* 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් - ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි. * මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට නිෂ්පාදන ධාරිතාවය අනුව ඇප මුදල් තීරණය කරන්න - කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස්. * අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියෙන් අයුතු ලාභ උපයන පාර්ශ්වයන් හඳුනාගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සමීක්ෂණයක් සිදු කළ යුතුයි * පාරිභෝගික සේවා අධිකාරිය මගින් නියම කර ඇති ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයට අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන පුද්ගලයන්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාමාර්ග ගත යුතුයි
වසර 2010 න් පසු රටට ආදායම් උත්පාදන මාර්ග බිඳ වැටුණු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි. වංචා, දූෂණ, අක්‍රමිකතා ද වර්ධනය විය. වරාය හා ගුවන් තොටුපළ ආශ්රිත වංචනික ක්‍රියා වර්ධනය විය. ආලා පාළු ආර්ථිකය නම් පොතක් රචනා කරමින් රජයේ වංචනික ක්‍රියා හෙළිකිරීමට තමා පියවර ගත් බව රණවක මහතා පෙන්වා දෙයි. එවැනි එරෙහිවීම් මත වසර 2012 දී අමාත්‍යධුරය ද අහිමි වූ බව රණවක මහතා පවසයි. ඒ වනවිට විදුලි බල අමාත්‍යවරයා ලෙස විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්වයකට පත්කර තිබිණ. එහෙත් වංචා, දූෂණ, අක්‍රමිකතා මර්දනයට එවකට රාජපක්ෂ රජය ක්‍රියාත්මක නොවීය. වර්තමාන ආර්ථික අර්බුදයට එම වටපිටාව ප්‍රධාන සාධකයකි. කෙසේවුවද ජනතාව වත්මන් අර්බුදයෙන් මුදා ගැනීමට එක්සත් ජනරජ පෙරමුණට සැලසුමක් තිබේ. ප්‍රධාන කරුණු සහිතව මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම සඳහා එය ප්‍රකාශයට පත්කෙරිණ. රටෙහි ගැටලු විසඳීමට අවශ්‍ය මූලික සාධක, වසර තුනක් ඇතුළත සම්පූර්ණ කර ගැනීම අපේක්ෂාවයි. ඒ සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමට ද එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බව පාඨලී චම්පික රණවක මහතා කියයි.
පාඨලී චම්පික රණවක
රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි. එහිදී අත්දැකීම් සහිත පිරිසිදු දේශපාලනඥයන් සහ නව දැක්මක් සහිත වෘත්තීයවේදීන්ගේ දායකත්වය වැදගත් වෙයි. මෙම දෙපාර්ශවය එක් කිරීම මගින් රට මුහුණ පා සිටින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි වෙතැයි රණවක මහතා විශ්වාස කරයි. වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 ම ප්‍රතික්ෂේප කිරීම ජනප්‍රිය මතයකි. එහෙත් රට අර්බුදයට ලක්වීමට 225 ම වගකිව යුතු නැත. ඊට වගකිවයුතු පාර්ශ්ව සිටියද, පිරිසිදු හා නිවැරදි දේශපාලනඥයන් 225 තුළ සිටින බව රණවක මහතා පෙන්වා දෙයි. ඔවුන් සමග තරුණ වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන් සම්බන්ධ කරමින් සැකසෙන ව්‍යුහයකින් රටේ අර්බුද විසඳිය හැකිය. වසර 75 ක් රට විනාශ කළ බවට දේශපාලකයන්ට නැගෙන චෝදනාවද ගැටලු සහගත බව හෙතෙම පෙන්වා දෙයි. මේවනවිට ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, සාක්ෂරතාව ආදිය වර්ධනය වී තිබේ. ඉන් සනාථ වන්නේ වසර 75 ක් තුළ අවගමනයක් පමණක්ම සිදුව නොමැති බවයි. රට තුළ අවස්ථා ගණනක දී කැරළි කෝලාහල ඇති විය. ඒ නිසා සිදුව ඇති ආර්ථික හානිය ද විශාලය. රණවක මහතා පෙන්වා දෙන්නේ, වත්මන් අර්බුදයට එවැනි කැරළි කෝලාහලවලට දායක වූ කණ්ඩායම් ද වගකිව යුතු බවයි. කෙසේවුවද වත්මන් අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ පොදු අවම යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. එය මත පදනම්ව මනුෂ්‍යත්වයේ දේශපාලන සන්ධානය ස්ථාපනය කෙරේ. එය නායකත්ව මණ්ඩලයකින් මෙහෙයවීම අපේක්ෂාවයි. පිරිසිදු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ සංවිධානවලට ඊට එක්විය හැකිය. නායකත්ව මණ්ඩලය විසින් ගනු ලබන තීරණ සන්ධාන පාර්ශවකරුවෝ ක්‍රියාවට නංවති. මැතිවරණ අපේක්ෂකත්ව සහ අවස්ථා ද නායකත්ව මණ්ඩලය මගින් තීරණය කෙරෙන අතර එක්සත් ජනරජ පෙරමුණ ඊට පූර්ණ සහාය සලසයි. නායකත්ව මණ්ඩලය විසින් ජනාධිපතිවරණය සඳහා තමා නම් කළහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද රණවක මහතා පෙන්වා දෙයි. වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් ඔහුට පූර්ණ සහාය පළ කරන බව ද රණවක මහතා පවසයි.
ඉදිරි අභියෝග වලින් රට මුදා ගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික වර්ධනයක් සඳහා යොමු කරවීම වැඩපිළිවෙලේ ප්‍රධානතම අරමුණයි. මේ වන විට රටෙහි ජනතාව අධි බදු බරකට ලක්ව සිටිති. ඉන් ඔවුන් මුදා ගෙන පීඩනය ඉවත් කිරීම එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණ බව රණවක මහතා සඳහන් කරයි. මෙම වසරේ දී ජාතික මැතිවරණ ය පැවැත්වෙයි. ඒ නිසා රටේ ඉතිහාසයෙහි තීරණාත්මක වසරක් ලෙසද මෙය හැඳින්විය හැකි බව රණවක මහතාගේ අදහසයි. දැනටමත් ජනාධිපතිධුරය සඳහා විවිධ අපේක්ෂකයෝ ඉදිරිපත්ව සිටිති. එහෙත් කිසිදු වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්ව නොමැත. එවැනි වටපිටාවක එක්සත් ජනරජ පෙරමුණ වසර තුනකදී ඉටුකරගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇතැයි රණවක මහතා අවධාරණය කරයි. ජනතාව මත ඇති බදු බර අවම කරමින්, ණය ගෙවිය හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීමට වැඩපිළිවෙල යටතේ හැකිවන බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරිපත් කර ඇති නව ප්‍රායෝගික වැඩපිළිවෙලට සම්බන්ධ වෙමින් රට සංවර්ධනයට සූදානම් පාර්ශව සමග පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ ඉදිරි සති දෙක තීරනාත්මක බවයි. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා ජනතාවක් ලොක් ඩවුන් තත්වයට යටතේ මිය යා හැකි බව තමනට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවේය. ලොක් ඩවුන් නොකලා නම් මිය යන පිරිස දශ ලක්ෂය ඉක්මවා යන හෙයින් මේ තත්වයද ජයග්‍රහණයක් ලෙස තමාට දැනෙන්නේ යැයි ඔහු පැවසීය. ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාව මේ වනව විට ධරුණු විවේචනයකට ලක්ව ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කොවිඩ් වසංගතය දෙවන ලෝක මහා සංග්‍රාමයට සමාන කළේය. ලෝකය සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් වසංගතය මැඩ පැවැත්වීම සඳහා වැයකළ යුතු බවද ප්‍රකාශ කළේය. දැනට එසේ කර ඇත්තේ එක්සත් ජනපදය, සිංගප්පූරුව හා ජර්මනිය වැනි රටවල් කිහිපයක් පමණි. ලෝක ඉතිහාසය දෙස බලන විට පසුගිය වසර 500 ක පමණ කාලය තුළ බලගතු වසංගත ගණනාවක් ඇතිවී ඇත. 14 වැනි සියවසේ ඇතිවූ කෘෂ්ණ වසංගතය නිසා අඩු තරමින් මිලියන 50-100 ක් අතර ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. යුරෝපයේ සිදුවූ මොන්ගෝලියානු ආක්‍රමණයද ඒ සමගම මිය ගියේය. ඊළඟට 16 වැනි ශතවර්ෂයේදී පෘතුගීසි හා ස්පාඤ්ඤ නාවිකයන් නිසා ලතින් ඇමරිකාවට, අප්‍රිකාවට හා ආසියාවට පැපොල හා සරම්ප පැතිර ගියේය. ඉන්කා - මායා - ඇස්ටෙක් ආදී මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවල අවසානයේ එක් කොනක් වූයේද එකී වසංගතයන්ය. ලංකාවේද ඉහත රෝගවලට පරංගි උණ යැයි භාවිත කෙරිණි. ඉන්පසු 1918 දී ස්පාඤ්ඤය හා යුරෝපයේද, ඉන්දියාවේද පැතිර ගිය උණ වසංගත තත්වයයි. එයින්ද මිලියන ගණනක් මියගියහ. මෑත කාලයේ ඒඩ්ස් (1982), සාර්ස් (2004), ඉබෝලා (2014) මෙවැනි වසංගතයන් වූහ. කෙසේ වෙතත් කොවිඩ්-19 මෙන්ම ලෝකයම වෙලාගත් වසංගතයක් බවට මේ කිසිදු වසංගතයක් පත්වූයේ නැත. ඇතැම් විචාරකයන් රෝග ව්‍යාප්තියට හේතුව ලෙස දකින්නේ ගෝලීයකරණයයි. තවත් විචාරකයින් කියන්නේ ගෝලීයකරණය නැතුව වුව අතීතයේදී කාලයත් සමග රෝග ව්‍යාප්තිය සිදුවූ බවය. වංසගත රෝග පාලනය සඳහා ගල් යුගයට යෑම හැර විසඳුමක් නැතැයි කියන්නෝද වෙති. කෙසේ වෙතත් රෝගය පාලනයට දින නියමයක් නැතිව ඇඳිරි නීතිය ආදිය යොදා ගැනීම නිසා දුගී රටවල ජනයා ඖෂධ හා ආහාර නොමැතිකමින් ගල් යුගයේ තත්වයටම පත්වෙමින් සිටිති. හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයාගේ ස්වභාවය නම් සිය පැවැත්ම තර්ජනයට ලක්වූ විට පුදුමාකාර ලෙස ඒ සඳහා නිර්මාණශීලී වීමය. යුද සමයන් හා වසංගත සමයන් මානවයා පියමං කර ඇත්තේ තාක්ෂණික හා සමාජ සබඳතාවල විප්ලවයක්ද සමගය. කොවිඩ්-19 නිසා දැනටමත් සිදුවෙමින් පැවතුණු තාක්ෂණික විප්ලවයන් වර්ධනය වෙමින් පවතී. කාලයක සිට දුරස්ථ අධ්‍යාපනය සඳහා (Online Learning) යොදාගත් ZOOM App එක දැන් විශ්ව විද්‍යාල හා පාසල්වලට අමතරව දේශපාලන නායකයන්ද යෙදා ගනිති. සමගි ජන බලවේගයේ නායකයෝ දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ එය යොදා ගනිමිනි. පක්ෂ නායක රැස්වීම් මෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම්ද ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මෙය අවශ්‍ය නම් පාර්ලිමේන්තුවටද යොදාගත හැකිය. කොවිඩ්-19 වසංගතය විසින් සිදුකළ අනෙක් දත්ත විප්ලවය නම් පුද්ගලයින්ගේ හැසිරීම, ඔවුන් සිටින ස්ථානය, ඔවුන් රෝගීන් ස්පර්ෂ කළාද යන්න හා ඔවුනගේ රෝග විනිශ්චය තොරතුරු තාක්ෂණයට භාරදීමය. කලකට ඉහත මානව හිමිකම් ක්‍රියාකාරීන් රුසියාව, සිංගප්පූරුව, චීනය වැනි රටවල් විවේචනය කළේ ඔවුන් කැමරා, දුරකථන, ඔරලෝසු ආදිය හරහා පුද්ගලයින් නිරීක්ෂණය කරන බවයි. දැන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි ලිබරල් මත දරන රටවල්ද සිය ප්‍රජාව නිරීක්ෂණය කරමින්, අවවාද කරමින් හා තොරතුරු මත පදනම්ව දඬුවම් කරමින් සිටිති. කලකට පෙර CIA, KGB, RAW, MOSSAD, M15 හෝ වෙනත් ඔත්තු සේවාවන් ඉතා සීමිත ජනතාවක් පිළිබඳව දැන සිටි තොරතුරු දැන් සිය සමස්ථ ජනකාය සම්බන්ධයෙන්ම, අවශ්‍ය නම් Google, Facebook, WhatsApp වැනි සමාජ මාධ්‍ය උපාංග සමග සම්බන්ධිත බිලියන ගණන් ජනතාව නිරීක්ෂණය කිරීමට BIG DATA PLATFORM එකක් තනාගත හැක. එක්සත් ජනපදය Prism නමින් එවැනි පද්ධතියක් තනාගත් බව ලොවට කිව්වේ ස්නෝ ඩෙන් විසිනි. දැන් බොහෝ රටවල් එවැනි විමර්ෂණකාමී තොරතුරු පද්ධති තමන්ගේ රටවල ස්ථාපිත කරමින් සිටිති. කොවිඩ්-19 අවසන් වන්නේ ප්‍රබල ලිබරල් සංකල්පයක් වන "පුද්ගලිකත්වය" යන්නද අවසන් වීමෙන් බව පැහැදිලිය. කෘත්‍රිම බුද්ධිය (AI) ඇතිවූ මුල් අවධියේදී හටගත් බියක් නම් ගණකාධිකාරී, වෛද්‍ය, නීති, ලිපිකරු ආදී වෘත්තීන් ගණනාවක් අහෝසි වී විගණනය හා පොත් තැබීම, රෝග විනිශ්චය, නීති උපදෙස්, ලිපි ලේඛන සැකසීම ආදිය පරිගණකයට (AI) කළ හැකි බවය. කොවිඩ්-19 නිරීක්ෂණය දැන් බොහෝ රටවල් පරිගණකවලට බාරදී ඇත. කොටින්ම ඇපල් වැනි ආයතන ඒ සඳහාම වූ සුවිශේෂී App දැනටමත් නිර්මාණය කර ඇත. මුළු මහත් ජනකායකගේම රෝගී දත්ත තනි පරිගණකයකට බාර දීමේ අනතුරක් නැතිද? ඇතැම් රටවල මැතිවරණ මෙහෙයවීමේදී පුරවැසියන්ගේ රෝග තත්වයන් පිළිබඳ දත්ත යොදා ගැනීම ගැන චෝදනා පසුගිය වසර කීපය තුළම බටහිර ලෝකයේ පැනනැංගේය. කොවිඩ්-19 ඇතැම්විට අවසන් වන්නේ දත්ත ඒකාධිපතියන් (Big Data Dictators) බිහිවීමෙන් විය හැකිය. ජනතාවට අයත් සංඛ්‍යාත අවකාශය අල්ලාගෙන සිටින කෑදර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකික ජන සමාජය අල්ලේ නටවන ආකාරය දෙස බලන කල එයට වඩා සියුම් මෙන්ම පුළුල් නව දත්ත ෆැසිස්ට්වාදයක් ඇතිවීමේ අනතුර පැනනැගී ඇත. නූතන ගොබෙල්ස්ලා රූපවාහිනී නාලිකාවලින් පමණක් නොව Facebook, WhatsApp හා AI හරහාද බිහිවිය හැකිය. පසුගිය දශකය (2010-20) සීග්‍ර වර්ධනයට ලක්වූ ක්ෂේත්රයක් වූයේ ජාන විද්‍යාව හා ජාන තාක්ෂණයයි. වසර ලක්ෂ තුනක් පමණ කාලයක් ස්වභාවිකව ජාන පරිණාමයකට ලක්වූ හෝමෝ සේපියන් කෘත්‍රිම ජාන ක්‍රියාවලියක් මගින් සුපිරි නව ජීවියෙක් තනා ගැනීමේ ඉඩකඩ ගැන විචාරකයෝ බොහෝ කලක සිට අනාවැකි පලකළහ. පසුගිය වසරේ චීන විද්‍යාඥයෙක් ඒඩ්ස් වෛරසයට ඔරොත්තු දෙන ලෙස ජාන සැකසූ කලලයක් හා දරුවෙක් බිහිකළේය. අනාගතයේදී ධනය, බලය හා දත්ත ඇති කිහිප දෙනෙක් ඒ අනුව කොවිඩ් වැනි රෝගවලට ඔරොත්තු දෙන දරුවන් බිහිකර ගනීවිද? කලකට පෙර දැනුම බලය වේ යන කියමන ධනය බලය වේ යන ලෙස වෙනස් වූවා සේ දැන් දත්ත බලය වේ ලෙස වෙනස් වී ඇත. කොවිඩ්-19 නිසා බරපතල අර්බුදයකට ලක්වී ඇත්තේ ආර්ථිකයයි. දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ඇඳිරි නීතිය නිසා දුගී ජනයා මහ පොලොවේ දූවිලි තත්වයට වැටී සිටිති. දැනට ඇත්තේ මාස කිහිපයකට බලපාන අවපාතයක් (Recession) පමණි. අනාගතයේ එය ආර්ථික බිඳවැටීමක් (Depression) බවට පත්වේද? දැන් දැන් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ලෝකය කොවිඩ් මර්දනය හා ජනතාවගේ ආර්ථිකය අතර තුලිත භාවයක් (Trade Off) ඇතිකර ගත යුතු බවයි. නැත්නම් ඖෂධ හිඟකමින්, ආහාර හිඟකමින් හා විවිධ රෝගාබාධ නිසා කොවිඩ් වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකි බවයි. පෙරළා සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ්-19 මරණ විසින් යළි ආපසු හැරවිය නොහැකි ආර්ථික ව්‍යසනයකට ලෝකය පත්කළ හැකි බවයි. කොවිඩ්-19 කවදා අවසන් වේදැයි කිව නොහැක. රටවල් වසා දමන අතරේ ඒ ඒ රටවල අත්දැකීම් හා තාක්ෂණය හුවමාරුකර ගැනීම අත්‍යාවශ්‍යය. සිංගප්පූරුව, තායිවානය, හොංකොං, කොරියාව හා චීනය ලබාගෙන ඇති අත්දැකීම් මෙහිදී අන් රටවල් සමග බෙදා ගැනීම අත්‍යාවශ්‍යය. එමෙන්ම, ජපානය, ජර්මනිය, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ලබාගෙන ඇති තාක්ෂණික තොරතුරු බෙදා හදා ගැනීමද අත්‍යාවශ්‍යය. දැන් එක්සත් ජාතීන් එයට මැදිහත් විය යුතුය. එයට අමතරව රට රටවල් වසා දැමීම නිසා ඖෂධ නැතිකමින්, ආහාර නැතිකමින් පීඩා විඳින රටවලට ජාත්‍යන්තර බෙදාහැරීමේ ක්‍රමවේදයක්ද දැන් අවශ්‍යය. ගෝලීයකරණය නිසා ව්‍යාප්ත වූ කොවිඩ්-19 මර්දනයට පශ්චාත් ගෝලීයකරණ උපායවලියක් අවශ්‍ය වී ඇත.
කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්‍යයෙකු පසුගියදා දුරකථනයෙන් මගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු ඇසුවේ "ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව සංඛ්‍යානමය ගණිත මාදිලියක් නැද්ද? අනාගත පුරෝකථනයක් නැද්ද?" යන්නයි. ඒ ගැන මා නොදැන සිටියෙමි. කෙසේ වෙතත්, මට එක්වරම අතීත කරුණු දෙකක් සිහිපත් වුණි. එකක් නම් 90 දශකයේදී මහාචාර්ය අර්ජුණ සොයිසා මහතා ලංකාවේ මැලේරියා ව්‍යාප්තිය පිළිබඳව ගණිත මාදිලියක් හා පූරෝකථන ක්‍රියාදාමයක් ඇතිකළ බවය. මගේ මතකය නිවැරදි නම් ඒ සඳහා ඔහුට ආචාර්ය උපාධියක්ද හිමිවිය. එතුමාගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය කාමිණී මෙන්ඩිස් ය. එකල විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ සේවය කළ මා සහ පුබුදු ඒ සඳහා විවිධ ඇසුරින් සහාය වූ බවද මතකය. දෙවැන්න නම්, 2018 වසරේදී "Contagion" නමින් මෙවැනි වසංගත ව්‍යාප්තියක් පිළිබඳව ගණිත මාදිලියක් හා මොබයිල් ඇප් එකක් ගැන BBC සේවය ප්‍රචාරය කළ බවය. (එය අන්තර්ජාලයේ ඇත). ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සංඛ්‍යාන අංශය හා වෛද්‍ය විශේෂඥයින් එක්වී විධිමත් දත්ත එකතුවක් ඇති කළහොත් කොවිඩ්-19 පිළිබඳ ගණිත මාදිලියක් තැනීම හා අනාගත පුරෝකථනයන් කිරීම අපහසු නැත. දැනටමත් එවැන්නක් කර ඇතිදැයි නොදනිමි. එහිදී පහත සඳහන් කරුණු වැදගත් වනු ඇත. 01. කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය වර්ධන තත්වය (Exponential Growth) දක්වා වර්ධනය වී ඇත්ද? ඝාතීය වර්ධනය හා රේඛීය වර්ධනය (Linear Growth) වෙන්කර හඳුනාගත යුතුය. පැරණි කතාවකට අනුව විලක සහමුලින් පිරී ඇති නෙලුම් කා දමන යක්ෂයෙක් අද දින එක් නෙලුමක්, හෙට දින නෙලුම් දෙකක්, අනිද්දා නෙලුම් 4 ක් ලෙස ගුණාකාර ක්‍රමයට නෙලුම් කා දමයි නම් එතැන ඝාතීය වර්ධනයක් (නෙලුම් විනාශ කිරීමේ) ඇත. ඉතින්, දින 29 කට පසු විලේ නෙලුම්වලින් අඩක් විනාශ වී ඇත්නම් එහි තේරුම කුමක්ද? රේඛීය වර්ධනය ගැන සිතන අය තවත් දින 29 ක් ඇති බව කියති. (ලංකාවේ බලධාරීන් කොවිඩ්-19 ගැන සිතුවේද එලෙසය) නමුත්, සත්‍ය ලෙසට මුළු විලේම නෙලුම් විනාශ වීමට ඇත්තේ එක් දිනක් පමණි. ඝාතීය වර්ධනයේ ස්වරූපය එයයි. එහෙයින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය ලෙස වර්ධනය වේද යන්න ප්රත්යක්ෂ කර ගැනීම අත්‍යාවශ්‍ය ය. ලෝකයේ බොහෝ රටවල රෝගය ව්‍යාප්ත වී ඇත්තේ ඝාතීය ලෙසිනි. 02. විධිමත් දත්ත අවශ්‍යය. එනම්, රෝගී බවට සැක කරන අයගෙන් කී දෙනෙක් දිනකට ආසාදිත පරීක්ෂාවට (PCR) ලක්වේද? (ශ්‍රී ලංකාවේ මෙය 150-200 අතර බැව් හිතවත් වෛද්‍යවරයෙකු පැවසීය. කොරියාවේ මෙය දිනකට 20,000 කි! මේ වනතෙක් ලංකවේ PCR පරීක්ෂණයට ලක්වූ පිරිස 2000 කට ආසන්න බව තොරතුරු වාර්තාවේ. ඒ අය අතුරින් ආසාදිත පිරිස කොපමණද? (අද දින වනවිට එය 100 ඉක්මවා ඇත) එනම් 2000 කට 100 ක් හෙවත් 5% කි. අසාදිත වී ඇති, එහෙත් හඳුනා නොගත් පිරිස තව කොපමණ ඇතිද? චීනයේ නම් එය රෝගයේ මුල් අවධියේ 1:15 අනුපාතයෙන් සිදුවිය) ලංකවේ ඒ පිළිබඳ දත්ත නොදනිමි. අසාදිතයන් සමීපව ඇසුරු කළ පිරිස කොපමණද? (Contact), චීනයේ නම්, එක් ආසාදිත රෝගියෙක් වෙතින් විවෘත සමාජ තත්වයකදී (Lock Down / Shut Down නැති) දින 6 ක් තුළ 3500 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. වෛද්‍ය පාදෙනිය මහතාට අනුව ලංකාවේ මෙම පිරිස 18,000 කට ආසන්නය. කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත දත්ත අවශ්‍යය. 03. ආසාදිත අය අතරින් කී දෙනෙක් අසාධ්‍ය තත්වයේ සිටීද? (එක්සත් ජනපදයේ නම් එය 20% කි. ලංකාවේ දෙදෙනෙකි) මොවුන් අතුරෙන් කී දෙනෙකුට Ventilators සැපයිය හැකිද? වෙනත් අසාධ්‍ය රෝගීීන් (පිළිකා, හෘද, වකුගඩු රෝග ආදිය) හා කොවිඩ්-19 අසාධ්‍ය වූවන් අතුරෙන් මේ සුවිශේෂී පහසුකම ලබාදීමේ හැකියාව කෙබඳුද? (ලංකාවේ ICU ඇඳන් ඇත්තේ 492 ක් බව දැනගන්නට ඇත). 04. අසාධ්‍ය නැති එහෙත් ආසාදිතයන්ගෙන් කවර ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් හෝ වෙනත් පහසුකම් තිබේද? අනාගතයේ පූරෝකථනය කරන අගයට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් පවතීද? (වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කරන 18,000 ක පිරිසට මෙය ආසාදිත වුවහොත් එයට පහසුකම් සැපයිය හැකිවේද?) 05. පෙබරවාරි මස සිට රෝගය ව්‍යාප්ත වූ රටවලින් ලංකාවට පැමිණ දැනට ලංකාවේ ජීවත්වන පිරිස කොපමණද? ඔවුනතරින් කවර පිරිසක් නිවෙස්වල නිරෝධායනය වේද? කවර ප්‍රතිශතයක් රෝහල් කරා පැමිණ තිබේද? (දැනට පොලීසියේ ලියාපදිංචි වී ඇති පිරිස 1000 කට අඩු බව කියැවේ. නමුත් යථාර්තයක් ලෙස එය ඊට වඩා වැඩි අගයක් ගනුඇත) කවර පිරිසක් තොරතුරු සඟවා සමාජයේ හැසිරෙමින් සිටීද? 06. සම්පූර්ණ සුවය ලබන හා මරණයට පත්වන ප්‍රතිශතය කවරක්ද? (ඉතාලියේ මරණ අනුපාතය 9% කි. එයට හේතුව ආසාදිත හා අසාධ්‍ය ප්‍රමාණය සෞඛ්‍ය පහසුකම් ඉක්මවා යෑමය. තායිවානයේ හා කොරියාවේ මෙය 0.1% කි. එයට හේතුව කලින්ම පූරෝකථනය කර කලින්ම පියවර ගැනීමය) වාසනාවකට ලංකාවේ මෙතෙක් මරණ වාර්තා වී නැත. දැනට අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකි. දකුණු ආසියාවේ මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පවතී. එය ඔවුනගේ ජාන ක්‍රියාවලියේ විශේෂත්වයක්ද, පවතින අධික උණුසුම දැයි නොදනී. නැත්නම් අප්‍රකාශිතවම රෝගීන් මිය යනවාද විය හැකිය. 07. මාර්තු 15 සිට 30 දක්වා බලධාරීන් පවත්වාගෙන යන අර්ධමය Lock Down / Shut Down තත්වයන් පවත්වාගෙන යාමේදී මතුවන සම්පත් හා මූල්‍ය සැපයුම්වල ප්‍රමාණයන් කවරේද? (ආහාර හා ඖෂධ හිඟකමින් දැනටමත් ජනයා අසහනයටත්, කෝපයටත් පත්ව ඇති අතර ඉදිරි සැලසුම වහාම ඉදිරිපත් කර රට දැනුවත් කළ යුතුව ඇත). බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 60 කට අධික පිරිසක් ජීවත් වන අතර, ඔවුනගේ දෛනික ආහාර හා ඖෂධ අවශ්‍යථා සැපිරීමට රජය හා පුද්ගලික අංශ අසමත් බව පසුගියදා ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාවේ ඇතිවූ අර්බුද හමුවේ පැහැදිලිවේ. එසේම, මෙවන් මොහොතක, සිය ඇමති ධූර භාවිතා කරමින් ආහාර බෙදාදීම වැනි බාල දේශපාලන වාසි ලබාගැනීමට යාමද ජනතාවගේ පිළිකුලට හේතුවී තිබේ. කොවිඩ්-19 වසංගතය මැඩලීමට එය මැඩලන විශේෂඥ කාර්යසාධන බලකායට නිවැරදි දත්ත, මාදිලි හා පූරෝකථන අවශ්‍ය වේ. අනාගත පියවර සැළසුම් කිරීමට එය අත්‍යාවශ්‍යය. හුදු ඇඳිරි නීතිය දමා සමජ සබඳතා අත්හිටුවීමෙන් පමණක් මෙය විසඳිය නොහැක්කේ දැනටමත් වෛරසය සමාජගත වී ඇති නිසාය.