ඊයේ දිනයේදී කඩුවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මහජන රැස්වීම් 20කට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ක්‍රියාකාරීන් සහ මධ්‍යස්ථ මතධාරී තරුණ කණ්ඩායම් රැසක් එහිදී පාඨලී චම්පික රණවක මහතා සමඟ සිය අදහස් හුවමාරු කරගනු ලැබූ අතර මහමැතිවරණයේදී ඒ මහතාගේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමටද එකඟ විය
කොවිඩ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. සුභදායී ප්‍රවෘත්තිය නම් කොවිඩ් නිසා පනස් දහසක් මියයන විට එමෙන් සිව් ගුණයක් එනම් ලක්ෂ දෙකක් රෝගය වැළඳී සුවය ලබා ඇති බවය. පසුගිය මාර්තු 10 වැනිදා කොවිඩ් ගෝලීය මාරාන්තික වසංගතයක් (Pandemic) බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මේ වසංගතය පිළිබඳ විශේෂඥ වූ ටෝමස් පූයෝ (Tomas Pueyo) මාර්තු 11 වැනිදා කොවිඩ් මර්දනය පිළිබඳව වහා කළයුතු සිද්ධාන්තයක් ලෙස හැමර් ඇන්ඩ් ඩාන්ස් ඉදිරිපත් කළේය. මේ වනවිට ලංකාව සිටියේ එක් රෝගියෙකු හඳුනාගෙන ඇති තත්වයකය. එය බරපත තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද බලධාරීන් එසේ නොසිතූහ. එක්සත් ජනපදය ක්‍රියාකළේ රෝගය පාලනයට සිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත්, රට වසා දැමීම අවශ්‍ය නොවන බවත් කියමිනි. ඉතාලිය හා ස්පාඤ්ඤය රෝගයට ගොදුරු වෙමින් සිටියේය. බ්‍රිතාන්‍ය අනුගමනය කළේ රෝගය පැමිණියද තම රටේ ජනයාගේ විශිෂ්ට සෞඛ්‍ය සේවාව (NHS) හා නිරෝගී සෞඛ්‍ය තත්වය විසින් සාමූහික ප්‍රතිශක්තියක් (Herd Immunity) ඇතිවී සිය රට සති කිහිපයක් තුළ සුළු මරණ අනුපාතයකින් අර්බුදය ජය ගන්නා බව කියමිනි. රුසියාව සිය රාජ්‍ය යාන්ත්‍රණය මුවහත් කරමින් සිටියේය. ස්වීඩනය තවමත් රට වසා දමා නැත. මෙයට සූදානම් වූයේ සිංගප්පූරුව, තායිවානය, හොංකොං වැනි ආසියානු රටවල් කිහිපයක් පමණි. එවන් තත්වයක් තුළ තෝමස් පූයෝ නිවැරදි ලෙස රෝගයේ ඝාතීය වර්ධනය පෙන්වා දුන්නේය. යම් යම් රටවල සෞඛ්‍ය පහසුකම් තත්වය (රෝහල්වල ඇඳන් කීයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද? වෙන්ටිලේටර් කීයක් කොවිඩ් සඳහා සූදානම්ද? ICU ඒකක කීයක් තිබේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා උපකරණවල ප්‍රමාණය ආදී) ඉක්මවා රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාව පාරවල් වල මිය යන තත්වයක් ඇතිවේ යැයි විශේෂඥයින්ගේ මතය විය. කොවිඩ් වක්‍රයට මිටි පහරක් දිය යුතු බව තෝමස් පූයෝ යෝිජනා කළේ එවන් තත්වයක් තුළය. (රූප සටහන බලන්න) හැමර් ඇන්ඩ් ඩාන්ස් අනුව රෝගය මර්ධනය සඳහා ගතයුතු පියවර 10 කි. 01. Ro<1, - එනම් එක් රෝගියෙකුගෙන් රෝගය බෝවෙන පුද්ගලයින් ප්‍රමාණය එකකට වඩා අඩුකළ යුතුය. (දැන් මෙය 2.6 කි) 02. සමාජ දුරස්ථභාවය 80% කට වැඩියෙන් තබාගත යුතුය - රටවල් වසා දැමීමෙන්, පුද්ගලයින් නිවසට සීමා කිරීමෙන් හා අවසාන ලෙස ඇඳිරි නීතිය ආදිය පැනවීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි. 03. නගර අතර, ජනාවාස අතර සංක්‍රමණය අවම කිරීම - ඇතැම් ගම්මාන, ජනාවාස හුදකලා කිරීම පවා අවශ්‍ය වන්නේ මේ නිසාය. 04. ස්ථිර ආසාදිතයන් තරයේ හුදෙකලා කිරීම - කොවිඩ් ආසාදිතයන් වෙනම රෝහල් හෝ වාට්ටුවල ප්‍රතිකාර කරවීම මෙයින් අදහස් වේ. 05. ස්පර්ෂකයින් 80% ක් සොයා ගැනීම - එක් රෝග වාහකයෙක් සොයා ගත්විට ඔහුගේ සබඳතා ජාලය සොයා ගැනීම. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණය අනුව මාර්තු 30 වැනිදා සිටියේ රෝගීන් 34 ක් වුවත්, ස්පර්ෂකයින් 1800 කට වඩා සිටි බව තහවුරු වීම. සති දෙකකට කලින් වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේ රටේ 18,000 කට වඩා ස්පර්ෂකයින් සිටින බවය. 06. නිවැරදි විද්‍යානුකූල පරීක්ෂාව - අප්‍රියෙල් 01 දා වනවිට ශ්‍රී ලංකාව පරීක්ෂණ 3007 ක් සිදුකර රෝගීන් 148 ක් හඳුනාගෙන තිබිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ Test, Test, Test කියාය. එනම් හැකිතාක් PCR පරීක්ෂණ සිදු කරන්නැයි කියාය. මේ පිළිබඳව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. එනම්, ශ්‍රී ලංකාව ඉතාම අඩුවෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවය. මාර්තු 26 වැනිදා වනවිට ලෝකයේ PCR පරීක්ෂණ තත්වයන් අනුව ජනගහණයෙන් දශ ලක්ෂයකට, • දකුණු කොරියාව - 7068 • ජර්මනිය - 5826 • එක්සත් ජනපදය - 1651 • එක්සත් රාජධානිය - 1577 • තායිවානය - 1211 • හොංකොං - 707 • මලයාසියාව - 539 • වියට්නාමය - 334 • ශ්‍රී ලංකාව - 87 • ඉන්දියාව - 20 • ඉන්දුනීසියාව - 15 (source - daily mirror) ලෙස විය. ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. එයට හේතුව පැහැදිලි කරදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් කොවිඩ් රෝගීන් 20% කට පමණ සාමාන්‍ය හෙම්බිරිස්සාවකින් ඔබ්බට රෝග ලක්ෂණ පහල නොවන නිසා දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වූ අය පමණක් PCR පරීක්ෂාවට යැවීම නුවණට හුරු නැත. අනෙක් අතින් මේ සඳහා පරීක්ෂණාගාර, Testing Kit හා පරීක්ෂකයින්ද අවශ්‍ය වේ. ඒවා ප්‍රමාණවත්ව ඉදිරි සතිය තුළ සකස් කරගෙන අඩු තරමින් දිනකට පරීක්ෂාවන් 2000 ක් වත් සිදුකර සියළු ස්පර්ෂකයින් ආසාදිතයින්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය අවධානය යොමුකර තිබේ. 07. පොදු ස්ථානවල ගැවසීම පාලනය කිරීම - පාසල්, සිනමා ශාලා, උත්සව ශාලා, ආගමික ස්ථාන යනාදිය මෙයට ඇතුළත්ය. කොරියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ඉරානය හා ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිර යෑමට එක් හේතුවක් වී ඇත්තේ විවිධ ආගමික කණ්ඩායම් සාමූහිකව යාඥා මගින් කොවිඩ් ජය ගැනීමට යෑමත් ආගමික සමුළු පැවැත්වීමත්ය. ආගම ඇදහීම ඉලෙක්ට්‍රොනික ලෙස හෝ පුද්ගලිකව සිදුකර ගැනීම කාගේත් කයට මෙන්ම සිතටද සුවදායකය. එමෙන්ම, මෙවැනි වසංගත වලදී ආගම්වල වසර දහස් ගණනකට පෙර යෝජනා කර ඇති ඇතැම් වතාවත් සිදුකළ නොහැකි බවද අප අවබෝධ කරගත යුතුය. 08. මනා ප්‍රතිකාරය - කොවිඩ් වැළඳුනු අයගෙන් 80% කටම මතු වන්නේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක් බව විශේෂඥ මතයයි. 20% කට බරපතල රෝග ලක්ෂණ මතුවේ. එයිනුත් 5% කට අසාධ්‍ය රෝගී තත්වයක් ඇතිවේ. තමන් වෙනත් බරපතල රෝග තත්වයන්ගෙන් පෙළුනේ නම් හෝ තමන්ගේ ප්‍රතිශක්තිය දුර්වල නම් (වයස්ගත නම්) අසාධ්‍ය තත්වය මරණය කරා යයි. මෙය සරළව කිවහොත් මෙලෙසය. රටක රෝහල්වල ඇඳන් ලක්ෂයක් ඇත්නම්, එයින් 10,000 ක් කොවිඩ් සඳහා වෙන්කළ හැකි නම් ඒ රටේ හඳුනාගත් රෝගීීන් 50,000 ක් දක්වා සිටියද වෛද්‍ය පහසුකම් පවතී. වැදගත්ම දෙය නම්, ඒ රටේ වෙන්ටිලේටර් හෝ ICU පහසුකම, වෙනත් රෝගීීන්ටද ලබාදීමෙන් පසු අඩු තරමින් 2500 ක් (5%) තිබිය යුතුය. මේ සීීමාවන් ඉක්මවා ගිය කල මරණ සීග්‍රයෙන් සිදුවේ. දියුණු යැයි අප සිතා සිටි ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් ජනපදය, ආදියේ සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීමේ අර්බුදයයි. (ලංකාවේ රෝහල්වල ඇඳන් 90,000 ක්ද, වෙන්ටිලේටර් 830 ක්ද, ICU ඒකක 542 ක්ද තිබෙන බව වාර්තාවේ. මෙයින් කොපමණ ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද යන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ යුතුය. මන්ද, තවත් රෝගීන්ද එකී පහසුකම් ඉල්ලා සිටින නිසාය.) මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඇතැම් රෝගීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසා රෝහල් කාර්ය මණ්ඩල පිටින්ම නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ. කොවිඩ් සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටවල වෛරස් රෝග වසරකට කිහිප වතාවක් පැතිර යන අතර, වසර දහස් ගණනක සිට යොදාගත් හුමාලය ඇල්ලීම, කොත්තමල්ලි පානය වැනි සාමාන්‍ය ප්රතිකර්මයන්ද පවතී. ඒවායින් යම් ප්‍රතිකර්මයක් සිදුවන බව බටහිර විශේෂඥයින්ද ප්‍රකාශ කර ඇත. 09. වරායන්, ගුවන් තොටුපල වසා දැමීම - අපි දූපත් රාජ්‍යයකි. අපට පිටින් පුද්ගලයින් පැමිණෙන මූලිකම ස්ථානය ගුවන් තොටුපලයි. එය මුලදීම (මාර්තු 01) වසා දැම්මා නම් බොහෝ දුරට කොවිඩ් ලංකාවට වැළඳීමට ඉඩ තිබුනේ නැත. එය පසුව හෝ වසා දැමීම සුදුසු ක්රියාමාර්ගයකි. වරාය සහමුලින් වසා දැමිය නොහැක්කේ ආහාර හා ඖෂධ රටට ගෙන ඒම අත්‍යාවශය නිසාය. 10. ප්‍රතිශක්තියක් නිපදවීම - පර්යේෂණ සාර්ථක වුවහොත් ඇතැම්විට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තියක් බිහිවනු ඇත. ඇතැම් විට වෛරසය ස්වයංව වෙනස්වනු (Mutation) ඇත. ඇතැම්විට අපගේ ප්‍රතිශක්තිය මෙයට ඔරොත්තු දෙන ලෙස වර්ධනය වනු ඇත. බටහිර හෝ ශීත රටවලට වඩා කොවිඩ් වලට ඔරොත්තු දිය හැකි කායික බලය ඇත්තේ ඝර්ම කලාපීය රටවල බැව් විශ්වාස කරමි.
කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ ඉදිරි සති දෙක තීරනාත්මක බවයි. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා ජනතාවක් ලොක් ඩවුන් තත්වයට යටතේ මිය යා හැකි බව තමනට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවේය. ලොක් ඩවුන් නොකලා නම් මිය යන පිරිස දශ ලක්ෂය ඉක්මවා යන හෙයින් මේ තත්වයද ජයග්‍රහණයක් ලෙස තමාට දැනෙන්නේ යැයි ඔහු පැවසීය. ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාව මේ වනව විට ධරුණු විවේචනයකට ලක්ව ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කොවිඩ් වසංගතය දෙවන ලෝක මහා සංග්‍රාමයට සමාන කළේය. ලෝකය සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් වසංගතය මැඩ පැවැත්වීම සඳහා වැයකළ යුතු බවද ප්‍රකාශ කළේය. දැනට එසේ කර ඇත්තේ එක්සත් ජනපදය, සිංගප්පූරුව හා ජර්මනිය වැනි රටවල් කිහිපයක් පමණි. ලෝක ඉතිහාසය දෙස බලන විට පසුගිය වසර 500 ක පමණ කාලය තුළ බලගතු වසංගත ගණනාවක් ඇතිවී ඇත. 14 වැනි සියවසේ ඇතිවූ කෘෂ්ණ වසංගතය නිසා අඩු තරමින් මිලියන 50-100 ක් අතර ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. යුරෝපයේ සිදුවූ මොන්ගෝලියානු ආක්‍රමණයද ඒ සමගම මිය ගියේය. ඊළඟට 16 වැනි ශතවර්ෂයේදී පෘතුගීසි හා ස්පාඤ්ඤ නාවිකයන් නිසා ලතින් ඇමරිකාවට, අප්‍රිකාවට හා ආසියාවට පැපොල හා සරම්ප පැතිර ගියේය. ඉන්කා - මායා - ඇස්ටෙක් ආදී මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවල අවසානයේ එක් කොනක් වූයේද එකී වසංගතයන්ය. ලංකාවේද ඉහත රෝගවලට පරංගි උණ යැයි භාවිත කෙරිණි. ඉන්පසු 1918 දී ස්පාඤ්ඤය හා යුරෝපයේද, ඉන්දියාවේද පැතිර ගිය උණ වසංගත තත්වයයි. එයින්ද මිලියන ගණනක් මියගියහ. මෑත කාලයේ ඒඩ්ස් (1982), සාර්ස් (2004), ඉබෝලා (2014) මෙවැනි වසංගතයන් වූහ. කෙසේ වෙතත් කොවිඩ්-19 මෙන්ම ලෝකයම වෙලාගත් වසංගතයක් බවට මේ කිසිදු වසංගතයක් පත්වූයේ නැත. ඇතැම් විචාරකයන් රෝග ව්‍යාප්තියට හේතුව ලෙස දකින්නේ ගෝලීයකරණයයි. තවත් විචාරකයින් කියන්නේ ගෝලීයකරණය නැතුව වුව අතීතයේදී කාලයත් සමග රෝග ව්‍යාප්තිය සිදුවූ බවය. වංසගත රෝග පාලනය සඳහා ගල් යුගයට යෑම හැර විසඳුමක් නැතැයි කියන්නෝද වෙති. කෙසේ වෙතත් රෝගය පාලනයට දින නියමයක් නැතිව ඇඳිරි නීතිය ආදිය යොදා ගැනීම නිසා දුගී රටවල ජනයා ඖෂධ හා ආහාර නොමැතිකමින් ගල් යුගයේ තත්වයටම පත්වෙමින් සිටිති. හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයාගේ ස්වභාවය නම් සිය පැවැත්ම තර්ජනයට ලක්වූ විට පුදුමාකාර ලෙස ඒ සඳහා නිර්මාණශීලී වීමය. යුද සමයන් හා වසංගත සමයන් මානවයා පියමං කර ඇත්තේ තාක්ෂණික හා සමාජ සබඳතාවල විප්ලවයක්ද සමගය. කොවිඩ්-19 නිසා දැනටමත් සිදුවෙමින් පැවතුණු තාක්ෂණික විප්ලවයන් වර්ධනය වෙමින් පවතී. කාලයක සිට දුරස්ථ අධ්‍යාපනය සඳහා (Online Learning) යොදාගත් ZOOM App එක දැන් විශ්ව විද්‍යාල හා පාසල්වලට අමතරව දේශපාලන නායකයන්ද යෙදා ගනිති. සමගි ජන බලවේගයේ නායකයෝ දිනපතා දේශපාලන සාකච්ඡා පවත්වන්නේ එය යොදා ගනිමිනි. පක්ෂ නායක රැස්වීම් මෙන්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම්ද ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මෙය අවශ්‍ය නම් පාර්ලිමේන්තුවටද යොදාගත හැකිය. කොවිඩ්-19 වසංගතය විසින් සිදුකළ අනෙක් දත්ත විප්ලවය නම් පුද්ගලයින්ගේ හැසිරීම, ඔවුන් සිටින ස්ථානය, ඔවුන් රෝගීන් ස්පර්ෂ කළාද යන්න හා ඔවුනගේ රෝග විනිශ්චය තොරතුරු තාක්ෂණයට භාරදීමය. කලකට ඉහත මානව හිමිකම් ක්‍රියාකාරීන් රුසියාව, සිංගප්පූරුව, චීනය වැනි රටවල් විවේචනය කළේ ඔවුන් කැමරා, දුරකථන, ඔරලෝසු ආදිය හරහා පුද්ගලයින් නිරීක්ෂණය කරන බවයි. දැන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි ලිබරල් මත දරන රටවල්ද සිය ප්‍රජාව නිරීක්ෂණය කරමින්, අවවාද කරමින් හා තොරතුරු මත පදනම්ව දඬුවම් කරමින් සිටිති. කලකට පෙර CIA, KGB, RAW, MOSSAD, M15 හෝ වෙනත් ඔත්තු සේවාවන් ඉතා සීමිත ජනතාවක් පිළිබඳව දැන සිටි තොරතුරු දැන් සිය සමස්ථ ජනකාය සම්බන්ධයෙන්ම, අවශ්‍ය නම් Google, Facebook, WhatsApp වැනි සමාජ මාධ්‍ය උපාංග සමග සම්බන්ධිත බිලියන ගණන් ජනතාව නිරීක්ෂණය කිරීමට BIG DATA PLATFORM එකක් තනාගත හැක. එක්සත් ජනපදය Prism නමින් එවැනි පද්ධතියක් තනාගත් බව ලොවට කිව්වේ ස්නෝ ඩෙන් විසිනි. දැන් බොහෝ රටවල් එවැනි විමර්ෂණකාමී තොරතුරු පද්ධති තමන්ගේ රටවල ස්ථාපිත කරමින් සිටිති. කොවිඩ්-19 අවසන් වන්නේ ප්‍රබල ලිබරල් සංකල්පයක් වන "පුද්ගලිකත්වය" යන්නද අවසන් වීමෙන් බව පැහැදිලිය. කෘත්‍රිම බුද්ධිය (AI) ඇතිවූ මුල් අවධියේදී හටගත් බියක් නම් ගණකාධිකාරී, වෛද්‍ය, නීති, ලිපිකරු ආදී වෘත්තීන් ගණනාවක් අහෝසි වී විගණනය හා පොත් තැබීම, රෝග විනිශ්චය, නීති උපදෙස්, ලිපි ලේඛන සැකසීම ආදිය පරිගණකයට (AI) කළ හැකි බවය. කොවිඩ්-19 නිරීක්ෂණය දැන් බොහෝ රටවල් පරිගණකවලට බාරදී ඇත. කොටින්ම ඇපල් වැනි ආයතන ඒ සඳහාම වූ සුවිශේෂී App දැනටමත් නිර්මාණය කර ඇත. මුළු මහත් ජනකායකගේම රෝගී දත්ත තනි පරිගණකයකට බාර දීමේ අනතුරක් නැතිද? ඇතැම් රටවල මැතිවරණ මෙහෙයවීමේදී පුරවැසියන්ගේ රෝග තත්වයන් පිළිබඳ දත්ත යොදා ගැනීම ගැන චෝදනා පසුගිය වසර කීපය තුළම බටහිර ලෝකයේ පැනනැංගේය. කොවිඩ්-19 ඇතැම්විට අවසන් වන්නේ දත්ත ඒකාධිපතියන් (Big Data Dictators) බිහිවීමෙන් විය හැකිය. ජනතාවට අයත් සංඛ්‍යාත අවකාශය අල්ලාගෙන සිටින කෑදර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකික ජන සමාජය අල්ලේ නටවන ආකාරය දෙස බලන කල එයට වඩා සියුම් මෙන්ම පුළුල් නව දත්ත ෆැසිස්ට්වාදයක් ඇතිවීමේ අනතුර පැනනැගී ඇත. නූතන ගොබෙල්ස්ලා රූපවාහිනී නාලිකාවලින් පමණක් නොව Facebook, WhatsApp හා AI හරහාද බිහිවිය හැකිය. පසුගිය දශකය (2010-20) සීග්‍ර වර්ධනයට ලක්වූ ක්ෂේත්රයක් වූයේ ජාන විද්‍යාව හා ජාන තාක්ෂණයයි. වසර ලක්ෂ තුනක් පමණ කාලයක් ස්වභාවිකව ජාන පරිණාමයකට ලක්වූ හෝමෝ සේපියන් කෘත්‍රිම ජාන ක්‍රියාවලියක් මගින් සුපිරි නව ජීවියෙක් තනා ගැනීමේ ඉඩකඩ ගැන විචාරකයෝ බොහෝ කලක සිට අනාවැකි පලකළහ. පසුගිය වසරේ චීන විද්‍යාඥයෙක් ඒඩ්ස් වෛරසයට ඔරොත්තු දෙන ලෙස ජාන සැකසූ කලලයක් හා දරුවෙක් බිහිකළේය. අනාගතයේදී ධනය, බලය හා දත්ත ඇති කිහිප දෙනෙක් ඒ අනුව කොවිඩ් වැනි රෝගවලට ඔරොත්තු දෙන දරුවන් බිහිකර ගනීවිද? කලකට පෙර දැනුම බලය වේ යන කියමන ධනය බලය වේ යන ලෙස වෙනස් වූවා සේ දැන් දත්ත බලය වේ ලෙස වෙනස් වී ඇත. කොවිඩ්-19 නිසා බරපතල අර්බුදයකට ලක්වී ඇත්තේ ආර්ථිකයයි. දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ඇඳිරි නීතිය නිසා දුගී ජනයා මහ පොලොවේ දූවිලි තත්වයට වැටී සිටිති. දැනට ඇත්තේ මාස කිහිපයකට බලපාන අවපාතයක් (Recession) පමණි. අනාගතයේ එය ආර්ථික බිඳවැටීමක් (Depression) බවට පත්වේද? දැන් දැන් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ලෝකය කොවිඩ් මර්දනය හා ජනතාවගේ ආර්ථිකය අතර තුලිත භාවයක් (Trade Off) ඇතිකර ගත යුතු බවයි. නැත්නම් ඖෂධ හිඟකමින්, ආහාර හිඟකමින් හා විවිධ රෝගාබාධ නිසා කොවිඩ් වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකි බවයි. පෙරළා සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ්-19 මරණ විසින් යළි ආපසු හැරවිය නොහැකි ආර්ථික ව්‍යසනයකට ලෝකය පත්කළ හැකි බවයි. කොවිඩ්-19 කවදා අවසන් වේදැයි කිව නොහැක. රටවල් වසා දමන අතරේ ඒ ඒ රටවල අත්දැකීම් හා තාක්ෂණය හුවමාරුකර ගැනීම අත්‍යාවශ්‍යය. සිංගප්පූරුව, තායිවානය, හොංකොං, කොරියාව හා චීනය ලබාගෙන ඇති අත්දැකීම් මෙහිදී අන් රටවල් සමග බෙදා ගැනීම අත්‍යාවශ්‍යය. එමෙන්ම, ජපානය, ජර්මනිය, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ලබාගෙන ඇති තාක්ෂණික තොරතුරු බෙදා හදා ගැනීමද අත්‍යාවශ්‍යය. දැන් එක්සත් ජාතීන් එයට මැදිහත් විය යුතුය. එයට අමතරව රට රටවල් වසා දැමීම නිසා ඖෂධ නැතිකමින්, ආහාර නැතිකමින් පීඩා විඳින රටවලට ජාත්‍යන්තර බෙදාහැරීමේ ක්‍රමවේදයක්ද දැන් අවශ්‍යය. ගෝලීයකරණය නිසා ව්‍යාප්ත වූ කොවිඩ්-19 මර්දනයට පශ්චාත් ගෝලීයකරණ උපායවලියක් අවශ්‍ය වී ඇත.