මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “අපි පළමුවෙන් ම සමගි ජන සන්ධානය හැටියට අපි සුබ පතනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේ ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නො දුන් සියලු ම දෙනා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේ දී අපිත් එක්ක සන්ධාන ගතවෙලා, එකමුතු වෙලා මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා. අද මේ රට ඉදිරියේ මේ මහජනයා දුන් වරම විශේෂයෙන්ම 2022 මැයි 09 හා ජූලි 09 ඇති වූ අරගලයේ අවසාන පියවර. මහජනයා බලාපොරොත්තු පිරිසිදු පාලනයක්, යුක්ති සහගත භාවයක්. ඒ සඳහා අනුර කුමාර දිසානායක මැතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු අද ඉඳන් ඒ සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේ ම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම්, එම ව්‍යවස්ථා සංශෝධන, යම් යම් අණපනත් වෙනස් කරනවා නම්, ඒ යුක්ති සහගත අණපනත් වෙනස් කිරීම්වල දී, අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවා. එතුමන්ලා ඉදිරිපත් කළා කරුණු ගණනාවක්. නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ප්‍රකාශ කළා. දැනට පවතින ජනාධිපති ධුරය අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. අප ඉදිරියේ අභියෝග ගණනාවක් තියෙනවා. දැන් අවුරුදු හයක් හතක් තිස්සේ කල් පැන ගිහින් තියෙන පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, නැවත පැවැත්වීම අවස්ථාව තියෙනවා. පළාත් පාලන මැතිවරණය. පැවැත්වීමට අධිකරණ නියෝගයක් තියෙනවා. හැබැයි පැරණි නාම යෝජනා දැන් කොච්චර වලංගු ද කියන ප්රශ්නය පැන නැගිලා තියෙනවා දැන් අවුරුදු එකහමාරකට පස්සේ. ඒ නිසා මේ කටයුතුවලට රටේ ඉහළ ම නීති තනන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තුවේ ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තියේ දී ඉතා ම පැහැදිලියි තනි පක්ෂයක් තුනෙන් දෙක අර ගෙන කරන ලද ව්‍යවස්ථා සංශෝධනවලින් තව විශාල ජන කණ්ඩායමක් අසහන පත් වෙලා ඇතැම් අවස්ථාවල කැරලිකාරීත්වයන්ට පවා යොමු වූ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක නිසා මේ වැනි ක්‍රියාවලි වල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී, ජනාධිපති ධුරය පිළිබඳ ගැටලු වල දී, පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්රශ්නවල දී, ඒක හිර වෙලා තියෙන්නේ කොට්ඨාශ නිර්ණය කිරීමේ දී, ඒ වගේ ම පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දී, මේ කියන කාරණා වල දී , අපි ජනාධිපතිවරයාට ධනාත්මක සහයෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එතුමා විවෘත භාවයෙන් යුතු ව කටයුතු කරයි කියලා අපි හිතනවා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළේ අපි පාර්ලිමේන්තුව විසින් එතුමාට සියලු පක්ෂ එකතු වෙලා ලබා දුන්නා 2022 දෙසැම්බර් මාසෙ දී අවම යෝජනාවලියක් සාමූහික ප්රයත්නයක් දරමු කියලා. නමුත් එතුමා 2023 මාර්තු මාසෙ දී අපි කිසිවකුගෙන් අහන්නේ නැතිව එතුමාගේ ම එකඟතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට ආවා. ඒ එකඟතාවකට ආවාට පස්සෙයි එතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඉතින් අපි යෝජනා කරනවා. අනුර කුමාර දිසානායක මහත්මයා ප්රමුඛ එතුමාගේ ආර්ථික කණ්ඩායම කිව්වා ජාත්‍යන්තර, ඒ වගේ ම එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ තිබෙන එකඟතා ලියවිල්ල වෙනස් කරන බව. විශේෂයෙන්ම ණය විශ්ලේෂණ සහතිකය, (DSA). DSA වෙනුවට, විකල්පයක් ඉදිරිපත් කරන බව. ඉතින් අපි එතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා, එවැනි කරුණු වල දී අපෙත් පාර්ලිමේන්තුවේ අප නොවන වෙනත් අයගෙත් අදහස් විමසලා ඒ කටයුත්ත කළොත් මූල්‍ය අරමුදලට අපි රටක් හැටියට එකට ගියොත් එකමුතුව එක රටක් හැටියට ගියොත් මම හිතනවා ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපයටත්, ඒ කටයුත්ත සාර්ථකව කර ගෙන යාමටත් විශේෂයෙන්ම අපේ ණය හිමියන්ට අභීතව මුහුණ දෙන්නත් එතුමාට හැකි වෙනවා. මොකද ණයහිමියෝ අතර විශාල ප්‍රශ්න දැන් පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලික ණය හිමියෝ අපට එරෙහිව නඩු පවරලා තියෙනවා. ඒ නඩු ලංකා රජයට මුහුණ දෙන්න වෙනවා. ලංකා රජය මුහුණ දෙනවා කියන්නේ අපේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ ම ද්විපාර්ශ්වික ණය, මේ යනාදී දේවල් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තියෙනවා. ඒ වගේ ම රුපියල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන අපි එකඟතාවක් නැහැ ඒක කරපු ආකාරය ගැන. ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නමුත් කළ ආකාරය ගැන, විවෘත සාකච්ඡාවක් මාර්ගයෙන්, සාමූහික එකඟතාවක් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි කටයුතු කරමු මේ රටේ ජනතාව වෙනුවෙන්. නැත්නම් ජනතාව 2042 වෙනකන් ණය ගෙවන්න තියෙනවා පරණ ණය. මේ බර ඇද ගෙන යාමේ ගැටලුවක් පැන නැගෙනවා. දූෂණය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ අණ පනත් තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නිකුත් කරන ලද චක්‍රලේඛ තියෙනවා. ඒවා වෙනස් කිරීමේ දී අපේ උපරිම සහයෝගය ඔවුන්ට ලැබෙනවා. හැබැයි ඒවා විවෘතව සිදු කරන ලෙස අපි ඉල්ලා හිටිනවා. උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තු භෝජනාගාරය ගැන ලොකු විවේචන තියෙනවා. ඒ භෝජනාගාරය අපි පමණක් නෙමෙයි භෝජනාගාර ගණනාවක් තියෙනවා. ඒක පාර්ලිමේන්තු සේවකයෝ, ආරක්ෂකයෝ හුඟක් දෙනෙක් එහි ආහාර ගන්නවා. ඒ බිලත් වැටෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිට. ඉතින් ඒ නිසා ඒවා විවෘත භාවයකින් යුතු ව ඒ අදාළ මිල ගණන් වලට ඒක ලැබෙන්න සලස්වන ක්‍රමවේදයකට අපිත් එකඟයි. අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඒ කාලේ ගෙනාපු යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවට අනුකූලව අපි සියලු දෙනාට ම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ම දූෂිතයින්ට දඬුවම් දීමේ දී පවතින නීති තත්ත්වයන්, දැන් නීති ගොඩක් සම්මත කරලා තියෙනවා. ඒ නීති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ සඳහා තවත් අවශ්‍ය නම්, ඒ වගේ ම රටෙන් පිටත ධනය රඳව ගෙන ඉන්න අය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ධනය ආපසු ගැනීමට, යම් යම් නීති රීති සම්මත කර ගැනීමට අවශ්‍ය නම්, ජාත්‍යන්තර තලයේ රටවල් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, ඒවායේ දී ත්, අපි සාමූහික ව කරන්න සූදානම්. ඒ වගේ ම රටට එරෙහිව තියෙන මානව හිමිකම් යෝජනා ඇතුළු පසුගිය කාලයේ පැන නැගිච්ච ගැටලු වලට මුහුණ දීමේ දී ලබන මාර්තු වල මුහුණ දෙන්න තියෙනවා. ඒ ඒ අවස්ථාවල දීත් සාමූහික ව රටක් හැටියට අපි ලෑස්තියි ඒ සඳහා සහයෝගය දෙන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක වතාවකුත් ප්‍රකාශ කළා. මෙතෙක් කල් මේ රටේ පැවති ගැටුම් කාරී විපක්ෂ දේශපාලනය වෙනුවට සම්මුතිකාමී දේශපාලනයකට එළඹෙන්න. සමගි ජන සන්ධානයේ ඒ සඳහා ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේ ම පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයින්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා දැන් තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණයි. ජනාධිපතිවරණය වගේ විවිධ විකල්ප කියලා හඳුනා ගත් අයට ඡන්දය ලබා දීලා ඔබේ ඡන්දය නාස්ති කර ගන්න එපා. මෙවර සමගි ජන සන්ධානයට එකතු වෙන්න. දැනටමත් පුද්ගලයන් හැටියට විශාල යෝජනා ප්‍රමාණයක් අපට එකතු වෙලා තියෙනවා. ඒ හැම පුද්ගලයෙක් ම අපි එකතු කර ගන්නවා ප්‍රමිතියකින් යුතු ව. ඒ විතරක් නෙවෙයි නව තරුණ වෘත්තීයවේදීන් හා කාන්තාවන්. ඒ වගේ ම විවිධ ජන කණ්ඩායම් නියෝජනය වන විචිත්‍රවත් කණ්ඩායමක් මෙවර මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් කරනවා නව පරපුරට ප්‍රමුඛතාව දෙමින්.” මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු එක්ව සිටිය හ.
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බව ය. නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැත. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙයි. “මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රු. 195 ට. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රු.117 ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රු.83 ක පමණ විශාල බදු මුදලක් අය කරන බව. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා. බිලියන 145 ක්, පළවෙනි මාස අටේදී. ඒකේ තේරුම රු. 20,000 ක් සෑම විදුලි පාරිභෝගිකයෙක්ම වැඩිපුර අරන් තියෙනවා පළවෙනි මාස අටේදී. ඉතින් ඒක වහාම ලබාදිය යුතුයි. දැන් කතා කරලා වැඩක් නැහැ. ජනතාවට ඒ විදුලි බිලේ සහනය වහාම ලබා දිය යුතුයි. පඩි වැඩි වීම කළා පසුගිය ජනාධිපතිවරයා. මේ රටේ වැඩකරන ජනතාව තැපැල් ඡන්දයෙන් පෙනී ගියා විශාල පිරිසක් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය දීලා තියෙනවා කියලා. ඒ ජනතාවත් බලාපොරොත්තු බලාපොරොත්තු වෙනව පඩි වැඩිවීම සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරනවයි කියලා ප්‍රකාශ කිරීමට එතුමාට දැන් හැකියි. මොකද නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා. ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට කොයි විදිහට බලපායි ද? මේ තෙල් මිල ඇතුළු වීම ඉතා ම නරක විදිහට බලපාන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේ ලෝක බලවතුන් කියන අයගේ වගකීම තමයි මේ යුධ ගැටුම් නතර කිරීමට මැදිහත් වීම ඒ වෙනුවට අවි ආයුධ ලබා දීම නෙමෙයි පාර්ශව වලට. මේ ප්රශ්නය ඊළඟට තෙල් මිලට පමණක් නෙවෙයි, නාවුක ගමනාගමනයටත් දරුණු විදිහට දැන් බලපාලා තියෙනවා. ඒ නිසා නාවුක ගණන් හිලව් වැඩි වෙලා තියෙනවා සන්නද්ධ කණ්ඩායම් විසින් රතු මුහුදේ කරන ප්‍රහාර නිසා. ඒ වගේ ම ඉදිරි කාලයේ දී මේක ආගමික අසහනයකටත් ලෝකය පුරා තුඩු දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දේශපාලන සෙල්ලම මේ යුධ සෙල්ලම, මැදපෙරදිග දැන් අවුරුදු හැත්තෑවකට අධික කාලයක් තිස්සේ ඇදි ඇදී යන දෙයක්. මේකෙන් පෙනී ගිහින් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ප්රමුඛ බටහිර ලෝකය පාලනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පූර්ණයෙන්ම අසාර්ථක අසම්පූර්ණ සංවිධානයක් කියලා. නව එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අවශ්‍යයි, ලෝක බල තුලනයට අදාළ වෙන, ඒ වගේ ම ඔය පැරණි අධිරාජ්‍යවාදී බලවේග නොවන ආරක්ෂක කවුන්සිලයක් අවශ්‍යයි. ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව වැනි රටවල් නියෝජනය වෙන නව ආරක්ෂක කවුන්සිලයක් අවශ්‍යයි. එහෙම තාක් කල් මේ ගැටුම් ඉදිරියට යයි. මේක දරුණු විදිහට මේ ගැටුම් ඇවිලී ගියොත් ඒක ලොකුවට බලපායි අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේ ම ආර්ථිකයට. ජනාධිපතිවරයාට රුසියාවෙන් ආරාධනයක් එවලා තියෙනවා BRICS එකට එන්න කියලා. ඔබතුමාලා කොහොමද ඒක දකින්නේ රටේ අනාගතයට? ඒක මම දකින්නේ නෑ කිසිම ප්රශ්නය හැටියට. එහෙම ආරාධනයක් තියෙනවා නම් BRICS රටවල් අද විකල්ප සංවිධානයක් ලෙස, එදා නොබැඳි සමුළුව වගේ නැගී සිටිමින් ඉන්නවා. අපේ කලාපයේ රටවල් වන ඉන්දියාව, චීනය, බ්‍රසීලය, රුසියාව, දකුණු අප්‍රිකා මේ රටවල් වලින් තමයි ආරම්භයේ මේක සැදුම් ලත්. දැන් මං හිතන්නේ රටවල් හැට හතක් විතර ඉල්ලීම් කරලා තියෙනවා ඒකට ඇතුල් වෙන්න. මං හිතන්නේ නෑ වරදක් තියෙනවා කියලා ශ්‍රී ලංකාව කවුන්සිලයට ඇතුල්වීම. දැන් අවශ්‍යයි ලෝකයට අලුත් ලෝක සංවිධානයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නෙමෙයි. ඒක එක්සත් ජනපදයේ සංවිධානයක් බව පෙනී ගිහින් තියෙන තත්වය තුළ මෙවැනි ලෝකයේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මෙවැනි සංවිධානයක් අවශ්‍යයි. මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා. ඉදිරියේ දී ඔබතුමන්ලාගේ දේශපාලන ගමන කොයි වගේ ද? අපි මහා මැතිවරණයට සමගි ජන සන්ධානය වෙතින් තරඟ කරනවා. මේකෙ දි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් තියෙනවද? මම දන්නෙ නෑ එකඟතාවක් තියෙනවා ද කියලා. එහෙම එකඟතාවක් නැති බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් විවිධ කණ්ඩායම්වල ඉන්න පුද්ගලයන් ගේ එකමුතුවක් දැනටමත් සමගි ජන සන්ධානයට තියෙනවා. ඒකෙන් තමයි තරඟ කරන්නේ. කොහොමත් බහුතර ඡන්දය ලැබුණේ විපක්ෂයට. අද සිටින ජනාධිපතිවරයාට නෙමෙයි. ඒ අනුව ඒ බහුතරයේ තීරණය ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. විශේෂයෙන් ම විධායක බලයට යට නො වුනු, අපි දන්නවා ඔය. හැමදාම කියන දේ තමයි 2019 දීත්, 2010 දීත් ඇහුනු දේ තමයි මේ ජනාධිපතිට අත දිග ඇරලා වැඩ කරන්න බලය දිය යුතුයි කියලා. නමුත් බලය ඉතාමත් නරක විදිහට පාවිච්චි කිරීමයි, පාර්ලිමේන්තුව රබර් සීල් එකක් වීමයි තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේක එසේ නො වෙන්න නම්, මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ විධායක බලයට, විධායකයට යට නො වුනු ස්වාධීන ආයතනයක් හැටියට අර සමතුලිතතාව තියෙන, ජනාධිපතිවරයාගේ හොඳ තීරණ වලට එකඟ වෙන, නරක තීරණ වලට විරුද්ධ වෙන්න පුළුවන් සමතුලිතතාවක් සහිත පාර්ලිමේන්තුවක් විය යුතුයි. ඒ වගේ ම දූෂණ චෝදනා එල්ල වුනු පිරිස් නොවන වෘත්තීයවේදී, ගුණගරුක පාර්ලිමේන්තුවක් ඇති කරන්න මේ ඉදිරි ඡන්දෙ දි ජනතාව තීරණය කරනවා ඇතැයි කියලා අපි හිතනවා. අගමැති අපේක්ෂකයෙක් නම් කරනවා ද? නැත්නම් ඒක විවෘතව තියා ගන්නවා ද? නෑ, අපේක්ෂකයෙක් නම් කරලා යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අගමැති අපේක්ෂකයා
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළේ යැයි කියන නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබාදීමේ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව ජනවාරි 22 වැනිදා විභාගයට ගැනීමට නියම කළේය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණයට එරෙහිව එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන් වෙන් ව පෙත්සම් ගොනු කර තිබේ. එම පෙත්සම් අද නැවත සලකා බැලූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය. පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින්, පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයාට අධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගය නිකුත් කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද, මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා; “මේ රටේ සිදු වෙච්ච ඊ වීසා වංචාව සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමෙන් පස්සේ පසුගිය අගෝස්තු මාසේ දෙවැනිදා තීන්දුවක් දුන්නා. මේ නඩු විභාගය කරලා අවසන් වන තෙක් පැරණි ඊ ටී ඒ ක්‍රමයට ආපසු යන්න කියලා. නමුත් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියා (ආගමන විගමන පාලක) අසමත් වෙලා තියෙනවා එම නියෝගය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුත් දන්නවා ඒකට හේතුව එවකට හිටපු ඇමතිවරයාගේ තිබු අධිමානය තමයි මේකට හේතුව. නීතිය ගණන් නො ගෙන කටයුතු කිරීමට එවකට හිටපු ජනාධිපතිවරයාත් ඒ ඇමතිවරයාත් ක්‍රියා කිරීම. ඉතින් අද සියලු රාජ්‍ය නිලධාරීන්ට වැදගත් පාඩමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණා. මේ නඩුව විභාග කරලා ඉවර වෙන තෙක් එනම් ලබන ජනවාරි මාසය වන තෙක් එම කොමිෂන් ජෙනරල් ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. දේශපාලකයින්ගේ අණ අහල ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට මේක හොඳ පාඩමක් වෙයි. ඒ වගේ ම අපි මේක මෙතනින් නතර කරන් නෑ. මේකට මැදිහත් වෙච්ච, මේ වංචාව පිටිපස්සේ හිටපු දේශපාලකයින් සියලු දෙනාටත් යුක්තිය ඉටු වන තෙක් අපි මේ අරගලය ගෙනියනවා. ඒක අනාගත නඩු විභාග වල දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. ඒකට තාම ඒ තත්ත්වය පැමිණිලා නෑ. නමුත් අපි ඒ දක්වා ම මේ අරගලය ගෙනියනවා. හැබැයි දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නෙත් මේ වගේ ආදර්ශ දෙන්න. අද ඉඳන් ම පටන් ගැනීම ඉතා වැදගත්. ඒක ඒ දැනට ඉන්න අපේ ලේකම්වරයාගේත්, නීතිපතිවරයාගේත් වගකීමක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න. ඒක විසිහතර පැයක් ඇතුළත කරන්න පුළුවන් කිව්වා. හතළිස් අට පැයක් ඇතුළත ක්‍රියාත්මක කරන්න කිව්වා. ඉතින්, ඔය දෙකෙන් එකක දී ඒක ක්‍රියාත්මක විය යුතුයි.”
ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයේ දී ඇතැම් නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන අයුරින් ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමං කිරීම, දෙවැනි සහ තුන් වැනි මනාපය ගණන් කිරීම දැනුම් දීමකින් තොරව සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අද (22) සමගි ජන සන්ධානය විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා; “දැන් ඇත්තටම පළවෙනි අපේක්ෂකයෝ දෙන්නට අනික් අපේක්ෂකයෝ 36 දෙනා දමලා තියෙන දෙවෙනි තුන්වැනි මනාප ගණන් කිරීම තමයි සිදු කල යුතු ව තියෙන්නේ. 56 ලක්ෂයක් ඡන්ද ජාතික ජන බලවේගයට වැටුණා. ඒ පක්ෂයට අපි සුබ පතනවා ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගැන. නමුත් 84 ලක්ෂයක් ජනතාව ඒකට විරුද්ධව ඡන්දේ දීලා තියෙනවා. ඒක නිසා ලැබුණු විදිහට හැසිරීමේ අයිතියත් ජාතික ජන බලවේගය හෝ ඒ අයට නෑ. මොකද 84 ලක්ෂයක් ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කරලා තියෙන නිසා. ඒ නිසා ඒ ගැන එතුමන්ලාගේ සැලකිල්ලට ලක්විය යුතුයි. මොකද පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ එතුමන්ලාගේ නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනයට ලැබිලා තියෙන්නේ මේ 56 ලක්ෂය. ඉතුරු අයට ලැබිලා තියෙනවා 84 ලක්ෂයක්. ඉතින් ඒ නිසා මේ ජනාධිපතිවරණයේ නිල වශයෙන් ගත් කල බහුතරයක් දෙනා විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් අපේක්ෂකයින්ට තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන ඇතිවෙලා තියෙන ප්රශ්නය මේ ඇතැම් නිලධාරීන් මේ ඡන්ද ප්‍රතිඵලය එක්ක උත්කර්ෂයට පත් වෙලා, තමන්ගේ දේශපාලන හැඟීම මුල් කර ගෙන එකපාරම 50% ඉක්මවා ගියා අපේ අපේක්ෂකයා කියලා. මේ ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානවල ඒ නිලධාරීන් පිටමං කිරීමත්. මොකද 10 දෙනෙක් තියා ගන්න ඕනෙයි කියලා පැහැදිලිව මේ මාර්ගෝපදේශවල කියලා තියෙනවා. අපේ නියෝජිතයන්ට යන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ හිටි අඩියේ මේ නිවේදනය ආවාට පස්සේ නැවත ඡන්ද ගණන් කිරීම කරලා තියෙන්නේ. ඡන්ද ගණන් කරන්න ඕනේ ඔව්. මේ නිවේදනය ආවේ මේ සුළු මොහොතකට පෙර. නමුත් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේ ඊට කලින්. ඒ කියන්නේ රට දැන ගන්නත් කලින්, අපි දැන ගන්නත් කලින්, රහසේ මේ ඡන්ද ගණන් කිරීම, දෙවෙනි මනාපය ගණන් කිරීම, තුන්වැනි මනාපය ගණන් කිරීම, පටන් අරන් තියෙනවා. එතකොට ඒක, මේ පනතටත් විරුද්ධයි. මේ මැතිවරණ කොමිෂන් සභාව විසින්, තේරීම් භාර නිලධාරීන්ට ලබා දීලා තියෙන මේ මාර්ගෝපදේශයන්ටත් පැහැදිලිව පටහැනි ඉතින් මේ ගැන අපගේ විරෝධය අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමාට, අපේ ලේකම් තුමා විසින් ඉදිරිපත් කළා. අපි කිසිසේත් ම මේ තීරණය අභියෝගයට ලක් කිරීමක් නෙමෙයි. නමුත් මේ ක්රියාදාමයේ දී මහජනයා ඉතා ම විනයානුකූලව හැසිරිලා තියෙද්දී දේශපාලන පක්ෂ ඉතා ම විනයානුකූලව හැසිරිලා තියෙද්දී, කිසි තැනක හොර ඡන්දයක් දැමූ බවට කිසිම වාර්තාවක් නැතිව තියෙන තත්වයක් තුල. කිසිම ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවී තියෙන තත්වය තුළ මේ මැතිවරණ නිලධාරීන් සහ ඒ කොමිෂන් සභාවේ අතපසුවීම්, එහෙම නැත්නම් ඒ අයගේ පනතට පටහැනි ව ක්‍රියාත්මක වීම් ගැන අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ මේ ප්‍රතිඵල නිත්‍යානුකූලව ලබා දෙයි කියලා හා මැතිවරණ කොමිෂන් සභාව අපි විසින් කරන ලද පැමිණිල්ලට අනුව විධිමත් පරීක්ෂණයක් කරලා මේ කටයුතු ආකාරයට හැසිරිච්ච නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගනී කියලා හා අපගේ අපේක්ෂකයාට අගතියක් වෙලා තියෙනවා නම් ඒ අගතිය නිවැරදි කිරීමට ක්‍රියා කරයි කියලා. අපි ඒ පිළිබඳ දැන් අදාළ සාක්ෂි සාධක අපගේ නියෝජිතයින් රැස් කර ගෙන යනවා. ඒ අනුව පූර්ණ වාර්තාවක් අපි ඉදිරි කාලයේ දී මැතිවරණ කොමිෂන් සභාවටත්, රටටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ අපේක්ෂකයාට අගතියක් වීම වළක්වා ගැනීමයි අපට තියෙන්නේ. ඒක ජනතාව ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ම කොටසක් හැටියටයි අපි සලකන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට ම රටේ මහජනතාවට සාමකාමී ලෙස මේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, ආරක්ෂක අංශවලට, ඒ වගේ ම සියලු ම නිලධාරීන්ට, මාධ්‍ය අංශවලට සියලු දෙනාට ම ස්තුතිය ප්‍රකාශ කරනවා.
අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදි නාහිමිවරුන් සමඟද, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සමඟද, 19 වැනි සියවසේ අග භාගයේ ඇති වූ බෞද්ධ පුනරුදය එකට ගැට ගැසී ඇත. ආනන්ද ගුරුගේ මෙන්ම පසුව ආචාර්ය සරත් අමුණුගම ද ධර්මපාල චරිත කතාව විස්තරාත්මකව ලියා ඇත. හාවර්ඩ් හිඟින්ස් හා කිංස්ලි ද සිල්වා විසින් විස්තරාත්මකව ජේ ආර් ජයවර්ධන චරිතාපදානය ලියා ඇත. මේ කෘතීන් කියවීමෙන් පමණක් විසිවෙනි සියවසේ ලාංකීය දේශපාලනයේ සැලකියයුතු කලාපයක් විධිමත්ව හඳුනාගත හැකිය. 1960 ගණන්වල මාර්ටින් වික්රමසිංහද, 1980 ගණන්වල ගුණදාස අමරසේකර ද බෞද්ධ ආර්ථික හා සමාජ ක්රමයන්, මාක්ස්වාදී සමාජවාදයට ඇති සමාන්තර බව පෙන්වීමට කෘතීන් ගණනාවකින් උත්සාහ කර ඇත. නමුත් බලගතු ලිබරල්වාදී ශාස්ත්‍රීය අධ්‍යයනයක්, ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ක්‍රියාවලිය හා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් මා විසින් කියවා නැත. බටහිර ලිබරල් වාදී මුල් පදනම වූයේ, සමාජමය ලෙස මානවයා සමානය. ඔහුට සියල්ල දත හැකිය. පුද්ගල නිදහස සියලු නිදහසේ පදනමය යන තර්කයක් මත ය. ලිබරල් වාදය විසින් වැඩවසම් සමාජ බෙදීම් (උස් - පහත්), රාජකීයත්වය ආදිය අභියෝග කළ අතර පුද්ගල කුසලතාවාදය පදනම් කර ගත්තේ ය. ජනතාවගේ ස්වෛරීත්වය, ඡන්ද අයිතිය හා ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් හා මානව අයිතීනුත්, පසුව එහි ජනප්‍රිය මූලිකාංග විය. දෙවැනි කාලීන ලිබරල් වාදීන් විසින්, පුද්ගලික දේපල ක්‍රමය පිළිගැනීම විසින් සමාජවාදීන්ගේ විවේචනය ද, නූතන ධනවාදීන්ගේ පිළිගැනීමට ද ලක්විය. නිදහස් වෙළඳපොළ ක්‍රමය එහි ආර්ථික පදනම විය. දෙවනුව රාජ්‍ය හැකිතාක් දුරට හැකිලිය යුතුය යන ලිබරල් වාදීන් දැරූ අදහස විසින් සමාජ ස්ථාවරත්වයට බාධා පැමිණෙන බව ප්‍රකාශ කළ සම්ප්රදාය වාදීන්ගේ ද, ජාතික රාජ්‍යක අවශ්‍යතාවය පිළිගත් ජාතිකවාදීන්ගේ ද විවේචනයට ලක් විය. කෙසේ වෙතත් ලිබරල් වාදය මේ විවේචන හා දේශපාලන බලවේග අතර පරිණාමය වෙමින් ක්‍රමයෙන් සිය චින්තනය තුළට සමාජ සාධාරණත්වය, වෙළෙඳපොළ ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම, සමාජ වෙළඳපොල ක්රමයන් පිළිගැනීම හා ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම පිළිගැනීම ආදී ලෙස පරිණාමනය විය. නමුත් මේ පිළිබඳ වූ ලාංකේය සංවාදයක් ඇති වී නැත්තේ, ලිබරල් වාදය යනු කන, බොන, නිදන තෙරුවන අදහන, බටහිර අධිරාජ්‍යවාදයේ දර්ශනයක් ලෙස බරපතළ ලෙස හංවඩු ගැසී ඇති නිසාය. සමාජමය ලෙස බෙදී තිබූ බමුණු සමාජයට මිනිසුන් සමානය යන විප්ලවකාරී අදහස බුදු දහමින් ලැබුණු අතර තම විමුක්තිය තමාටම සොයා ගත හැකිය යන චින්තනයත් සමග නිදහස් විවෘත සමාජයකට මාවත විවර කරනු ලැබීය. ධර්මපාලතුමාට කටයුතු කිරීමට සිදු වූයේ, බ්‍රිතාන්‍ය කිරීටය විසින් සිංහල බස ද, බෞද්ධ දර්ශනය හා සාසනය ද, පාගා තිබූ පසුබිමකය. එහෙයින්ම එතුමාගේ බස ද, ක්රියාකාරීත්වයද බොහෝ සෙයින් රළු වූ අතර අධිරාජ්‍යවාදීන් පමණක් නොව දේශීය ප්‍රභූ පන්තිය ද බිය ගන්වනු ලැබීය. ජපානය මෙන්, බටහිර කර්මාන්ත හා දැනුම ආර්ථිකයේ පදනම කරගත යුතු බවට වූ ධර්මපාල මතයද මුල් යුගයේ සේනානායක වැනි “ගොවිකම” මුල්කරගත් නායකයින්ට වැටහුනේ නැත. වාමාංශිකයන්ගේ ආදර්ශය වූයේ සෝවියට් සමාජවාදයයි. ජේ ආර් ජයවර්ධන මහතා මුල පටන්ම කාර්මිකකරණයේ අදහස මත සිට ගත්තේය. රාජ්‍ය මුල්කරගත් කර්මාන්ත ගැන ද මුලදී අදහස් පළ කළේ ය. පසුව ආර්ථිකය නිදහස් කළේය. නමුත් දේශපාලනමය ලෙස අධිකාරිවාදී වූ අතර, ලූම්පන් පන්තියක ආර්ථික හා දේශපාලනික නැගීමට, චේතනාන්විතව ඉඩ දුන්නේය. ඒ නිසාම නූතන ධර්මපාල වාදීන්ට ජේ ආර් ගේ ධර්මිෂ්ඨ සමාජය පිළිකුලක් විය. 20 වැනි සියවසේ ලාංකීය දේශපාලනයේ දමිල හා මුස්ලිම් ප්රජාවන්ගේ දේශපාලනය බල වාදය අත්හළ විට, ධර්මපාල තුමා, ජේ ආර් ජයවර්ධන හා බණ්ඩාරනායක යන චරිත අර්ධ ලිබරල් වාදීන් ලෙස දාර්ශනිකව ඇතමෙකුට පෙන්නා දිය හැක. වත්මන් ආර්ථික බංකොලොත්භාවය ජය ගැනීමට ලිබරල් වාදී උපක්රමවලට හැකිද යන්න ඉදිරි මාස කීපය තුළ තීරණය වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් උපක්‍රම සාර්ථක නොවුන හොත්, සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන දැන්ම සංවාදයක් ඇති කරගත යුතුය. නොඑසේනම් මනෝරාජික ජනකාන්තවාදීන්ට රට ගොදුරු වී කබලෙන් ලිපට වැටීමට රටට සිදු වනු ඇත. -පාඨලී චම්පික රණවක-
ලෙනින්ගේ මරණයෙන් පසු බලයට පත් වූ ජෝශප් ස්ටැලින් මේ මහා සම්පත් සහිත රට මධ්‍යගත මහා බලයක් වූ රාජ්‍යයක් කළේය. එමෙන්ම බලසම්පන්න යුද හමුදාවක් තැනුයේය. යෝධ තාක්ෂණික ඉදිරි පිම්මක් පැන්නේය. එක්සත් ජනපදයට තරගයක් දිය හැකි සම්පත් සහිත රටක් බවට සෝවියට් සංගමය පත් විය. න්‍යෂ්ටික අවි, නාවික, ගුවන් බලය, අභ්‍යාවකාශ බලය ආදී සෑම පියවරක්ම සමග සෝවියට් සංගමය පෙරට යන්නට විය. ලොව පුරා ලොකු කුඩා රාජ්‍ය ගණනාවක්, සෝවියට් සංගමය අනුව යමින් කොමියුනිස්ට් මාර්ගයෙන් ගමන් කිරීමට පටන් ගත්තෝය. 70 දශකය, සෝවියට් සංගමයේ දශකය විය. 1973-74 තෙල් අර්බුදය සමග ඛනිජ තෙල් මිල අහසට නැග්ගේය. මෙයින් විපුල ඵල ලැබුණේ සෝවියට් සංගමයටය. බටහිර ලෝකය අවුල් ජාලයක් විය. ලෝකය පුරා කොමියුනිස්ට් විප්ලවවලට සෝවියට් උපකාර ලැබෙන්නට විය. වියට්නාමය, ලාඕසය හා කාම්පුචියාව, ඇමරිකා එක්සත් ජනපදය පරදවා කොමියුනිස්ට් සංගමයේ උච්ඡ අවස්ථාව සනිටුහන් කළේය. 1979-80 අතර ඉරාන අර්බුදය සමග යළිත් තෙල් මිල ඉහළට ගියේය. සෝවියට් සංගමය නැවතත් බලවත් විය. සෝවියට් සංගමයේ ආදායම්වලින් 67% ක් එනම් තුනෙන් දෙකක් ලැබුනේ තෙල් හා ගෑස් වලිනි. යුරි ඇන්ද්රපොව්ගෙන් පසු සෝවියට් සංගමයේ බලධාරියා ලෙස මිහායිල් ගොර්බචොව් පත්විය. මුල පටන්ම ගැටළු ගණනාවකට මුහුණ දීමට ඔහුට සිදුවිය. පළමුව 1985 දී තෙල් මිල පහළ යාම නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. එය 1986 චර්නොබිල් අනතුර සමග බලශක්ති අර්බුදයක් විය. ඊළඟට එය ආර්ථික අර්බුදයක් විය. ඒ සමගම සෝවියට් පන්නයේ ආර්ථිකයක ඇති වන අකාර්යක්ෂමතාවය පිළිබඳ කණගාටුදායක තත්ත්වය ලොවට පෙනෙන්නට විය. සෝවියට් සංගමය විසුරුවා හරිමින් එහි ජනාධිපති මිහායිල් ගොර්බචොව් මෙසේ ප්‍රකාශ කළේය. "බලයෙන්, සැලසුම් සහගත බවින්, හමුදාමය විනයෙන් සමන්විත න්‍යෂ්ටික අවි, ග්‍රහලෝක තරණය කරන අභ්‍යාවකාශ අංගන හා රොකට්ටු සතු අපි වැනි දියුණු ජාතියක් දැනට ලොව තුළ නොමැත. නමුත් අපේ රට තුළ කාන්තාවන්ගේ යට ඇඳුම් පට (Panty hose) හිඟයක් පවතී. සබන් හිඟයක් පවතී. දත් බෙහෙත් හිඟයක් පවතී. ස්පුට්නික් අභ්‍යාවකාශයට යැවූ අපිට සබන්, දත් බෙහෙත් හා කාන්තා යට ඇඳුම් සැපයීමට නොහැකි වීම කවර ඛේදවාචකයක් ද?" සොවියට් සංගමයේ ජනාදිපති ලෙස මා කල කාර්යය අදසිට අවසන් වන අතර,සොවියට් සංගමයද විසුරුවාහරිනු ලැබේ සෝවියට් ඛේදවාචකය අවසන් වීමට වැඩි කලක් ගියේ නැත.. චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යෑමත් සමග 1986 දී ආරක්ෂාව පතා සෝවියට් දේශයේ න්‍යෂ්ටික බලාගාර වසා දමන ලද්දේය. තෙල්, ගෑස් මිල වැටීමත්, න්‍යෂ්ටික බලය අහිමි වීමත් සමග සෝවියට් ආර්ථිකය බිඳ වැටීම ඇරඹිනි. ගොර්බචොව් එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස ගෙන දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. එය අවසන් වූයේ යෝධ මහජන නැගිටීමක්, හමුදා කුමන්ත්‍රණයක් හා පූර්ණ විප්ලවයක් සිදු වීමෙනි. වසර 70 ක කොමියුනිස්ට් පාලනය එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර අවසන් වූයේ එලෙසිනි. බලය සහා බලය පිටු අංක 168 - පාඨලී චම්පික රණවක
යුක්රේනයට සෝවියට් සංගමයෙන් වෙන්වීමේ ස්වයං නිර්ණය අයිතිය නැත. එය රුසියාවේ පාන් මල්ලයි’ මෙලෙස කීවේ රුසියානු විප්ලවයේ (1917 ඔක්තෝම්බර්) නායක ලෙනින් ය. එසේ කියමින් ඔහු රතු හමුදාව යවා (1918) යුක්රේනය සෝවියට් සංගමයේ කොටසක් කරගත්තේය. දැන් යළිත් යුක්රේනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇත. එය නම් රුසියාවේ නායක පුටින් යුක්රේන දේශසීමාවේ හමුදා රැස්කිරීමත් සමඟ තුන්වැනි ලෝක යුද්ධයක් (3.0 WORLD WAR) ඇතිවේද යන බිය මතය. යුක්රේනය ඓතිහාසික රටකි. ඇත්ත වශයෙන්ම මහා රුසියානු ජාතියේ පදනම වූ ‘ස්ලාව්’ (SLAV) වර්ගයේ නිජබිම යුක්රේනයයි. එය ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේද මූල භූමියයි. යුරෝපීය සම්මත අනුව යුක්රේනය දියුණු රටක් නොවේ. එහි ඒක පුද්ගල ආදායම ලංකාවටත් වඩා අඩුය. නමුත් එය සතුව දැවැන්ත ධාන්‍ය වගාකළ හැකි භූමි පවතී. එමෙන්ම රුසියානු ගෑස් යුරෝපයට යන්නේද යුක්රේනය හරහා ය. යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් 46% ක් සපයන්නේ රුසියාවයි. සාමාන්‍යයෙන් පැරණි සෝවියට් සංගමයේ රටවල් 1989 න් පසු රුසියාව සමඟ ආර්ථික හා ආරක්ෂක සම්මුතියක ඇත. විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපීය හා මධ්‍ය ආසියානු රටවල පාලනයන් රුසියානු අක්ෂයෙන් ගිලිහී යෑම රුසියාව ඉවසන්නේ නැත. මෙවර රුසියාව සිය බටහිර මායිමේ යුක්රේනයට යාබදව මහා හමුදා පෙළගැස්වීමක් කර ඉල්ලා සිටින්නේ ද යුක්රේනයට නේටෝ (NATO) සාමාජිකත්වය ලබාදීම වැළැක්වීම හා නැගෙනහිර යුරෝපයෙන් නේටෝ හමුදා ඉවත් කරගැනීම කළ යුතු බවය. වසර 2014 දී රුසියානු හමුදා ක්රිමියාව අල්ලා ගත්තේත් යුක්රේනයේ නැගෙනහිර ප්‍රාන්ත දෙකක බෙදුම්වාදය ප්‍රාණවත් කළේත් මෙවැනිම ආරක්ෂක භීතියක් ප්‍රකාශ කරමිනි. රුසියාව මූලික වශයෙන් ගොඩබිම් යුධ බලයක් වන අතර එක්සත් ජනපදය යුරෝපය යොදාගන්නේ එහි යුධ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය. මෑත කාලයේදී රුසියාව ආකාර කීපයකින් එක්සත් ජනපදයේ යුධ බලය හා එහි ව්‍යාප්තිය ප්‍රශ්න කළේය. 01. නවීන තාක්ෂණික මිසයිල හා මිසයිල ආරක්ෂක පද්ධති, න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන යුධ තාක්ෂණය, විශේෂයෙන් කෘතිම බුද්ධිය (AI) හා සයිබර් ප්‍රහාරක හැකියාව තරඟකාරීව වර්ධනය කරලීම. 02. සිය සෘජු හමුදා මැදිහත්වීම් හෝ පුද්ගලික හමුදා (WAGNER) මගින් සිරියාව, ඉරාකය, ලිබියාව, වෙනිසියුලාව වැනි රටවල එක්සත් ජනපද යුධ සමීකරණය අවුල්කර දැමීම. 03. එක්සත් ජනපදයට එරෙහිව උපායමාර්ගික සබඳතා චීනය, පකිස්තානය, ඉරාකය, ඉන්දියාව, අරාබි ලෝකය හා තුර්කිය සමඟ ගොඩනගා ගැනීම. 04. වසංගත තත්වය සහ සීත සෘතුව නිසා ඉහළ ගිය (400% කින් පමණ) ගෑස් මිළ ගණන් සමඟ ජර්මනිය සමඟත්, චීනය සමඟත්, මධ්‍ය ආසියාව සමඟත්, පකිස්ථානය හා ඉන්දියාව සමඟත් බලශක්තිමය සබඳතා මඟින් එක්සත් ජනපදයේ දේශපාලන සබඳතා අභියෝග කරලීම ආදී ලෙසය. දැන් මේ නිශ්චිත මෙහොතේ රුසියාවට විකල්ප කීපයක් ඉතුරුව ඇත. 01. ක්ෂණික ආක්‍රමණයක් මඟින් යුක්රේනය ඈඳාගෙන තමනට හිතවාදී පාලනයක් එහි පිහිටුවීම. 02. එක්සත් ජනපදය සමඟ එකඟතාවයකට පැමිණ හමුදා දේශසීමාවෙන් ඉවත්කර ගැනීම. 03. යුක්රේනයේ නැගෙනහිර ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් බවට පත්කර ‘කිව්’ හි දේශපාලන අධිකාරිය පෙරලා දැමීමට කටයුතු කිරීම ආදී ලෙසය. මෙහිදී පුටින්ට අවාසිදායක වී ඇත්තේ යුක්රේනයේ නැගී එන ජාතිකවාදයත්, බටහිර යුධ සහාය ලැබීමත්, ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණදීමට රුසියානු ආර්ථිකයට හැකිද යන්නත් පිළිබඳව ය. පුටින්ට වාසිදායක වී ඇත්තේ එක්සත් ජනපදය සෘජු හමුදා මැදිහත්වීමක් නොකිරීමත්, ජර්මනිය, ප්‍රංශය රුසියානු විරෝධයට උද්යෝගීමත් නොවීමත්, එක්සත් ජනපදය තායිවානයේ පැටලී සිටීම නිසා පෙරමුණු දෙකක සටනකට මැලිවීමත්, ශීත කාලය නිසා අධික ගෑස් මිල, ගෑස් හිඟයකට පත්කිරීමට යුරෝපය සූදානම් නොවීමත්, එක්සත් ජනපදය හා එංගලන්තය පෙර නොවූ විරූ ලෙස දේශපාලනිකව බෙදී ගොස් ඇෆ්ඝනිස්ථාන අත්දැකීමෙන් පසු ධෛර්ය බිඳලී තිබීමත්ය. මේ අනුව බොහෝ දුරට සිදුවිය හැක්කේ න්‍යෂ්ටික බලවතුන් අතර තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට වඩා සීමාසහිත ගැටුමකට ගොස් දීර්ඝ කාලීන ගැටුමකට මුල පිරීමය. දේශපාලනික අනතුරු බාරගැනීම අතින් බයිඩන්ට වඩා පුටින් ඉදිරියෙන් සිටියද යුක්රේනයේ ජාතිකවාදී රැල්ල ඉදිරියේ සීමිත මෙහෙයුමක් වුවද රුසියාවට දිගුකාලීනව හානිදායක වනු ඇත්තේය. මේ ගැටුම නිසා රුසියාවට හා යුක්රේනයට තේ අපනයනය කරනා ශ්‍රී ලංකාවද, ඒ දෙරටම සමඟ මහා පරිමාණ ව්‍යාපාර කරනා චීනය, ජර්මනිය, ඉන්දියාව වැනි බලවත් රටවල් ද මහත් අපහසුතාවයක් ඇති වී තිබෙනා බව රහසක් නොවේ. තායිවාන හා යුක්රේන යුධ ගැටුම් තර්ජන වලින් පෙනී යන්නේ, ඉරාකයේ, සිරියාවේ හා ඇෆ්ඝනිස්තානයේ එක්සත් ජනපදය ලද යුධ පසුබෑම් ඉදිරියේ නැගී එන ලෝක බලවතුන් වන චීනය, රුසියාව වැනි රටවල් එක්සත් ජනපද යුධ ආධිපත්‍යය අභියෝග කරමින් තිබෙනා බවය.