ශ්‍රී ලංකාව තුළ මියගිය පළමු කොවිඩ්-19 ආසාදිතයා ඊයේ (මාර්තු 29) වාර්තා විය. විදේශගතවද ශ්‍රී ලාංකික කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී ඇත. තවත් රෝගීන් සිව් දෙනෙකුට අසාධ්‍ය බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි. එයින් එක් රෝගියෙක් ඉතා නොසැලකිලිමත් ලෙස සිය රෝගය අන් අයට බෙදාදුන් අයෙකි.
ශ්‍රී ලංකාව තුළ තවමත් සංචාරක වීසා මත රැඳී සිටින 15,000 ක් ඉන්නා බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. මෙයින් 2386 ක් ඉන්දියානුවන්ද, 2131 ක් චීන ජාතිකයන්ද වෙති. බ්‍රිතාන්‍ය 1159 කි. ඇමරිකානුවන් 464 කි. ඉතාලි ජාතිකයන් 179 කි. මෙයින් පෙනී යන්නේ රට වසාදමා දින 10 ක් ගතවී ඇතිමුත් සැලකිය යුතු විදේශික පිරිසක් රට තුළ සිටින බවය.
2020 ජනවාරි 01 දා කිසිදු කොවිඩ් රෝගියෙකු නොසිටි ශ්‍රී ලංකාවේ ලක්ෂ 220 ක් ජනයා ආහාර හා ඖෂධ ප්‍රමාණවත්ව නැතිව කොටුවී සිටින්නේ විදේශිකයන් මෙරටට පැමිණීම, අඩුම තරමින් පෙබරවාරි 01 දා වත් නතර නොකිරීම නිසා බව “තිත්ත ඇත්ත”ය. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට මෙන්ම, සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ජනතා අරමුදලින් කෝටි ගණනින් වැයකර මාධ්‍ය සංදර්ශන පැවැත්වූ අයටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
වෛරසය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය ඉතා අවශ්‍යය. එය රටවල් කිහිපයක් ඇරෙන්නට බොහෝ රටවල සාර්ථකව වෛරසය මර්දනය ක්‍රියාදාමයයි. නමුත්, ඒ අතරේ විසඳිය යුතු බරපතල ගැටලු රැසක් ඇත. (දැනට කොවිඩ් මර්දනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති වගකීම් 14 කට ආසන්න ප්‍රමාණය ක්‍රියාත්මක වන ආකාරය දෙස සලකා බැලීමෙන් පසුව මෙම යෝජනා ඉදිරිපත් කරමි.)
01. ක්‍රමයෙන් බියට හා දුකට පත්වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.
02. සමාජයේ වෙනත් රෝග නිසා පීඩා විඳින අයට ඖෂධ ලබාගැනීම සඳහා පුද්ගලික ඔසු සැල් හරහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම. (ශ්‍රී ලංකාව වර්ෂයකට විවිධ රෝගාබාධ හා වයසට යෑම නිසා 1,50,000 ක් පමණ මියයන රටකි.)
03. සමාජයේ දෛනික ආදායම් ලබන 47 ලක්ෂයක ශ්‍රම බලකායට වහාම රු.10,000/- ක් ලබාදීම. (ඉන්දියාව සිය දල ජාතික නිෂ්පාදිතයෙන් 1% ක්ද, එක්සත් ජනපදය 10% ක්ද වෛරසයෙන් තම ජනයා ගලවා ගැනීම සඳහා දැනටමත් වැයකර ඇත.) ශ්‍රී ලංකාවේ ද.ජා.නි. 1% ක් යනු රු. බිලියන 150 කි. මෙයින් කොටසක් (බිලියන 47 ක්) වැයකර ඉහත ආධාරය ලබාදිය හැකිය. වර්තමාන ලංකාවේ ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් බද්ද මේ මුදල මෙන් කිහිපගුණයකි.
04. තම පක්ෂවල මන්ත්‍රීන් යොදා නොගෙන රාජ්‍ය නිලධාරීන් පමණක් යොදා ආහාර බෙදාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුය. ඒ සඳහා වගකිව යුතු ස්වේච්ඡා සංවිධානද සම්බන්ධ කරගත යුතුය.
05. සෑම ජන කොටසකටම රෝගය පිළිබඳ නිවැරදි තොරතුරු (සැකකටයුතු ආසාදිතයන් කී දෙනෙකු සිටීද? හඳුනාගත් ආසාදිතයන් කී දෙනෙක්ද? ව්‍යාප්තව ඇති ප්‍රදේශ මොනවාද ආදී ලෙස.) ලබාදිය යුතුය. දැනට එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් (John Hopkins) ආයතනය මුළු ලෝකයේම නිවැරදි තොරතුරු ජනගත කරමින් සිටී.
06. දැනට ඇපල් ආයතනය හා තවත් ආයතන විසින් සංවර්ධනය කර ඇති රෝගය දල වශයෙන් හඳුනාගත හැකි තාක්ෂණික මෙවලම් හඳුන්වා දීම හා රෝගීන් හා සැක කටයුතු අය තාක්ෂණික ලෙස වර්ගීකරණය කිරීමට පියවර ගත යුතුය.
07. රාජ්‍ය අරමුදල් ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි නොවන ආකාරයට වසංගත මර්දනයට යොදා ගැනීම සඳහා පැවතුණු පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ගයක් ගත යුතුය.