මගේ අරමුණ, කෝටි දෙකක් බඩවල්වලට කතා කිරීම නොව, කෝටි දෙකක් මොළ අනාගතය වෙනුවෙන් බලගැන්වීමයි.

telephone x 1

මගේ අරමුණ, කෝටි දෙකක් බඩවල්වලට කතා කිරීම නොව, කෝටි දෙකක් මොළ අනාගතය වෙනුවෙන් බලගැන්වීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

මගේ අරගලය, සෑම ක්ෂේත්‍රයකම නිපුණතාවය, කුසලතාවය අංක 1 ට ගෙන ඒමයි.
පාඨලී චම්පික රණවක –
• අපි හැදූ නවෝත්පාදන ආයෝජන සැලසුම මේ රටේ දේශපාලකයන්ට තේරුණේ නෑ.
• දේශපාලන බලයට, ධන බලයට යටවන නිපුණතාවය හා කුසලතාවාදය
• අවාසනාවට අපේ විශිෂ්ඨ භූ ගෝලීය පිහිටීම දන්නේ මත්කුඩු ජාවාරම්කාරයෝ විතරයි
• ස්වාධීන අධිකරණ කොමිසමේ අගය වටහා දුන් කෝවිඩ් 19
• තනි පවුලක උම්මත්තක බලකාමයට, ආර්ථික කළමණාකරනයට, මර්ධනකාරී පාලනයකට මුහුණ දිය හැකි, වැඩකරන ජනතාවට, පීඩිත ජනතාවට, සියලුම ජන කණ්ඩායම්වලට, සම බිමක තම උරුමය වෙනුවෙන්, තම හැකියාව වෙනුවෙන් සටන් කිරීමට හැකි දේශපාලනමය වශයෙන් වූ එක් තැනක්

තමාගේ අරමුණ කෝටි දෙකක් බඩවල්වලට කතා කිරීම නොව, කෝටි දෙකක් මොළ අනාගතය වෙනුවෙන් බලගන්වා ආයෝජනය කිරීම බවත්, මේ රටේ සෑම ක්ෂේත්‍රයකම නිපුණතාවය, කුසලතාවය අංක 1 ට ගෙනඒම සඳහා අරගලයක යෙදීම තමාගේ ප්‍රමුඛ කාර්ය භාරය ලෙස සලකන බවත් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු අමාත්‍යවරයා,
අද වන විට අනාගතය පුරෝකථනය කරන්න කිරීමට නොහැකි තරම් වේගයෙන් තාක්ෂණ විප්ලවයක් සිදුවෙමින් පවතින අතර ලෝකයේ ඉහළම සමාගම් සියල්ලම මේ තාක්ෂණය නිසා බලවත් බවට පත්ව සිටී. අපට බැරිද මෙතැනට යන්න ? අපිට බැරිද මේ තාක්ෂණ විප්ලවයට අපේ සමාජය මුසු කරන්න ? නව උත්පාදනය මගින් අපේ තරුණ පරපුර බලගන්වන්න බැරි ද? අපිට බැරිද අපේ තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න ? ‘පුළුවන්’ කියන එකයි මගේ හැඟීම.

මේ සඳහා අපි 2013 විශේෂ සැලැස්මක් හැදුව නවෝත්පාදනයට ආයෝජන සැලසුම කියල. නමුත් ඒක මේ රටේ දේශපාලකයන්ට තේරුණේ නෑ. ඒක ඉදිරියට ගෙනයාමට තමයි මම තාක්ෂණ නගරය යෝජනා කරල මහනගර ව්‍යාපෘතිය යටතේ අද හෝමාගම ඉදිවෙමින් තියෙන්නෙ. එය නිවැරදිව ඉදිරියට ගෙනිච්චොත් අනාගතයේදී මේ රටේ තේ, පොල්, රබර් වලින් බ්‍රිතාන්‍යයන් ඇති කළ විප්ලවය, 1977 ආර්ථිකය විවෘත කිරීම නිසා වෙළෙඳාමෙන් ඇති වෙච්ච විප්ලවය වගේ විප්ලවයක් නවෝත්පාදනයෙන් අපට මේ රට තුළ ඇතිකරගන්න පුළුවන්. අවට කලාපය සමඟ තරඟකර ඉදිරියට යන්න පුළුවන්.
අපේ රටේ බොහෝ ක්ෂේත්‍රවල මේ නිපුණතාවයට, කුසලතාවයට තැන හම්බෙලා තියෙනවා. උපත මගින් බොහෝ දේ තීරණය වෙලා නෑ. අපේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයන් ගත්තත් ඒ ව්‍යාපාරික ලෝකෙ තමයි සාමාන්‍යයෙන් පරම්පරාවට යන එක. මව්-පිය සල්ලිවලින්, ඉඩ කඩම්වලින් ළමයින් ඉදිරියට යන එක. නමුත් මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අපි කියන්න සතුටුයි අද එවැනි දෙමාපියන්ගෙන් ලැබුණු දායාද වලින් ආපු අයට වඩා හැකියාවෙන් කුසලතාවයෙන් ඉදිරියට ආපු පිරිස වැඩියි.
ඒ වගේම රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණි ආදී හැම ක්ෂේත්‍රයකම අද ඉදිරියෙන් ඉන්නෙ මේ නිපුණතාවයෙන් කුසලතාවයෙන් ආපු අය. අපේ ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රයන්වල සාමාන්‍යයෙන් නිපුණතාවය හා කුසලතාවය මත තමයි ඉදිරියට යන්නෙ. නමුත් අපේ දේශපාලන ක්ෂේත්‍රයේ මේකෙ අනිත් පැත්ත තමයි අපිට දකින්න තියෙන්නෙ. මොකද මනාපයත් එක්ක නිපුණතාවය යට ගිහිල්ල කුසලතාවය යට ගිහිල්ල ඉදිරියට එනව පවුල, ඒ හා බැඳිච්ච දේශපාලන බලය, ධන බලය යන කාරණා.
අද මම මෙතැන හිටගෙන ඉන්නෙ මගේ කුසලතාවය නිසා. මගේ පියාගේ හෝ මවගේ දේශපාලන බලයක්, ධන බලයක් මත නෙමෙයි මම මෙතන අද ඉන්නෙ. මට ඒක ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මම මෙතැනට පැමිණෙද්දි මට වට කරල පහරදීපු පිරිස් අප්‍රමාණව හිටිය. ධන කුවේරයො, බල කුවේරයො, බලකාමීන්, ඒ වගේම රාජ්‍ය මර්ධන යන්ත්‍රය, පුද්ගලික මර්ධන යන්ත්‍රය, ත්‍රස්තවාදීන් බොහෝ දෙනෙක්ගේ ප්‍රහාර මැද ජීවිත තර්ජන මැද තමයි මම මෙතැනට ඇවිත් තියෙන්නෙ.

යුධ සෙබළුන් පරාජය වෙලා කඳවුරු වලට ගාල් වෙද්දි ඔවුන් නැවත ඉදිරියට ගෙනයාම සඳහා සිවිල් පුද්ගලයන් විදියට අපි කරන්න පුළුවන් කාර්ය භාරය කරල තියෙනවා. පාර්ලිමේන්තු බලයක් ඇතුවත් නැතුවත් අපි මර්ධනයට, කුලී හේවායන්ට අපි මුහුණ දීල තියෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේත් අනෙක් ක්ෂේත්‍රවලත් යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒ හැම ක්ෂේත්‍රයක්ම නිපුණතාවයෙන්, කුසලතාවයෙන් අංක 1 ට ගෙන ඒම සඳහා තමයි මගේ අරගලය.

මේ ලෝකයේ අනෙක් බොහෝ රටවල් අපේ කලාපයේ අපව ඉස්සර කරල ගියේ මෙන්න මේ කාරණය නිසයි. මා විශ්වාස කරන දෙයක් තමයි වෙනත් අර්ථයකින් ආර්ථික විද්‍යාවේ හඳුන්වාදීල තියෙනව සාපේක්ෂ වාසිය කියල එකක්. පොදුවේ රටට ආර්ථිකයක් ඉදිරියට ගෙනයන්න බැලුවහම අනෙක් රටවල තරඟකාරීත්වයට සාපේක්ෂව යම් රටකට තියෙන විශේෂ කුසලතාවය. මට පේන විදියට අපිට තියෙන්නෙ කුසලතා දෙකයි. එකක් අපේ විශිෂ්ඨ භූ ගෝලීය පිහිටීම. නාවුක, ගුවන්, වානිජ කේන්ද්‍රයක් හැටියට, දැනුමේ කේන්ද්‍රයක් හැටියට, සංචාරක කේන්ද්‍රයක් හැටියට, අනාගතයේදී මේ කලාපයේ බලශක්ති කේන්ද්‍රයක් හැටියට රට ඉදිරියට ගෙනයාමට තියෙන ප්‍රධානම සම්පත තමයි මේ සුවිශේෂී භූ ගෝලීය පිහිටීම. කණගාටුවට කරුණ නම් මේක නිසි ආකාරයෙන් දන්නේ මත්කුඩු ජාවාරම්කාරයෝ විතරයි.
දෙවනුව නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යත් විසින් බිහි කරන ලද දැනුමෙන් සන්නද්ද දැනුම් බලකායෙන් විශාල පිරිසක් වෘත්තීයවේදීන්. ඔවුන් මේ රට දාල ගිහින් තියෙනවා. ඔවුන්ව මේ රටේ රඳවාගැනීම වෙනුවෙන් තමයි අපි එදා ඉන්න හිතෙන රටක් ව්‍යාපෘතිය සකස් කළේ.
මේ රටේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට මූලික වගකීම් දෙකක් තිබේ. නීති සැදීම හා ව්‍යවස්ථා තැනීම ඉන් එකකි. එය වෙන කිසිවෙකුට කළ නොහැක. 76 වගන්තියෙන් නීති තැනීමේ උත්තරීතරම ස්ථානය බවට පාර්ලිමේන්තුව පත් කරල තිබේ. දෙවනුව පාර්ලිමේන්තුවට පමණයි මේ රටේ මූල්‍ය බලතල තිබෙන්නේ. ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට එවැනි බලතලයක් නොමැත. මේ මූලික බලතල දෙකත් එක්ක තමයි පාර්ලිමේන්තුව සැදුම්ලත් වෙන්නෙ. ඒ අනුව පාර්ලිමේන්තුව නැතුව දැනට තියෙන ව්‍යවස්ථාව අනුව නම් රටක් කරන්න බෑ.
අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීල අතරින් තමයි අපේ අමාත්‍ය මණ්ඩලය තෝරගන්න තියෙන්නෙ. සමහර ජනාධිපති ධුරයන් තියෙන රටවල එහෙම අවශ්‍යතාවයක් නෑ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමැතිවරයෙක් වෙන්න, ඒ අදාල ක්ෂේත්‍රය භාර ලේකම්වරයා වෙන්න සෙනෙට් මන්ත්‍රණ සභාවේ හෝ කොන්ග්‍රසයේ සාමාජිකයෙක් වීම අවශ්‍ය නෑ, ඕනෑම වෘත්තීයවේදියෙක්ව එතැනට පත්කරන්න ජනාධිපතිවරයාට බලය තියෙනව. නමුත් අපේ රටේ අමාත්‍ය මණ්ඩලය තෝරගන්න එහෙම නිදහසක් ජනාධිපතිවරයාට නෑ.

රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමට තිබුණු අත්තනෝමතික බලය අද ඉවත්කර, ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන මැතිවරණ කොමිසමක්, ඒ වගේම ස්වාධීන අධිකරණ ක්‍රමයක් ප්‍රධාන වශයෙන්ම 19 වන සංශෝධනයෙන් ස්ථාපිත කරල තියෙනවා. ස්වාධීන අධිකරණ කොමිසමේ අගය අපට වැටහුණා මේ කෝවිඩ් වසංගතයෙන්. මොකද මේ රටේ මේ මැතිවරණය පවත්වන්න ගියේ අප්‍රේල් 25. ඒ වසංගත තත්ත්වය නිසා මැතිවරණය කල්දමන්න හැකියාව ලැබුණෙ ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබුණු නිසයි. නැත්නම් දහස් ගණනකගේ මළ කඳන් උඩින් වුණත් මේ ඡන්දය තබන්නට බලදාරීන් මැලිවෙන්නේ නැති බව අපට පෙනී ගියා මුල් අවධියේදී. කෙසේ නමුත් මේ පාර්ලිමේන්තුවට නිවැරදි පුද්ගලයන් පත්කර යැවීම අද මේ රටේ වෘත්තීයවේදී බොහෝ දෙනෙකුගේ වගකීමක් කොට අපි සලකනවා.
2007 පෙබරවාරි 01 වෙනිදා මම පරිසර හා ස්වභාව සම්පත් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. මම ඇමති ධුර දරපු, පරිසර හා ස්වභාව සම්පත් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියන අමාත්‍යාංශවලදී මගේ කාර්ය භාරයේදී මට හැකි උපරිම ආකාරයෙන් බාධා එල්ලවෙද්දිත් ප්‍රතිපත්ති රකිමින්, ජනතාවගේ වගකීම් ඉටු කිරීමත්, සුදුස්සන්ට සුදුසු තැන දී නිපුණතාවයට මුල්තැන දීමටත් මම කටයුතු කළා කියල හිතනවා.
නැවත කිසිම ජන කණ්ඩායමක් කොන්කර පහළට දමා එක පවුලක්, එක ජන කණ්ඩායමක් විතරක් රජ කරන තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩ දිය නොහැකියි. සෑම දෙනාටම සම අවස්ථා සහතික කිරීම සිදුවිය යුතුමයි. මේ මොහොතේ තනි පවුලක උම්මත්තක බලකාමයට හා උම්මත්තක ආර්ථික කළමණාකරනයට, උම්මත්තක මර්ධනකාරී අනාගතතයේ එන පාලනයකට මුහුණ දිය හැකි, වැඩකරන ජනතාවට, පීඩිත ජනතාවට, මේ රටේ සියලුම සංස්කෘතික විවිධත්වයෙන් යුතු ජන කණ්ඩායම්වලට සම බිමක තම උරුමය වෙනුවෙන් තම හැකියාව වෙනුවෙන් සටන් කිරීමට හැකි දේශපාලනමය වශයෙන් වූ එක් තැනක් අපි නිර්මාණය කළෙමු. ඒ සමගි ජන බලවේගයයි.

මෙකී කාර්යය වෙනුවෙන් අපි සෑම දෙනාම අත්වැල් බැඳ ඉදිරියට ගමන් කළ යුතු බව ද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, ඊයේ (29) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් පරිශ්‍රයේ පැවති ‘රටක් දිනන හෙටට නිපුණත්වය 1 ට මුසු කරන විද්වත් සංවාදය – සාකච්ඡා මණ්ඩපය’ හා එක් වෙමිනි.

මාධ්‍ය අංශය
2020.06.30

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *