“මගේ දේශපාලනය ගමන දෙස ආපසු හැරී බලන විට මම සතුටු වෙනවා සාමාන්‍ය ඉංජිනේරුවෙකු හෝ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු නොවී රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්රියවලියට දායක වීම සම්බන්ධයෙන්. මේ රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට මා බලගතු මැදිහත්වීම් රැසක් සිදුකලා. ඉන් පළමුවැන්න එක්සත් ජාතීන් පවා පිළිගත් 2009 වසරේ ඉදිරිපත් කල හරිත ලංකා වැඩසටහන. එය අන්තර්ජාතිකව අපගේ රටට පිළිගැනීමක් හිමිවූ වැඩසටහනක්. 2013 වර්ශයේදී මට මහින්ද රාජපක්ෂ රජයෙන් දඩුවම් මාරුවක් ලැබුනා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට. ඒ අමාත්‍යංශයේදී අති විශාල වෘත්තීයවේදීන්, විද්වතුන් පිරිසක් හමුවුණා. ඔවුන් සමඟ එක්වී නවෝත්පාදන ආර්ථික සැලසුමක් නිර්මාණය කිරීමට මට හැකිවුණා. එහි අග්‍රඵලය තමයි අද හෝමාගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තාක්ෂණ නගරය. ඒ තමයි අපේ සිලිකන් වැලිය. ඒ තමයි අපේ බැංගලෝරය. ඒ තමයි අපේ ෂෙන්ෂෙන් ආර්ථික කලාපය. එය අපි නිවැරදිව ඉදිරියට ගෙනගියොත් අපේ තරුණ පරම්පරාවටත්, වෘත්තීයවේදීන්ටත් නවමු ආර්ථික කලාපයක් වන බව නොඅනුමානයි. ජෙමිස් ටේලර් ශ්‍රී ලංකාවේ පළමු තේ පැළය රෝපණය කරන විට ඔහු නොසිතන්න ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන, ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලෝකය හමුවට ගෙන යන ප්‍රධාන ආර්ථික භෝගය මෙය බවට පත් වෙයි කියලා. ජේ.ආර් ජයවර්ධන ලලිත් ඇතුලත්මුදලි සමඟ එක්ව කටුනායක නිදහස් වෙළඳ කලාප විවෘත කරනකොට ඔවුන් සිතන්න නැතුව ඇති එය මහා ධන උත්පාදන මාර්ගයක් වෙයි කියලා. ඒ වගේම අප ආරම්භ කල තාක්ෂණික නගර ව්‍යාපෘතියත් ආණ්ඩු විසින් දේශපාලන ඊර්ශ්යාවකින් තොරව ඉදිරියට ගෙනගියොත් මේ රටේ ඉතිහාසය, සමාජය සහ ආර්ථිකය වෙනස් කරන ක්‍රියාවලිය බවට එය පත්වේවි.
මේ රටේ බලශක්ති ක්ෂේත්රයේ සිදුවිය යුතු නවීකාරක වෙනස්කම් සම්බන්ධයෙන් වූ විශේෂ බලගතු සැලසුමක් අපි 2015දී ජනගත කලා. දේශපාලන බේදයෙන් තොරව එය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් අද ඒ සැලසුමෙන් පිට කටයුතු කරමින් බලලෝභී ධනලෝභී පිරිස් යම් යම් නිර්මාණ කිරීමට සැරසෙනවා. එයින් සිදුවන්නේ මේ රට තවත් ණය බරෙන් පිරුණු අභාග්‍ය සම්පන්න පරිසර ඛේදවාචකයන්ගෙන් පිරුණු රටක් බවට පත්වීමයි. 2016 වසරේදී මම තවත් බලගතු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියකට දායක වුණා. ඒ තමයි ජාතික භෞතික සැලසුම සකස්කිරීම සහ ජාතික මහනගර සැලසුම සකස් කිරීමටත් කටයුතු කිරීමයි. එමගින් අප මේ රටේ ප්‍රවාහණ, පාරිසරික, ජල කළමානකරණ, කෘෂිකර්ම, ආර්ථික සහ තාක්ෂණි ක්ෂේත්රවල ඉදිරි ගමනේ සැලසුමේ මුල් පිටපත සකස් කරන්න අපට හැකිවුණා. එය කඩිනමින් අප ක්‍රියාත්මක නොකලහොත් මේ නාගරීකරණයෙන් ඇතිවන අයහපත් ලක්ෂණ වලින් අපට ගැලවීමක් නැහැ.
මේ සැලසුම් සකස් කිරීමේදී බොහෝ දෙනෙකු අපෙන් විමසුවා මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ධනය ශ්‍රී ලංකාවට තිබේද යන්න. අපි බාධක මැද ඒ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙනගියා. වරාය නගරයට අමතරව බේරේ වැව අවට සියලු පැල්පත්වාසීන් නීත්‍යානුකූලව සහ ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන ලෙස ඉවත් කොට සංවර්ධනය සදහා සකස් කර තිබෙනවා. ප්‍රවාහණ ක්ෂේත්රයේ විධිමත්භාවය සදහා අවශ්‍ය බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය අප හදුන්වා දුන්නා. මාකුඹුරේ ඉදිකල බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානය සහ කඩවත ඉදිවෙමින් පවතින ප්‍රවාහණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ විපරිවර්තනීය වෙනස්කම් ලෙස සැලකිය හැකියි. එසේම අප සැහැල්ලු දුම් රිය පද්ධති හතරක් සදහා සැලසුම් යෝජනාකොට ඉන් එක් මාර්ගයක් සදහා අරමුදල්ද සම්පාදනය කරගනිමින් එම ව්‍යාපෘතිය ආරම්භ කලා. නමුත් ඊර්ෂියා පරවශ දේශපාලනය විසින් එම ව්‍යාපෘතිය නතරකොට තිබෙනවා. අනාගතයේදී බිහිවන සමඟි ජන බලවේග ආණ්ඩුවකින් අපි සැලසුම් කල පරිදි මාළඹේ සිට පිටකොටුවටත්, කඩවත සිට කිරුළපනයටත්, මොරටුවේ සිට පිටකොටුවටත් ආදී වශයෙන් වූ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික ශක්තියත්, අධිෂ්ඨානයත් අප සතු බව මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ”
පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකලේ අද දින සන්ධ්‍යාවේ පැවති 2020 මහමැතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සර්ව ආගමික පූජකවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය.