පසුගියදා අපේ සෞඛ්‍ය ඇමතිතුමිය පැවසුවේ කොවිඩ්-19 රෝගීන් කිසිවෙකු එදින (25) වාර්තා වී නොමැති බවය. (මාර්තු 27 දා ද කිසිදු රෝගියෙකු වාර්තාවි නැත) ආණ්ඩුවේ ප්රචාරක යාන්ත්‍රණය මේ ආරංචිය පතුරුවාලූයේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 මර්දනයෙන් ලෝකයටම ආදර්ශයක් දී ඇති ලෙසටය. පාර්ලිමේන්තුව, පළාත් සභාව හා ආණ්ඩුවේ සේවකයින් කිසිවෙකු නැතිව ජනාධිපතිතුමා සහ හමුදාව දිගටම ජයග්‍රාහී ලෙස කොවිඩ්-19 ට එරෙහිව මෙහෙයුම ගෙන යා යුතුව ඇතැයි සමාජ මාධ්‍ය ජාලා ප්‍රකාශ කරයි. කොවිඩ්-19 ට එරෙහිව හමුදාව හා පොලීසිය සිදුකළ කාර්යය අගය කළ යුතුය. නමුත් ශ්‍රේෂ්ඨතම කාර්යය ඉටු කරන්නේ ආණ්ඩුවේ සේවකයින් පිරිසක් වන සෞඛ්‍යය කාර්ය මණ්ඩලය විසින් බව අප කවුරුත් දන්නා සත්‍යයකි. කොවිඩ්-19 යනු ත්‍රස්ත ප්‍රහාරයක් හෝ දේශපාලකයින් මනාප සඳහා සහනාධාර බෙදන, ගංවතුර, නියඟ හෝ වෙනත් එවන් සොභාවික උවදුරක් නොවන බවද අප මතක තබා ගත යුතුය. එමෙන්ම, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කියන ලෙස අප්‍රියෙල් 03 දා දක්වා හෝ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇති පරිදි ලෙස අප්‍රියෙල් 10 දක්වා හෝ රටේ, විශේෂයෙන් බස්නාහිර පළාතේ සමාජ ක්‍රියාකාරකම් ඇඳිරි නීතිය යටතේ පාලනයෙන් පමණක් ප්‍රශ්ණය විසඳේ යැයි කීමටද නොහැකිය. අද (27) වනවිට එක්සත් ජනපදය රෝගීන් 532,000 ක් PCR පරීක්ෂාවට ලක්කර එයින් රෝගීීන් 84,000 ක් ආසාදිත බැව් සොයාගෙන ඇත. එනම්, සෑම පුරවැසියන් දශ ලක්ෂයකටම අඩු තරමින් 1500 ක් පරීක්ෂා කිරීමෙන් ඉහත තොරතුරු ලබාගෙන ඇත. (දකුණු කොරියාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින්ම පුරවැසියන් 5300 ක් පරීක්ෂාවට ලක් කර ඇත.) ශ්‍රී ලංකාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින් තවමත් පරීක්ෂා කර ඇත්තේ 100 කට ආසන්න ගණනකි. තත්වය එසේ තබාගෙන රෝගීන් හමුවී නැතැයි කියමින් ආඩම්බර කතා කීම අනුවන කමකි. චීනයේ දත්ත අනුව, කොවිඩ්-19 රෝගීන්ගෙන් 81% කට රෝග ලක්ෂණ ඇත්තේ මද වශයෙනි. සාමාන්‍ය උණ, හෙම්බිරිස්සාවෙන් එය සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වෙන්කර හඳුනාගත නොහැක. තවත් 14% කට තරමක් තද රෝග ලක්ෂණ ඇත. ඔවුන් හඳුනා ගැනීම ඇතැම්විට සිදුවිය හැක. රෝග ලක්ෂණ තදටම ඇත්තේ 4% කට පමණය. එයින්ද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්නේ තවත් අඩු ප්රතිශතයකි. එයින්ද PCR පරීක්ෂණයට යන්නේ තවත් සුළු පිරිසකි. ආණ්ඩුව මේ සංඛ්‍යාලේඛණ නිවැරදිව හඳුනාගෙන ඇත්නම් ඒවා ජනගත කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොමැතිව, රෝගීන් හමුවී නැතැයි ආඩම්බර කතා කිම සුදුසු තත්වයක් නොවේ. මේ සංඛ්‍යාලේඛණ නොමග යැවීම වෛද්‍ය පහසුකම් නැති බොහෝ රටවල සිදුවේ. ඉන්දියාව කොවිඩ්-19 රෝගීන් 500 ක් හමුවීමෙන් පසු දශලක්ෂ 1,300 ක් ජීවත්වන රට වසා දැමුවේ තමන්ගේ රටේ සෞඛ්‍ය පහසුකම් හා සැඟවුණු රෝගීන් ගැන හොඳ තක්සේරුවකින් පසුවය. යම් පමණකට හෝ සංඛ්‍යාලේඛණ ලබාදීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ස්තුති කළ යුතුය. ශ්‍රී ලංකාව දූපත් රටකි. එහෙයින් එය කලින්ම විදේශිකයින් පැමිණීම පෙබරවාරි මස (මන්ද, චීනය හුබෙයි ප්‍රාන්තය වැසුවේ ජනවාරි 24 දාය) සීමා කළා නම්, අද මෙවැනි දුක්ඛිත ඉරණමක් දශ ලක්ෂ 22 කට අත්වන්නේ නැත. පෙබරවාරි සිට මාර්තු දක්වා සිදුවූයේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 ජයගෙන ඇති හෙයින් හැකි තරම් විදේශිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ප්රචාරක ව්‍යාපාරයකි. අනෙක් පසින් සිදුවූයේ කෙසේ හෝ අප්‍රේල් 25 ඡන්දය පැවැත්වීමේ අභිලාෂය හා මාර්තු 19 දා නාම යෝජනා අවසන් කිරීමේ තදියමයි. කෙසේ වෙතත් අන් රටවල් අනුව යමින් ප්‍රමාද වී හෝ රට වසා දැමීම කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමට ගත් හොඳ මගකි. කෙසේ වෙතත්, තැට්වරද ක්‍රමය (Trial & Error) මගින් නම් කොවිඩ්-19 මර්දනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. උදාහරණයක් ලෙස සමාජ සබඳතා නැවැත්වීමට ඇඳිරි නීතිය පනවා, පසුව එය කෙටි කාලීනව ඉවත් කර ආහාර අවශ්‍යතා වෙනුවෙන් සමාජ කල්ලි ගැසීමට නැවත ඉඩ සැලසීම වැනි සිදුවීම්, කලින් සැලසුම් නොකර සිදුකළ යුතු ඉහළම ගනයේ සමාජ වසාදැමීම (ඇඳිරි නීතිය) ක්‍රියාත්මක කරලීමේ තැට්වරද ක්‍රමයයි. අප මතක තබාගත යුත්තේ ශ්‍රී ලංකාවේ දත්ත වලට අනුව පවතින රැකියා නියුක්ති ප්‍රමාණය ලක්ෂ 81 ක් බවය (2018). එයින් 58% ක් නොහොත් ලක්ෂ 47 ක් නිශ්චිත නොවූ හෝ අස්ථිර රැකියාධාරීන්ය. එනම්, එදාවේල සොයා ගන්නා ශ්‍රමිකයන් හෝ ස්වයං රැකියාලාභීන්ය. දැන් මේ අයගේ ඉරණම කුමක්ද? ඔවුන් පත්ව ඇති අසීරු, දුක්ඛිත ඉරණම කවරාකාරද? එමෙන්ම, මතක තබාගත යුත්තේ අන්තර්ජාතික තත්වය අඩු තරමින් මාස කිහිපයක් පැවතිය හැකි නිසා විදේශවලින් සැපයුම් හෝ විදේශවලට සැපයුම් (ආනයන - අපනයන) කළ නොහැකි වන බවය. එහෙයින්, අනිවාරයෙන්ම කලින් පැවසූ ලක්ෂ 47 ගැන කෙටි කාලීනව බලාගන්නා අතර, මුළු රටටම මධ්‍ය කාලීන (මාස 06 ක් පමණ) ආර්ථික වැඩ පිළිවෙලක් අවශ්‍යය. මෙය බැසිල් රාජපක්ෂට තනිව කළ හැකි දැයි නොදනිමි. තෙල් මිල අඩුවීම, විදේශ ණය ගෙවීමට සහන කාලයක් ලැබීම, විදේශ වෙළඳපොළවල පොලී අනුපාත අඩුවීම ආදී ධනාත්මක දේට වඩා ආර්ථිකයක් සහමුලින් අඩපණ වීමේ සෘණාත්මක ක්‍රියාවලිය කොවිඩ්-19 වසංගතයේදී ප්රබලය. රාජපක්ෂවරු සාමූහිකව ප්‍රශ්න විසඳීමට උත්සාහ ගන්නා බවක්ද නොපෙනේ. 2007-2010 යුද්ධය හා ලෝක ආර්ථික අර්බුදය හමුවේ රට ගෙනගිය ආකාරයට මෙවරත් අර්බුදය ජයගත හැකිවනු ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. සංඛ්‍යාලේඛණ වලින් මෙන්ම, අධි තක්සේරුවලින්ද අපි පරෙස්සම් විය යුතු වන්නේ ඒ නිසාය.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. ආසාදිතයන් ගණන ලක්ෂ 5 කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය දෙවැනි සතියට පියවර තබමින් සිටී. ඉන්දියාව දින 21 කට වසාදමා ඇත. කොවිඩ්-19 සමග මට ඇසුණු දැනුනු අත්දැකීම් කිහිපයක් මෙලෙසය. කොළඹ ඇඳිරි නීතිය ලිහිල් වූ අඟහරුවාදා උදේම මා සිටින නිවසට, මා අමාත්‍යධූරය දරන කාලයේ නිල නිවස ගෙමිදුල හා අවට භූමිය සකස් කළ තරුණයා පැමිණියේය. ඔහු කොළඹ නගරයේ පැල්පත්වාසී දුප්පත් තරුණයෙකි. කිසිදු කුලී වැඩක් නොලැබුණු බවත්, කඩයකින් බඩු ගැනීමට සතයක් නැති බවත් ඔහු වැලපෙමින් කීවේය. මෙය ඔහුගේ පමණක් නොව කොළඹ නගරයේ ජීවත්වන පවුල් 70,000 ක අඳෝනාවද වන්නේය. ඔහුට සුළු මුදලක් මා ලබා දුන්නෙමි. මෙවැනි පිරිස්වලට ප්‍රදේශයේ ග්රමාසේවකවරයා හරහා ආහාර හෝ මුදලින් රු.10,000 ක් හෝ ඇඳිරි නීතිය සමයේ ලබාදිය යුතු බව මා කියා සිටියේ එබැවිනි. මට දුරකථන ඇමතුම් මතුගමින් හා රත්නපුරයෙන් ලැබිණි. ඒ දෙකෙන්ම කියැවුණේ වතුකරයේ දෙමළ ජනයා කුසගින්නේ දුක්විඳින බවය. තේ, රබර් අපනයනයද ඇණහිට ඇති මේ මොහොතේ ඔවුන් ගලවා ගැනීමට කවර හෝ මධ්‍ය කාලීන හා කෙටි කාලීන වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය වේ. එසේ නැත්නම් ඊළඟට පැමිණෙන්නේ මංකොල්ලකෑම් හා ආහාර සඳහා ගහමරා ගැනීම්ය. අප විසින් 2015-2019 කාලයේ කොළඹ පැල්පත් වාසීන්ට නිවාස 15,000 ක් පමණ ලබාදී තිබේ. ඔවුන්ගේ සමිති කිහිපයකට මම ඇමතුවෙමි. ආහාර හිඟය, මුදල් හිඟය, ඖෂධ හිඟය වැනි දුක්ඛදායක ආරංචි සමග සතුටුදායක ආරංචියක්ද ලැබිණි. එනම්, මත්පැන්, මත්ද්‍රව්‍ය පාලනය වී ඇති බවය. වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් ඇසෙන්නේ බිය හා දුක පිලිබඳ කතන්දරය. ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය පහසුකම් අනාගත රෝගීන්ට දිය හැකි වේදැයි ඔවුන් බියට පත්ව සිටිති. දිනපතා කොයි මොහොතෙක හෝ රෝගයට ලක්වේදැයි සිතමින් සිය දූ දරුවන් සමග ඔවුන් දුකට පත්ව සිටිති. මේ පිරිස ඇත්තටම අපගේ වීරයින් පිරිස නොවේද? කොවිඩ්-19 ට එරෙහි සටනේ මේ විරු දරුවන් රැක ගැනීම හා දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකමි. මාගේ හිතවත් වෛද්‍ය මහාචාර්යවරයෙක් කීවේ ඔහු සිය පුද්ගලික සායනික කටයුතු දැන් කරන්නේ whatsapp මාර්ගයෙන් බවය. දැන් බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වන්නේ whatsapp මගින් බව මම ඔහුට කීවෙමි. 2009 දී whatsapp ලෝකයට දායාද කළ බ්‍රයන් ඇක්ටන් හා ජෑන් කූම් මේ අලුත් පාරභෞතික සබඳතා ගැන තවත් සතුටු වනවාට සැක නැත. මගේ හිතවත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු කීවේ වසංගත සමයේ ලෝකයේ සමාජ සබඳතා මෙන්ම ආර්ථික සබඳතාද පාර-යතාර්ථයට (Hyper Reality) ගෙන යා යුතු බවය. දකුණු කොරියාව හා චීනය සිය කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම හා පාලනය GIS තාක්ෂණය මගින් සිදුකරන ආකාරය ඔහු මට පැහැදිලි කළේය. අනාගතයේ බොහෝ අත්‍යාවශ්‍ය දෑ රොබෝ තාක්ෂණය, IOT මගින් ඉටුකර ගැනීම සඳහා මහා ඉදිරි පිම්මක් (Giant Leap Forward) මේ විප්ලවකාරී තාක්ෂණයන් (Disruptive Technology) විසින් තැබිය යුතු බව ඔහුගේ අවධාරණය විය. සුප්‍රකට ලේඛක නුවාල් හරාරිගේ අදහසක් වන Homo Sapien වෙනුවට ඉක්මනින්ම වසංගත වලට ඔරොත්තු දෙන පාර-යථාර්තය විසින් පාලනය කරන Homo Deus අවශ්‍ය බව ඔහුගේ අවධාරණය විය. වෙනත් විදිහකට සිතන්නේද වෙති. ඉහළ මධ්‍යම පාන්තික වෘත්තීයවේදිනියක මා හට කීවේ ඕට්ස්, කිරි, බේකන්, බිත්තර ආදිය උදේ ආහාරයට ගත් තම දරුවන් දැන් කන්කෙඳිරියකින් තොරව බත්, සම්බෝල, කිරිහොදි කන බවය. දරුවන්ට සිංහල හාල් පුරුදු කරලීමට කොවිඩ්-19 උපකාරී වී ඇති බව ඇයගේ මතය විය. මෙය වැඩිදුරටත් ඉදිරියට ගෙන ගිය මා හිතවත් මාධ්‍යවේදිනියක් කීවේ ඊ.එෆ්. ෂුමාකර්ගේ "පුංචි නම් ලස්සනයි" කෘතිය යළි ප්‍රචලිත කළයුතු බවය. බලශක්ති හිඟය හා පරිසර දූෂණය විසින් ලෝකය ඉක්මනින්ම ස්වයංපෝෂිත, විමධ්‍යගත කුඩා නිෂ්පාදන හා සමාජ ඒකකවලට සකස් කළයුතු බව ෂුමාකර් කීවේ 1970 දීය. එහිදී මට මතක් වූයේ මගේ ජීවිතයද, චින්තනයද වෙනස් කළ ෆ්‍රිට්ජොෆ් කජරා විසින් රචිත Turning Point නම් කෘතියය. ලෝකයේ ආක්රමණික නූතන සංවර්ධන රටාව පරිසර හිතකාමී තාක්ෂණය හා පරිසර හිතකාමී ආර්ථික (කජරා ට අනුව බෞද්ධ) සහිත නව සංවර්ධන රටාවකට පිවිසිය යුතු බව ඔහුගේ තර්කය විය. නූතන බටහිර පරිසර ව්‍යාපාර වල පදනම කජරාගේ චින්තනය විය. අවසාන වශයෙන් මිනිසුන් ජීවිතයේ අනියත බව වටහා ගනිමින් සිටිති. ඇතැමුන් කොවිඩ්-19 යොදාගෙන ධනය, බලය උපයා ගන්නා ආකාරය ගැන සිහින දකිද්දී බහුතරයක් දෙනා පරෝපකාරය, පරාර්ථකාමීත්වය හා ධාර්මික ජීවිතය දෙසට හැරෙමින් සිටිති. විද්‍යාව මතින් අමරණීය වන්නට ගිය මිනිසා මරණය ළඟ නතර වී ඇත. විසඳුම ඇත්තේ බ්‍රයන් ඇක්ටන් අතද? ඊ.එෆ්. ෂුමාකර් අතද? නැත්නම් අනිත්‍ය පදනම් කරගත් බෞද්ධ දර්ශනය මතද?
කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්‍යයෙකු පසුගියදා දුරකථනයෙන් මගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු ඇසුවේ "ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව සංඛ්‍යානමය ගණිත මාදිලියක් නැද්ද? අනාගත පුරෝකථනයක් නැද්ද?" යන්නයි. ඒ ගැන මා නොදැන සිටියෙමි. කෙසේ වෙතත්, මට එක්වරම අතීත කරුණු දෙකක් සිහිපත් වුණි. එකක් නම් 90 දශකයේදී මහාචාර්ය අර්ජුණ සොයිසා මහතා ලංකාවේ මැලේරියා ව්‍යාප්තිය පිළිබඳව ගණිත මාදිලියක් හා පූරෝකථන ක්‍රියාදාමයක් ඇතිකළ බවය. මගේ මතකය නිවැරදි නම් ඒ සඳහා ඔහුට ආචාර්ය උපාධියක්ද හිමිවිය. එතුමාගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය කාමිණී මෙන්ඩිස් ය. එකල විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ සේවය කළ මා සහ පුබුදු ඒ සඳහා විවිධ ඇසුරින් සහාය වූ බවද මතකය. දෙවැන්න නම්, 2018 වසරේදී "Contagion" නමින් මෙවැනි වසංගත ව්‍යාප්තියක් පිළිබඳව ගණිත මාදිලියක් හා මොබයිල් ඇප් එකක් ගැන BBC සේවය ප්‍රචාරය කළ බවය. (එය අන්තර්ජාලයේ ඇත). ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සංඛ්‍යාන අංශය හා වෛද්‍ය විශේෂඥයින් එක්වී විධිමත් දත්ත එකතුවක් ඇති කළහොත් කොවිඩ්-19 පිළිබඳ ගණිත මාදිලියක් තැනීම හා අනාගත පුරෝකථනයන් කිරීම අපහසු නැත. දැනටමත් එවැන්නක් කර ඇතිදැයි නොදනිමි. එහිදී පහත සඳහන් කරුණු වැදගත් වනු ඇත. 01. කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය වර්ධන තත්වය (Exponential Growth) දක්වා වර්ධනය වී ඇත්ද? ඝාතීය වර්ධනය හා රේඛීය වර්ධනය (Linear Growth) වෙන්කර හඳුනාගත යුතුය. පැරණි කතාවකට අනුව විලක සහමුලින් පිරී ඇති නෙලුම් කා දමන යක්ෂයෙක් අද දින එක් නෙලුමක්, හෙට දින නෙලුම් දෙකක්, අනිද්දා නෙලුම් 4 ක් ලෙස ගුණාකාර ක්‍රමයට නෙලුම් කා දමයි නම් එතැන ඝාතීය වර්ධනයක් (නෙලුම් විනාශ කිරීමේ) ඇත. ඉතින්, දින 29 කට පසු විලේ නෙලුම්වලින් අඩක් විනාශ වී ඇත්නම් එහි තේරුම කුමක්ද? රේඛීය වර්ධනය ගැන සිතන අය තවත් දින 29 ක් ඇති බව කියති. (ලංකාවේ බලධාරීන් කොවිඩ්-19 ගැන සිතුවේද එලෙසය) නමුත්, සත්‍ය ලෙසට මුළු විලේම නෙලුම් විනාශ වීමට ඇත්තේ එක් දිනක් පමණි. ඝාතීය වර්ධනයේ ස්වරූපය එයයි. එහෙයින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය ලෙස වර්ධනය වේද යන්න ප්රත්යක්ෂ කර ගැනීම අත්‍යාවශ්‍ය ය. ලෝකයේ බොහෝ රටවල රෝගය ව්‍යාප්ත වී ඇත්තේ ඝාතීය ලෙසිනි. 02. විධිමත් දත්ත අවශ්‍යය. එනම්, රෝගී බවට සැක කරන අයගෙන් කී දෙනෙක් දිනකට ආසාදිත පරීක්ෂාවට (PCR) ලක්වේද? (ශ්‍රී ලංකාවේ මෙය 150-200 අතර බැව් හිතවත් වෛද්‍යවරයෙකු පැවසීය. කොරියාවේ මෙය දිනකට 20,000 කි! මේ වනතෙක් ලංකවේ PCR පරීක්ෂණයට ලක්වූ පිරිස 2000 කට ආසන්න බව තොරතුරු වාර්තාවේ. ඒ අය අතුරින් ආසාදිත පිරිස කොපමණද? (අද දින වනවිට එය 100 ඉක්මවා ඇත) එනම් 2000 කට 100 ක් හෙවත් 5% කි. අසාදිත වී ඇති, එහෙත් හඳුනා නොගත් පිරිස තව කොපමණ ඇතිද? චීනයේ නම් එය රෝගයේ මුල් අවධියේ 1:15 අනුපාතයෙන් සිදුවිය) ලංකවේ ඒ පිළිබඳ දත්ත නොදනිමි. අසාදිතයන් සමීපව ඇසුරු කළ පිරිස කොපමණද? (Contact), චීනයේ නම්, එක් ආසාදිත රෝගියෙක් වෙතින් විවෘත සමාජ තත්වයකදී (Lock Down / Shut Down නැති) දින 6 ක් තුළ 3500 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. වෛද්‍ය පාදෙනිය මහතාට අනුව ලංකාවේ මෙම පිරිස 18,000 කට ආසන්නය. කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත දත්ත අවශ්‍යය. 03. ආසාදිත අය අතරින් කී දෙනෙක් අසාධ්‍ය තත්වයේ සිටීද? (එක්සත් ජනපදයේ නම් එය 20% කි. ලංකාවේ දෙදෙනෙකි) මොවුන් අතුරෙන් කී දෙනෙකුට Ventilators සැපයිය හැකිද? වෙනත් අසාධ්‍ය රෝගීීන් (පිළිකා, හෘද, වකුගඩු රෝග ආදිය) හා කොවිඩ්-19 අසාධ්‍ය වූවන් අතුරෙන් මේ සුවිශේෂී පහසුකම ලබාදීමේ හැකියාව කෙබඳුද? (ලංකාවේ ICU ඇඳන් ඇත්තේ 492 ක් බව දැනගන්නට ඇත). 04. අසාධ්‍ය නැති එහෙත් ආසාදිතයන්ගෙන් කවර ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් හෝ වෙනත් පහසුකම් තිබේද? අනාගතයේ පූරෝකථනය කරන අගයට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් පවතීද? (වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කරන 18,000 ක පිරිසට මෙය ආසාදිත වුවහොත් එයට පහසුකම් සැපයිය හැකිවේද?) 05. පෙබරවාරි මස සිට රෝගය ව්‍යාප්ත වූ රටවලින් ලංකාවට පැමිණ දැනට ලංකාවේ ජීවත්වන පිරිස කොපමණද? ඔවුනතරින් කවර පිරිසක් නිවෙස්වල නිරෝධායනය වේද? කවර ප්‍රතිශතයක් රෝහල් කරා පැමිණ තිබේද? (දැනට පොලීසියේ ලියාපදිංචි වී ඇති පිරිස 1000 කට අඩු බව කියැවේ. නමුත් යථාර්තයක් ලෙස එය ඊට වඩා වැඩි අගයක් ගනුඇත) කවර පිරිසක් තොරතුරු සඟවා සමාජයේ හැසිරෙමින් සිටීද? 06. සම්පූර්ණ සුවය ලබන හා මරණයට පත්වන ප්‍රතිශතය කවරක්ද? (ඉතාලියේ මරණ අනුපාතය 9% කි. එයට හේතුව ආසාදිත හා අසාධ්‍ය ප්‍රමාණය සෞඛ්‍ය පහසුකම් ඉක්මවා යෑමය. තායිවානයේ හා කොරියාවේ මෙය 0.1% කි. එයට හේතුව කලින්ම පූරෝකථනය කර කලින්ම පියවර ගැනීමය) වාසනාවකට ලංකාවේ මෙතෙක් මරණ වාර්තා වී නැත. දැනට අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකි. දකුණු ආසියාවේ මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පවතී. එය ඔවුනගේ ජාන ක්‍රියාවලියේ විශේෂත්වයක්ද, පවතින අධික උණුසුම දැයි නොදනී. නැත්නම් අප්‍රකාශිතවම රෝගීන් මිය යනවාද විය හැකිය. 07. මාර්තු 15 සිට 30 දක්වා බලධාරීන් පවත්වාගෙන යන අර්ධමය Lock Down / Shut Down තත්වයන් පවත්වාගෙන යාමේදී මතුවන සම්පත් හා මූල්‍ය සැපයුම්වල ප්‍රමාණයන් කවරේද? (ආහාර හා ඖෂධ හිඟකමින් දැනටමත් ජනයා අසහනයටත්, කෝපයටත් පත්ව ඇති අතර ඉදිරි සැලසුම වහාම ඉදිරිපත් කර රට දැනුවත් කළ යුතුව ඇත). බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 60 කට අධික පිරිසක් ජීවත් වන අතර, ඔවුනගේ දෛනික ආහාර හා ඖෂධ අවශ්‍යථා සැපිරීමට රජය හා පුද්ගලික අංශ අසමත් බව පසුගියදා ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාවේ ඇතිවූ අර්බුද හමුවේ පැහැදිලිවේ. එසේම, මෙවන් මොහොතක, සිය ඇමති ධූර භාවිතා කරමින් ආහාර බෙදාදීම වැනි බාල දේශපාලන වාසි ලබාගැනීමට යාමද ජනතාවගේ පිළිකුලට හේතුවී තිබේ. කොවිඩ්-19 වසංගතය මැඩලීමට එය මැඩලන විශේෂඥ කාර්යසාධන බලකායට නිවැරදි දත්ත, මාදිලි හා පූරෝකථන අවශ්‍ය වේ. අනාගත පියවර සැළසුම් කිරීමට එය අත්‍යාවශ්‍යය. හුදු ඇඳිරි නීතිය දමා සමජ සබඳතා අත්හිටුවීමෙන් පමණක් මෙය විසඳිය නොහැක්කේ දැනටමත් වෛරසය සමාජගත වී ඇති නිසාය.