කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම..

telephone x 1

කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

2023.11.22 දින ‘කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාවේ’ දී එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලද දේශනය ඇසුරිනි.
(2023.11.26 ඉරිදා ලංකාදීප)
___________________________________________
2009 පරිසර ඇමැති ලෙස එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් ලැබිණ. එහි ආරම්භක දේශනය සිදු කළේ එවකට නිව්යෝර්ක් නගරාධිපතිවරයා ය. ඔහුගේ දීර්ඝ කතාවේ දී, ‘නිව්යෝර්ක් හී ගස් මිලියනයකින් නගරයේ ජනගහනය වූ මිලියන 7 ක මිනිසුන්ගේ කාබන් විමෝචනය ආවරණය කරනවාය’ යන අදහස ඔහු ඉදිරිපත් කළේය. මම මෙවැනි ප්‍රශ්නයක් නැගුවෙමි.
“එක ගහකින් අවුරුද්දකට කොච්චර කාබන් අවශෝෂණය කරනවද කියලා දන්නවද?” මගේ ප්‍රශ්නය හමුවේ ඔහු මා දෙස කෝපයෙන් මෙන් බලා සිටියේය. “දොළහයි. ඔයාගේ ගස් මිලියනයට පුළුවන් අවුරුද්දකටම කිලෝග්‍රෑම් මිලියන දොළහක් කරන්න. ඕගොල්ලන්ගේ නිව්යෝර්ක් නගරයේ ඒක පුද්ගල විමෝචනය ටොන් වලින් 24යි. ගස් 500යි. ඒ කියන්නේ මිනිස්සු 500යි. මිනිස්සු පන්සීයකගේ විමෝචනය තමයි ඔයාට නවත්තන්න පුළුවන්” මා අසළ වාඩි වී සිටි ප්‍රංශ ජනාධිපති සාකෝසේ මා දෙස හැරී ප්‍රංශ බසින් යමක් ප්‍රකාශ කළ අතර, ඔහුගේ පරිවර්තකයා පැවසූ ආකාරයට ඔහු කියා ඇත්තේ, මා නිව්යෝර්ක් නගරාධිපතිවරයාගේ කලිසම ගැලවූ බවකි.
නගරාධිපතිවරයා බොහෝ සේ කෝපයට පත්ව එම ප්‍රශ්නවලට උත්තර දීම ඉන් නවතා දැමුවේ ය. ලෝකයේ තිබෙන කැපී පෙනෙන කාරණය මෙයයි.
ලෝකයේ දක්ෂිණාංශික ජනකාන්තවාදීන්ගේ අදහස වී ඇත්තේ ගෝලීය උණුසුම වැඩි වීම යනු සමාජවාදීන්ගේ කුමන්ත්‍රණයක් බවත්, දේශගුණික විපර්යාස යන්න පට්ටපල් බොරුවක් බවත් ය.
දේශගුණික හා කාලගුණික තත්ත්වයට ප්‍රධානව බලපාන්නේ සූර්යයාගේ බලයයි. සූර්යයා වටා පෘථිවිය ගමන් කරන්නේ ඉලිප්සයක හැඩයටය. සමහර කාලවල පෘථිවිය සූර්යයාට තරමක් ළං වන අතර, තවත් කාලයක දී පෘථිවිය සූර්යයාගෙන් ඈත් වේ. ඒ අනුව පෘථිවියට උණුසුම දැනීම පිළිබඳ කාරණයේ වෙනස්කම් ඇති වේ. උස්ව පිහිටි ශ්‍රී පාද කන්ද සීතල වන හේතුව පෘථිවියේ පවතින ඇලය යි. ලෝක දේශගුණික දේශගුණයේ තත්ත්වයක් පැමිණෙන්නේ මේ ඇලය නිසා ය. මෙම ඇලය ද එක්තරා කාලයකින් චලනය වෙමින් යන අතර, එය Milankovich Cycle ලෙස හඳුන්වයි. අවුරුදු 15000කට පමණ පෙර, මෙහි ප්‍රතිඵලයක් ලෙස, පෘථිවිය විශාල ප්‍රමාණයෙන් ඇල විය. මහා හිම කඳු දිය වී, මීටර් 129කින් පමණ සාගරයේ සාමාන්‍ය ජල මට්ටම ඉහළ ගියේය. එහිදී එක් රටක් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රටවල් දෙකක් බවට පත්වීම සහ වර්තමාන දූපත් බොහොමයක් ඇති වූ බව කියවේ.
හිම දියවීම හා අයිස් යුගය අවසන් වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇති වූ විශාල ජල වාෂ්ප ප්‍රමාණය මගින් කෘෂිකර්මාන්තයට ප්‍රවේශය ඇති වූ බව සඳහන් වේ. මෙම ඇලයේ අංශක 22-24 අතර වන කුඩා වෙනසකට මීටර් 129 ක් ජලය ඉහළට ගෙනයාමේ හැකියාවක් පවතී. එම නිසා සූර්යයාගේ උණුසුම වැඩිවීම යන කාරණය ඉතාම බරපතල භයානක ප්‍රශ්නයකි.
පොසිල ඉන්ධන ලෙස පොළොවේ ද, අවකාශයේ ද, ජලයේ, පසේ, ශාකවල, සතුන්ගේ සහ මිනිසාගේ ශරිර තුළ කාබන් තැන්පත්ව පවතී. චක්‍රයක ක්‍රියාත්මක වන මෙය, කාර්මික විප්ලවය සහ කාර්මික විප්ලවයේ දෙවෙනි යුගයේ දී බිඳ වැටුණු අතර, පොසිල ඉන්ධන දහනය නිසා පොළොව යට තැන්පත් වී තිබූ කාබන් ඉහළ වායුගෝලයට එකතු විය. කාබන් චක්‍රය ඇති වීමට ප්‍රථම පෘථිවියේ ජීවයක් නොතිබූ අතර, කාබන් නිසා පෘථිවියේ උණුසුම ක්‍රමයෙන් ඉහළ නංවා ජීවය ඇති විය. නමුත් දැන් ඒ කාබන් නිසා ඒ ජීවයට පැවතීමට නොහැකි තරම් ප්‍රමාණයකින් කාබන් වැඩිවීම සිදු වී තිබේ. එය හරිතාගාර ආචරණය නමින් හඳුන්වයි.
කැළෑ ගිනි තැබීම්, වායු සමීකරණ යන්ත්‍ර, බලශක්ති නිෂ්පාදනය, නගර නිර්මාණය වැනි දෑ මගින් කාබන් නිකුත් කරයි. දැන් වැටෙන සූර්යාලෝකයෙන් ආපසු යන්නේ කොටසකි. ඒ නිසා පෘථිවිය ක්‍රමයෙන් උණුසුම් වෙයි.
කාබන් විමෝචනය වැඩි රටවල් සහ සමස්තයක් ලෙස 5.2% කින් තම විමෝචනය අඩු කළ යුතු රටවල් ලෙස ඇමරිකාව වැනි රටවල් රැසක් හඳුනාගත්තේ 1992 ජපානයේ කියෝතෝ හී පැවැති පරිසර සමුළුවෙන් පසුවය. ඒ වන විට සෝවියට් දේශය බිඳ වැටී තිබූ අතර, රුසියාව වැනි රටවල් වලට මෙසේ කාබන් විමෝචනය අඩු කිරීම සඳහා ඉලක්කයක් ලබා දුන්නේය. නමුත් කියෝතෝ සන්ධානයෙන් අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඉවත් වීමත් සමග මෙහි ක්‍රියාකාරීත්වය අඩපන විය. එසේ නොවූයේ නම් 1997-2008 අතර කාලයේ කාබන් විමෝචනය පිළිබඳ නීත්‍යානුකූල රාමුවකට යටත් වීමට ලෝකයට සිදු වනු ඇත. ඉහත රටවල් තුනම බලගතු තෙල් සමාගම් පවතින බැවින් සෙනෙට් මන්ත්‍රී සභාවල මේවා අනුමත වීමට ඉඩ නොලැබිණ. ක්‍රියාත්මක වීම එතැනින්ම අඩාල විය. අනෙක් රටවල් ද මෙය මග හැර ගියේය.
ලංකාවේ දේශගුණ විපර්යාස මගින් හිටිහැටියේ වැසි වසින අතර, හිටිහැටියේ වැසි නතර වී කන්න දෙක අවුල් වී සැලසුම් කරගැනීමට නොහැකි වේ. එමෙන්ම ආන්තික වී එක්කෝ මහා වැසි ඇද වැටේ ඉන් පසු හිටිහැටියේ පායයි. එමෙන්ම අපගේ වියළි කලාපය වැඩි විමේ හැකියාවක් ද, තෙත් කලාපය සීමා වීමේ හැකියාවක් ද පවතී. තෙත් කලාපයේ තෙත් ගතිය තවත් වැඩි වීමේ ඉඩකඩක් ද, වියළි කලාපයේ වියළි ගතිය වැඩි වීමක් ද සිදු වීමේ හැකියාවක් පවතී. ඒ පළමුවැන්නයි.
අභ්‍යාවකාශයේ අයිස් කඳු දර්ශනය වන්නේ දැවැන්ත දර්පන හැටියටය. විශාල සූර්යාලෝකයේ ප්‍රමාණයක් අයිස් කඳු නිසා පරාවර්තනය වේ. නමුත් අයිස් කඳු දියවෙන්න පටන් ගතහොත් සාගර ජලය ඉහළ යාම සහ උණුසුම් වැඩිවීම නිසා ප්‍රසාරණය වීම සිදුවේ. අයිස් කඳු නොමැති නම් ජලය නොමැත. එම චක්‍රය නොමැති වුවහොත් ජල ප්‍රශ්නයක් ඇති වේ. සාගර ජලය ඉහළ යාම බරපතලය. අයිස් සම්පූර්ණයෙන්ම දිය වුවහොත් මුහුදු ජලය මීටර් 6 ක් ඉහළ යයි.
උණුසුම දරාගත නොහැකි ජීවීන්ට වඳ වීමට සිදුවේ. ආක්‍රමණික ශාක හා ජීවීන් ඇති වේ. මුහුදු ජලය ආම්ලික වූ විට ජීවීන් වඳ වේ. ජීව විවිධත්වයට අභියෝගයක් එල්ල වේ. මීට විසඳුමක් ලෙස 90 දශකයේ සහ 2000 මුල් කාලයේ පැමිණියේ මෙම තත්ත්වයට අනුවර්තනය වීම ය. ජල මට්ටම ඉහළ යනවා නම් නිවාස ඉහළට ගොඩ නැගිය යුතුය. එසේ නැත්නම් ජල මට්ටමට ගැලපෙන බවබෝග නිෂ්පාදනය කළ යුතුය. රටක් ලෙස ඒ අනුවර්තන සැලසුම් ඉදිරිපත් කළ යුතුය. අනෙක් විසඳුම වන්නේ මේ තත්ත්වය පාලනය කරන, සීමාකරණය කරන ක්‍රියාදාමයන් ය. සමහර දියුණු රටවල් අනුගමනය කළ මාර්ගයක් වන්නේ වැඩියෙන්ම කාබන් විමෝචනය වන කර්මාන්ත අනෙක් රටවල් කරා විතැන් කිරීම ය. අනෙක් උපක්‍රමය වන්නේ කාබන් විමෝචනය විකිණීමේ ක්‍රියාදාමයයි. (Carbon Trading).
ශ්‍රී ලංකාව තුළ කාබන් අරමුදලක් සෑදීමට අපි උත්සාහයක යෙදුනෙමු. ඊට එළඹීම සඳහාම විශාල වියදමක් වැය වන අතර, එම උත්සාහය සාර්ථක නොවූයේ එවක භාණ්ඩාගාර ලේකම්වරයා පරිසර කාරණා නොව ධනය උත්පාදනය කරන ක්‍රමයක් සිදු කරන ලෙස උපදෙස් දීම හේතුවෙනි. සංවර්ධනය, මනින මිනුම් දණ්ඩක් ලෙස දළ දේශීය නිෂ්පාදනය වෙනුවට අප එවැනි මිනුම් දණ්ඩක් මානව සංවර්ධන දර්ශකය පදනම් කරගෙන නිර්මාණය කිරීමට කටයුතු කළ අතර, එම මිනුම් දණ්ඩට, කාබන් විමෝචනය සහ සම්පත් භාවිතාව යන කරුණු ද, ඇතුළත් කළ යුතු බව අප විසින් ප්‍රකාශ කරන ලදී. කුඩා තාක්ෂණික ගැටළු පැවතිය ද, තිරසර සංවර්ධන දර්ශකය මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරිපත් කළ හැකි වීම වැදගත් කාරණයකි.
2007 දී අප විසින් ‘කාබන් බජට්’ ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එම ක්‍රමය ලෝකයට හඳුන්වා දී ඇත්තේ ගෝලීය උණුසුම 1.5 ක් දක්වා වැඩිවීමේ ඉලක්කය ඉක්මවා යෑම වළක්වා ගැනීම වෙනුවෙනි.
කාබන් බජට් ක්‍රමය අනුව, එක් පුද්ගලයෙකුට වර්ෂයකට නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ, කාබන් ටොන් 2.1 ක් පමණක් වුවත්, දියුණු රටවල් එම ප්‍රමාණය භාවිතා කොට අවසන් ය. අප ලබා ගත් ණය මෙන්ම අපගේ අනුමැතියකින් තොරව අපට තිබෙන කාබන් අවකාශය දියුණු රටවල් විසින් කොල්ලකා ඇති බැවින් එය ඉල්ලා සිටීමට අපට වැදගත් අයිතියක් පවතී. ආර්ථික අවපාතයෙන් බංකොලොත්භාවයෙන් මිදී අලුත් මාවතක් කරා යනවිට තිරසර සංවර්ධන මාවතේම එය කරගත යුතුය.
_____________________________________
එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම්
එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය – 2.1 Tons
ලෝකයේ දැනට එක් පුද්ගලයෙකු පිට කරන කාබන් ප්‍රමාණය – 4.69 Tons
පැරිස් කණ්ඩායම ඇතුළු දියුණු කණ්ඩායම් වල විමෝචනය – 8.3 Tons
චීනයේ ඒක පුද්ගල විමෝචනය – 7.6 Tons
ලංකාවේ ඒක පුද්ගල විමෝචනය – 1.1 Tons
එහෙයින් ලංකාවට තවදුරටත් ලෝක සම්මුතියට අනුව එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැකි වාර්ෂික කාබන් ප්‍රමාණය – 1 Tons
එනම් මිලියන 22 ජනතාවට මිලියන 22 Tons
නමුත් අපගේ විමෝචන හැකියාව ඉහත පැරිස් සමුළුවේ රටවල් (ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද ඇතුලත්ව) මෙන්ම චීනයද අපට නොදන්වා ලබාගෙන ඇත. ඉන්දියාව තවමත් ඒ කාණ්ඩයට ලඟා වී නැත.
එහෙයින් කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇත.
දැනට කාබන් 1 Tons ක් අලෙවි වන්නේ ඩොලර් 6 – 10 අතරය.
මේ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් දායකත්වය ඩොලර් මිලියන 132 – 220 අතරය.
1991 සිට ගත් කළ ඩොලර් මිලියන 3900 – 6600 අතරය.
ලංකාවේ විදේශ ණය වලට ඉහත රටවල් මේවා හිලව් කළ යුතුය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඉන් අනතුරුවය.

– පාඨලී චම්පික රණවක –

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *