විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට නිල අයිතිවාසිකමක් තියෙනවා, මේ ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන්න. පසුගිය කාලේ ධනයට, බලයට, රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කළා. ඒත් ඒ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ටම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යා යුතුමයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. “පාලනාධිකාරිය, වෘත්තීය සමිති වලට අමතරව විදුලි පාරිභෝගිකයා කියන අලුත් බලය අද ශක්තිමත් වෙලා තියෙනවා තුන්වෙනි බලවේගය විදිහට. “මේ ක්ෂේත්රයේ අයිතිකරුවෝ අපි” කියලා යම් යම් ආයතන, සංවිධාන, ක්ෂේත්‍ර කතා කළාට, මේ විදුලි ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට අද ඉඳන් නිල අයිතිවාසිකමක් තියෙනවා මේ ක්ෂේත්රය සම්බන්ධ කටයුතු කරන්න” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ප්‍රකාශය සහ සැපයුම් සේවා සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, අපේ රටේ විදුලිබල ක්ෂේත්රය එක්තරා අවිධිමත් ක්රමවේදයකයි පවතින්නේ. එයට හේතුව රජයන් විසින් ගනු ලැබූ ඇතැම් ප්‍රතිසංස්කරණ යෝජනා වෙනත් රජයන් විසින් වෙනස් කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කළ යුතු අවස්ථාවකයි අපි අද සිටින්නේ. 19 සියවසේ අගභාගයේ උතුරු ඇමරිකාවේ එංගලන්තයේ සහ යුරෝපයේ විදුලි පද්ධති ඇති වුණා. විදුලි මිල ක්‍රමය ඇති වුණා. බිල් සැපයුම ඇතිවුණා. ඒවා බොහෝ දුරට කෙරුනේ පුද්ගලික සමාගම් වලින්. ඒ සමාගම් විවිධ මිල අයකිරීම් කළ නිසාත්, වෙනත් කිසිඳු ප්‍රභවයක් විදුලිය ලබාගැනීමට නොතිබුණ නිසාත් විදුලි නියාමනය අවශ්‍ය වුණා. ඒ අනුව තමයි නියාමන කොමිෂන් ඇති වුණේ. මේ රටේ විදුලි ඒකාධිකාරයක් ලංවිමට තිබුණා. 1969 නව පනතකින් විදුලිබල මණ්ඩලය බිහිකරද්දි රටේ ජනතාවගෙන් 4% කටයි විදුලිය තිබුණේ. විදුලියන අනුපාතය වැඩිවෙලා අද 100 % ක විදුලිය ලබාදෙන තත්ත්වයක් ඇති වෙලා. ඇත්තටම 56 ලක්ෂයක් වන පිරිසෙන් ලක්ෂයකට වගේ තමයි අද විදුලිය නැත්තේ. නමුත් සෑම ගමකටම අද විදුලි පහසුකම සපයලා තිබෙනවා. නිවාස 60,000 ක් පමණ තාවකාලික නිවාස වලට විදුලිය ලබාගනීමේ ගැටළුවකුත් තියෙනවා. දකුණු ආසියාවේ හොඳම විදුලියන අනුපාතය පවතින රට බවට ලංකාව පත්වෙලා.
ලංවිම පාඩු ලබන අකාර්යක්ෂම ආයතනයක් බවට සමාජ මතයක් ඇතිවීමේ ප්‍රතිපලයක් හැටියට විදුලිබල මණ්ඩලය කොටස් 6 කට වෙන්කරනු ලැබුවා. ඛනිජ තෙල් ක්ෂේත්‍රයත් කොටස් 3 කට වෙන්කරලා. විවිධ සමාගම් අතර බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී මේ ක්ෂේත්‍ර සම්බන්ධව යම් නියාමනයක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ තමයි මහජන උපයෝගීතා කොමිසම පිහිටෙව්වේ. විදුලිය , ඛනිජ තෙල් සහ ජලය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මේ මහජන උපයොගීතා කොමිසම පිහිටෙව්වා. නමුත් අද වෙනකල් විදුලි ක්ෂේත්රය පමණයි මේ මහජන උපයෝගීතා කෙමිසමට සම්බන්ධ වෙලා තිබෙන්නේ. අපේ බොහෝ විට සංසන්දනය වන අංශ දෙකක් තමයි විදුලිබල ක්ෂේත්රය සහ දුරකතන. දුරකතන සේවය පුද්ගලීකරණය වනවිට විශාල භීතියක් තිබුණා මිල වැඩි වෙලා සේවා තත්ත්වය පහළ මට්ටමකට වැටෙයි කියලා. නමුත් සිදුවුණේ ඒකේ අනිත් පැත්ත. මිල අවම වෙලා වඩාත් ගුණාත්මක සේවයක් ලබාදෙන්න දුරකතන සේවයට හැකිවුණා. විදුලි ක්ෂේත්රය සම්බන්ධයෙනුත් ඒ අවස්ථාවේ බලවත් ලෙස තර්ක මතුවුණා. දැනට රජයේ කිසිඳු තීරණයක් නැහැ විදුලි ක්ෂේත්රය මේ තියන තත්ත්වය වෙනස් කරන්න. අපිට දැන් තියෙන්නේ දැනට පවතින මේ ක්ෂේත්රය කාර්යක්ෂමව පවත්වා ගැනීම. අපි එක ඉලක්කයක් සාර්ථක කරගත්තා. ඒ තමයි රට පුරාම විදුලිය ලබාදීම. අපේ අනෙක් ඉලක්කය තමයි 24 පැයම විදුලිය ලබාදීම. ඒකත් යම්කිසි මට්ටමකට සාර්ථක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
අද ලෝකයේ සෑම ක්ෂේත්රයක්ම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක් සමග බැඳිලා තියෙන්නේ. පාරිභෝගික අයිතිය, වගකිම පිළීබඳව, සන්නිවේදන තාක්ෂණයෙන් අපට තොරතුරු ලබාදීමට බැඳිලා ඉන්නේ. මහජනතාවට අයිතියක් තියෙනවා තමාගේ බිල සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඕන ඕන ගණන් සපයන්න හැකියාවක් නැහැ. අපි ඒ ගැන මහජනයාට වගකිව යුතුයි. විදුලි ක්ෂේත්රය අපේ අකාර්යක්ෂමතාව නිසා පාඩු ලබනවානම්, මහජනයාගේ මුදලින් තමයි ඒ පාඩු ගෙවන්නේ. මේක ඉතාම හොඳ වැදගත්, විප්ලවිය අවස්ථාවක්, විදුලි පාරිභෝගිකයාට තමන්ගේ වගකීම සහ අයිතිවාසිකම් දැනගැනීමට. අපි සෑම කෙනෙක්ම විදුලි පාරිභෝකයෙක්. මේ ආයතනයේ සභාපතිවරයාත්, සාමාන්‍යාධි කාරිවරයාත්, වෘත්තීය සමිතිවල අයත්, ඇමතිවරුත් පාරිභෝගිකයෝ. ඒ නිසා විදුලි පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා දේශපාලනමය වශයෙන් වුවත් ලංකා විදුලිබල මණ්ඩලයේ, ලෙකෝ ආයතනයේ අනාගතය තීරණය කරන්න. මේ ආයතන වල සිදුවන ක්‍රියාදාමය මොකක්ද. ගනුදෙනු මොනවාද යන්න මීට වඩා බලාත්මකභාවයක් උසුලන්න ඕන පාරිභෝගික ජනතාව.
පසුගිය කාලේ ධනයට බලයට රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කරන්න පුළුවන් වුණේ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යායුතුමයි. ඒ වගේම ඕනෑම බලවන්තයෙක්, බලගතු දර්ශනයක්, සිද්ධාන්තයක් ඒ අවට පරිසරයේ වෙනස්වීමට නතු වන්නේ නැත්නම්. ඒවා වඳවී යනවා. වෙනස්වීමට නොහැකිවන තත්ත්වය යටතේ ඕනෑම දෙයක් වඳවෙනවා. ඉතාම බලවත් ශක්තිමක් ඩයිනෝසරයන් වඳවී ගියා. බලගතු රාජ්‍යයන්, අධිරාජ්‍යයන් වඳවී ගියා. ඒ නිසා මේ විදුලි පාරිභෝගික තත්ත්වයත් සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. පැරණි තාලයටම අපට හැමදාමත් කටයුතු කරන්න බැහැ. අපට මොන විදිහේ දේශපාන ශක්තියක් තිබුණත් වෙනස්වීමට අනුව වෙනස් වෙන්න බැරිනම්, අප වඳවීයාමට ගොදුරු වෙනවා. අපේ ජනතාව බලාත්මක කරන්න, වෙනස්වීමට සුදුසු ආකාරයෙන් වෙනස් වෙමින් කටයුතු නොකළොත්, ජනතාව අපව වෙනස් කරාවි. ඒ නිසා විදුලි පාරිභෝගික සමිති මේ රටේ විදුලිබල ක්ෂේත්රය පාලනය කරනු ලබන පාලනාධිකාරිය බවටම පත්වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ලංවිම සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එම්. සී. වික්‍රමසේකර , ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති බන්ධුල චන්ද්‍රසේකර, සාමාන්‍යාධිකාරි එච්.එස්. සෝමතිලක, මහජන උපයෝගී කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.