යුක්රේනයට සෝවියට් සංගමයෙන් වෙන්වීමේ ස්වයං නිර්ණය අයිතිය නැත. එය රුසියාවේ පාන් මල්ලයි’ මෙලෙස කීවේ රුසියානු විප්ලවයේ (1917 ඔක්තෝම්බර්) නායක ලෙනින් ය. එසේ කියමින් ඔහු රතු හමුදාව යවා (1918) යුක්රේනය සෝවියට් සංගමයේ කොටසක් කරගත්තේය.
දැන් යළිත් යුක්රේනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇත. එය නම් රුසියාවේ නායක පුටින් යුක්රේන දේශසීමාවේ හමුදා රැස්කිරීමත් සමඟ තුන්වැනි ලෝක යුද්ධයක් (3.0 WORLD WAR) ඇතිවේද යන බිය මතය.
යුක්රේනය ඓතිහාසික රටකි. ඇත්ත වශයෙන්ම මහා රුසියානු ජාතියේ පදනම වූ ‘ස්ලාව්’ (SLAV) වර්ගයේ නිජබිම යුක්රේනයයි. එය ග්රීක ඕතඩොක්ස් පල්ලියේද මූල භූමියයි.
යුරෝපීය සම්මත අනුව යුක්රේනය දියුණු රටක් නොවේ. එහි ඒක පුද්ගල ආදායම ලංකාවටත් වඩා අඩුය. නමුත් එය සතුව දැවැන්ත ධාන්ය වගාකළ හැකි භූමි පවතී. එමෙන්ම රුසියානු ගෑස් යුරෝපයට යන්නේද යුක්රේනය හරහා ය. යුරෝපයේ ගෑස් අවශ්යතාවයෙන් 46% ක් සපයන්නේ රුසියාවයි.
සාමාන්යයෙන් පැරණි සෝවියට් සංගමයේ රටවල් 1989 න් පසු රුසියාව සමඟ ආර්ථික හා ආරක්ෂක සම්මුතියක ඇත. විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපීය හා මධ්ය ආසියානු රටවල පාලනයන් රුසියානු අක්ෂයෙන් ගිලිහී යෑම රුසියාව ඉවසන්නේ නැත.
මෙවර රුසියාව සිය බටහිර මායිමේ යුක්රේනයට යාබදව මහා හමුදා පෙළගැස්වීමක් කර ඉල්ලා සිටින්නේ ද යුක්රේනයට නේටෝ (NATO) සාමාජිකත්වය ලබාදීම වැළැක්වීම හා නැගෙනහිර යුරෝපයෙන් නේටෝ හමුදා ඉවත් කරගැනීම කළ යුතු බවය.
වසර 2014 දී රුසියානු හමුදා ක්රිමියාව අල්ලා ගත්තේත් යුක්රේනයේ නැගෙනහිර ප්රාන්ත දෙකක බෙදුම්වාදය ප්රාණවත් කළේත් මෙවැනිම ආරක්ෂක භීතියක් ප්රකාශ කරමිනි.
රුසියාව මූලික වශයෙන් ගොඩබිම් යුධ බලයක් වන අතර එක්සත් ජනපදය යුරෝපය යොදාගන්නේ එහි යුධ ව්යාප්තිය පාලනය කිරීම සඳහාය.
මෑත කාලයේදී රුසියාව ආකාර කීපයකින් එක්සත් ජනපදයේ යුධ බලය හා එහි ව්යාප්තිය ප්රශ්න කළේය.
01. නවීන තාක්ෂණික මිසයිල හා මිසයිල ආරක්ෂක පද්ධති, න්යෂ්ටික හා න්යෂ්ටික නොවන යුධ තාක්ෂණය, විශේෂයෙන් කෘතිම බුද්ධිය (AI) හා සයිබර් ප්රහාරක හැකියාව තරඟකාරීව වර්ධනය කරලීම.
02. සිය සෘජු හමුදා මැදිහත්වීම් හෝ පුද්ගලික හමුදා (WAGNER) මගින් සිරියාව, ඉරාකය, ලිබියාව, වෙනිසියුලාව වැනි රටවල එක්සත් ජනපද යුධ සමීකරණය අවුල්කර දැමීම.
03. එක්සත් ජනපදයට එරෙහිව උපායමාර්ගික සබඳතා චීනය, පකිස්තානය, ඉරාකය, ඉන්දියාව, අරාබි ලෝකය හා තුර්කිය සමඟ ගොඩනගා ගැනීම.
04. වසංගත තත්වය සහ සීත සෘතුව නිසා ඉහළ ගිය (400% කින් පමණ) ගෑස් මිළ ගණන් සමඟ ජර්මනිය සමඟත්, චීනය සමඟත්, මධ්ය ආසියාව සමඟත්, පකිස්ථානය හා ඉන්දියාව සමඟත් බලශක්තිමය සබඳතා මඟින් එක්සත් ජනපදයේ දේශපාලන සබඳතා අභියෝග කරලීම
ආදී ලෙසය.
දැන් මේ නිශ්චිත මෙහොතේ රුසියාවට විකල්ප කීපයක් ඉතුරුව ඇත.
01. ක්ෂණික ආක්රමණයක් මඟින් යුක්රේනය ඈඳාගෙන තමනට හිතවාදී පාලනයක් එහි පිහිටුවීම.
02. එක්සත් ජනපදය සමඟ එකඟතාවයකට පැමිණ හමුදා දේශසීමාවෙන් ඉවත්කර ගැනීම.
03. යුක්රේනයේ නැගෙනහිර ප්රාන්ත ස්වාධීන රාජ්යයන් බවට පත්කර ‘කිව්’ හි දේශපාලන අධිකාරිය පෙරලා දැමීමට කටයුතු කිරීම
ආදී ලෙසය.
මෙහිදී පුටින්ට අවාසිදායක වී ඇත්තේ යුක්රේනයේ නැගී එන ජාතිකවාදයත්, බටහිර යුධ සහාය ලැබීමත්, ජාත්යන්තර සම්බාධක වලට මුහුණදීමට රුසියානු ආර්ථිකයට හැකිද යන්නත් පිළිබඳව ය.
පුටින්ට වාසිදායක වී ඇත්තේ එක්සත් ජනපදය සෘජු හමුදා මැදිහත්වීමක් නොකිරීමත්, ජර්මනිය, ප්රංශය රුසියානු විරෝධයට උද්යෝගීමත් නොවීමත්, එක්සත් ජනපදය තායිවානයේ පැටලී සිටීම නිසා පෙරමුණු දෙකක සටනකට මැලිවීමත්, ශීත කාලය නිසා අධික ගෑස් මිල, ගෑස් හිඟයකට පත්කිරීමට යුරෝපය සූදානම් නොවීමත්, එක්සත් ජනපදය හා එංගලන්තය පෙර නොවූ විරූ ලෙස දේශපාලනිකව බෙදී ගොස් ඇෆ්ඝනිස්ථාන අත්දැකීමෙන් පසු ධෛර්ය බිඳලී තිබීමත්ය.
මේ අනුව බොහෝ දුරට සිදුවිය හැක්කේ න්යෂ්ටික බලවතුන් අතර තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට වඩා සීමාසහිත ගැටුමකට ගොස් දීර්ඝ කාලීන ගැටුමකට මුල පිරීමය. දේශපාලනික අනතුරු බාරගැනීම අතින් බයිඩන්ට වඩා පුටින් ඉදිරියෙන් සිටියද යුක්රේනයේ ජාතිකවාදී රැල්ල ඉදිරියේ සීමිත මෙහෙයුමක් වුවද රුසියාවට දිගුකාලීනව හානිදායක වනු ඇත්තේය.
මේ ගැටුම නිසා රුසියාවට හා යුක්රේනයට තේ අපනයනය කරනා ශ්රී ලංකාවද, ඒ දෙරටම සමඟ මහා පරිමාණ ව්යාපාර කරනා චීනය, ජර්මනිය, ඉන්දියාව වැනි බලවත් රටවල් ද මහත් අපහසුතාවයක් ඇති වී තිබෙනා බව රහසක් නොවේ.
තායිවාන හා යුක්රේන යුධ ගැටුම් තර්ජන වලින් පෙනී යන්නේ, ඉරාකයේ, සිරියාවේ හා ඇෆ්ඝනිස්තානයේ එක්සත් ජනපදය ලද යුධ පසුබෑම් ඉදිරියේ නැගී එන ලෝක බලවතුන් වන චීනය, රුසියාව වැනි රටවල් එක්සත් ජනපද යුධ ආධිපත්යය අභියෝග කරමින් තිබෙනා බවය.