙක තීරනාත්මක බවයි. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා ජනතාවක් ලොක් ඩවුන් තත්වයට යටතේ මිය යා හැකි බව තමනට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවේය. ලොක් ඩවුන් නොකලා නම් මිය යන පිරිස දශ ලක්ෂය ඉක්මවා යන හෙයින් මේ තත්වයද ජයග්‍රහණයක් ලෙස තමාට දැනෙන්නේ යැයි ඔහු පැවසීය. ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාව මේ වනව විට ධරුණු විවේචනයකට ලක්ව ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කොවිඩ් වසංගතය දෙවන ලෝක මහා සංග්‍රාමයට සමාන කළේය. ලෝකය සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් වසංගතය මැඩ පැවැත්වීම සඳහා වැයකළ යුතු බවද ප්‍රකාශ කළේය. දැනට එසේ කර ඇත්තේ එක්සත් ජනපදය, සිංගප්පූරුව හා ජර්මනිය වැනි රටවල් කිහිපයක් පමණි. ලෝක ඉතිහාසය දෙස බලන විට පසුගිය වසර 500 ක පමණ කාලය තුළ බලගතු වසංගත ගණනාවක් ඇතිවී ඇත. 14 වැනි සියවසේ ඇතිවූ කෘෂ්ණ වසංගතය නිසා අඩු තරමින් මිලියන 50-100 ක් අතර ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. යුරෝපයේ සිදුවූ මොන්ගෝලියානු ආක්‍රමණයද ඒ සමගම මිය ගියේය. ඊළඟට 16 වැනි ශතවර්ෂයේදී පෘතුගීසි හා ස්පාඤ්ඤ නාවිකයන් නිසා ලතින් ඇමරිකාවට, අප්‍රිකාවට හා ආසියාවට පැපොල හා සරම්ප පැතිර ගියේය. ඉන්කා - මායා - ඇස්ටෙක් ආදී මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවල අවසානයේ එක් කොනක් වූයේද එකී වසංගතයන්ය. ලංකාවේද ඉහත රෝගවලට පරංගි උණ යැයි භාවිත කෙරිණි. ඉන්පසු 1918 දී ස්පාඤ්ඤය හා යුරෝපයේද, ඉන්දියාවේද පැතිර ගිය උණ වසංගත තත්වයයි. එයින්ද මිලියන ගණනක් මියගියහ. මෑත කාලයේ ඒඩ්ස් (1982), සාර්ස් (2004), ඉබෝලා (2014) මෙවැනි වසංගතයන් වූහ. කෙසේ වෙතත් කොවිඩ්-19 මෙන්ම ලෝකයම වෙලාගත් වසංගතයක් බවට මේ කිසිදු වසංගතයක් පත්වූයේ නැත. ඇතැම් විචාරකයන් රෝග ව්‍යාප්තියට හේතුව ලෙස දකින්නේ ගෝලීයකරණයයි. තවත් විචාරකයින් කියන්නේ ගෝලීයකරණය නැතුව වුව අතීතයේදී කාලයත් සමග රෝග ව්‍යාප්තිය සිදුවූ බවය. වංසගත රෝග පාලනය සඳහා ගල් යුගයට යෑම හැර විසඳුමක් නැතැයි කියන්නෝද වෙති. කෙසේ වෙතත් රෝගය පාලනයට දින නියමයක් නැතිව ඇඳිරි නීතිය ආදිය යොදා ගැනීම නිසා දුගී රටවල ජනයා ඖෂධ හා ආහාර නොමැතිකමින් ගල් යුගයේ තත්වයටම පත්වෙමින් සිටිති. හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයාගේ ස්වභාවය නම් සිය පැවැත්ම තර්ජනයට ලක්වූ විට පුදුමාකාර ලෙස ඒ සඳහා නිර්මාණශීලී වීමය. යුද සමයන් හා වසංගත සමයන් මානවයා පියමං කර ඇත්තේ තාක්ෂණික හා සමාජ සබඳතාවල විප්ලවයක්ද සමගය. කොවිඩ්-19 නිසා දැනටමත් සිදුවෙමින් පැවතුණු තාක්ෂණික විප්ලවයන් වර්ධනය වෙමින් පවතී. කාලයක සිට දුරස්ථ අධ්‍යාපනය සඳහා (Online Learning) යොදාගත් ZOOM App එක දැන් විශ්ව විද්‍යාල හා පාසල්වලට අමතරව දේශපාලන නායකයන්ද යෙදා ගනිති. සමගි ජන බලවේගයේ නායකයෝ දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ එය යොදා ගනිමිනි. පක්ෂ නායක රැස්වීම් මෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම්ද ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මෙය අවශ්‍ය නම් පාර්ලිමේන්තුවටද යොදාගත හැකිය. කොවිඩ්-19 වසංගතය විසින් සිදුකළ අනෙක් දත්ත විප්ලවය නම් පුද්ගලයින්ගේ හැසිරීම, ඔවුන් සිටින ස්ථානය, ඔවුන් රෝගීන් ස්පර්ෂ කළාද යන්න හා ඔවුනගේ රෝග විනිශ්චය තොරතුරු තාක්ෂණයට භාරදීමය. කලකට ඉහත මානව හිමිකම් ක්‍රියාකාරීන් රුසියාව, සිංගප්පූරුව, චීනය වැනි රටවල් විවේචනය කළේ ඔවුන් කැමරා, දුරකථන, ඔරලෝසු ආදිය හරහා පුද්ගලයින් නිරීක්ෂණය කරන බවයි. දැන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි ලිබරල් මත දරන රටවල්ද සිය ප්‍රජාව නිරීක්ෂණය කරමින්, අවවාද කරමින් හා තොරතුරු මත පදනම්ව දඬුවම් කරමින් සිටිති. කලකට පෙර CIA, KGB, RAW, MOSSAD, M15 හෝ වෙනත් ඔත්තු සේවාවන් ඉතා සීමිත ජනතාවක් පිළිබඳව දැන සිටි තොරතුරු දැන් සිය සමස්ථ ජනකාය සම්බන්ධයෙන්ම, අවශ්‍ය නම් Google, Facebook, WhatsApp වැනි සමාජ මාධ්‍ය උපාංග සමග සම්බන්ධිත බිලියන ගණන් ජනතාව නිරීක්ෂණය කිරීමට BIG DATA PLATFORM එකක් තනාගත හැක. එක්සත් ජනපදය Prism නමින් එවැනි පද්ධතියක් තනාගත් බව ලොවට කිව්වේ ස්නෝ ඩෙන් විසිනි. දැන් බොහෝ රටවල් එවැනි විමර්ෂණකාමී තොරතුරු පද්ධති තමන්ගේ රටවල ස්ථාපිත කරමින් සිටිති. කොවිඩ්-19 අවසන් වන්නේ ප්‍රබල ලිබරල් සංකල්පයක් වන "පුද්ගලිකත්වය" යන්නද අවසන් වීමෙන් බව පැහැදිලිය. කෘත්‍රිම බුද්ධිය (AI) ඇතිවූ මුල් අවධියේදී හටගත් බියක් නම් ගණකාධිකාරී, වෛද්‍ය, නීති, ලිපිකරු ආදී වෘත්තීන් ගණනාවක් අහෝසි වී විගණනය හා පොත් තැබීම, රෝග විනිශ්චය, නීති උපදෙස්, ලිපි ලේඛන සැකසීම ආදිය පරිගණකයට (AI) කළ හැකි බවය. කොවිඩ්-19 නිරීක්ෂණය දැන් බොහෝ රටවල් පරිගණකවලට බාරදී ඇත. කොටින්ම ඇපල් වැනි ආයතන ඒ සඳහාම වූ සුවිශේෂී App දැනටමත් නිර්මාණය කර ඇත. මුළු මහත් ජනකායකගේම රෝගී දත්ත තනි පරිගණකයකට බාර දීමේ අනතුරක් නැතිද? ඇතැම් රටවල මැතිවරණ මෙහෙයවීමේදී පුරවැසියන්ගේ රෝග තත්වයන් පිළිබඳ දත්ත යොදා ගැනීම ගැන චෝදනා පසුගිය වසර කීපය තුළම බටහිර ලෝකයේ පැනනැංගේය. කොවිඩ්-19 ඇතැම්විට අවසන් වන්නේ දත්ත ඒකාධිපතියන් (Big Data Dictators) බිහිවීමෙන් විය හැකිය. ජනතාවට අයත් සංඛ්‍යාත අවකාශය අල්ලාගෙන සිටින කෑදර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකික ජන සමාජය අල්ලේ නටවන ආකාරය දෙස බලන කල එයට වඩා සියුම් මෙන්ම පුළුල් නව දත්ත ෆැසිස්ට්වාදයක් ඇතිවීමේ අනතුර පැනනැගී ඇත. නූතන ගොබෙල්ස්ලා රූපවාහිනී නාලිකාවලින් පමණක් නොව Facebook, WhatsApp හා AI හරහාද බිහිවිය හැකිය. පසුගිය දශකය (2010-20) සීග්‍ර වර්ධනයට ලක්වූ ක්ෂේත්රයක් වූයේ ජාන විද්‍යාව හා ජාන තාක්ෂණයයි. වසර ලක්ෂ තුනක් පමණ කාලයක් ස්වභාවිකව ජාන පරිණාමයකට ලක්වූ හෝමෝ සේපියන් කෘත්‍රිම ජාන ක්‍රියාවලියක් මගින් සුපිරි නව ජීවියෙක් තනා ගැනීමේ ඉඩකඩ ගැන විචාරකයෝ බොහෝ කලක සිට අනාවැකි පලකළහ. පසුගිය වසරේ චීන විද්‍යාඥයෙක් ඒඩ්ස් වෛරසයට ඔරොත්තු දෙන ලෙස ජාන සැකසූ කලලයක් හා දරුවෙක් බිහිකළේය. අනාගතයේදී ධනය, බලය හා දත්ත ඇති කිහිප දෙනෙක් ඒ අනුව කොවිඩ් වැනි රෝගවලට ඔරොත්තු දෙන දරුවන් බිහිකර ගනීවිද? කලකට පෙර දැනුම බලය වේ යන කියමන ධනය බලය වේ යන ලෙස වෙනස් වූවා සේ දැන් දත්ත බලය වේ ලෙස වෙනස් වී ඇත. කොවිඩ්-19 නිසා බරපතල අර්බුදයකට ලක්වී ඇත්තේ ආර්ථිකයයි. දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ඇඳිරි නීතිය නිසා දුගී ජනයා මහ පොලොවේ දූවිලි තත්වයට වැටී සිටිති. දැනට ඇත්තේ මාස කිහිපයකට බලපාන අවපාතයක් (Recession) පමණි. අනාගතයේ එය ආර්ථික බිඳවැටීමක් (Depression) බවට පත්වේද? දැන් දැන් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ලෝකය කොවිඩ් මර්දනය හා ජනතාවගේ ආර්ථිකය අතර තුලිත භාවයක් (Trade Off) ඇතිකර ගත යුතු බවයි. නැත්නම් ඖෂධ හිඟකමින්, ආහාර හිඟකමින් හා විවිධ රෝගාබාධ නිසා කොවිඩ් වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකි බවයි. පෙරළා සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ්-19 මරණ විසින් යළි ආපසු හැරවිය නොහැකි ආර්ථික ව්‍යසනයකට ලෝකය පත්කළ හැකි බවයි. කොවිඩ්-19 කවදා අවසන් වේදැයි කිව නොහැක. රටවල් වසා දමන අතරේ ඒ ඒ රටවල අත්දැකීම් හා තාක්ෂණය හුවමාරුකර ගැනීම අත්‍යාවශ්‍යය. සිංගප්පූරුව, තායිවානය, හොංකොං, කොරියාව හා චීනය ලබාගෙන ඇති අත්දැකීම් මෙහිදී අන් රටවල් සමග බෙදා ගැනීම අත්‍යාවශ්‍යය. එමෙන්ම, ජපානය, ජර්මනිය, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ලබාගෙන ඇති තාක්ෂණික තොරතුරු බෙදා හදා ගැනීමද අත්‍යාවශ්‍යය. දැන් එක්සත් ජාතීන් එයට මැදිහත් විය යුතුය. එයට අමතරව රට රටවල් වසා දැමීම නිසා ඖෂධ නැතිකමින්, ආහාර නැතිකමින් පීඩා විඳින රටවලට ජාත්‍යන්තර බෙදාහැරීමේ ක්‍රමවේදයක්ද දැන් අවශ්‍යය. ගෝලීයකරණය නිසා ව්‍යාප්ත වූ කොවිඩ්-19 මර්දනයට පශ්චාත් ගෝලීයකරණ උපායවලියක් අවශ්‍ය වී ඇත.