BBC පුවත් වාර්තාව
බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි.
මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව පසු කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව අනුව එම අගය 8.2% දක්වා පහත වැටී තිබේ. 2022 වසරේ දී ශ්‍රී ලංකා රජයේ ආදායම ගෝලීය වශයෙන් ද අවම අගයක් වූ අතර රටවල් 193ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 190 වැනි ස්ථානය බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාවේ දැක්වේ.
2023 වර්ෂයේ අපේක්ෂිත රජයේ ආදායමෙන් 91%ක් බදු අදායමෙන් සමන්විත වේ. එහෙත් වසරේ මුල් මාස හය තුළ අපේක්ෂිත බදු අදායම් එකතු කිරීමට ප්‍රධාන ආයතන තුනම අසමත් වී තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව 42%ක් ද රේගුව 33% ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව 41%ක් පමණක් සිය ඉලක්කයන් සපුරා ඇත.
2022 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණය (දඩ සහ පොලිය සමග) රුපියල් බිලියන 904කි. 2023 ජුනි 30 වැනි දිනට ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.71කි. 2023 ජුනි 30 දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ එකතු කිරීමට ඇති හිඟ බදු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 6 කි.
”දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල ආසන්න වශයෙන් රාජ්‍ය සේවකයින් දාහතර ලක්ෂයකට වැටුප් ගෙවීමට යන මුදලක්. අපි දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා කවුද මේ පොලු තියපු කට්ටිය බලන්න ඒ ලැයිස්තුව දෙන්න කියලා. නොයෙක් හේතු කියමින් අද මේ වෙනකන් ඒක ලබා දීලා නැති බව කණගාටුවෙන් කියන්න වෙනවා. ඒ වගේම නව බදු ප්‍රතිපත්තිය යටතේ ලක්ෂ 15ක පමණ බදු ගොනු විවෘත කරන්න වෙනවා. නමුත් දැන් ඒ අයට ටැක්ස් ෆයිල් එකක් අරින්න යන කාලය අනුව මේ වැඩේට දශක දෙකක කාලයක් යනවා” යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක BBC සිංහල සේවයට පැවසුවේය.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 යටතේ, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් ලෙස පිහිටුවන ලද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන්ට ඕනෑම වාර්තාවක් කැඳවීමටත්, ඕනෑම ආයතනයකට ගොස් නිරීක්ෂණය කිරීමටත් බලය පවරා තිබේ.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවරී ඇති වගකීම වන්නේ රජයේ ආදායම වැඩි කිරීමට අදාළ කටයුතු විමර්ශනය කර ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම, රජයේ සමාජ සුබ සාධන කටයුතු සහ හදිසි ආපදා සහන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලා අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.
ඒ යටතේ ඔවුන් සිය පළමු වාර්තාව මගින් පහත සඳහන් කරුණු පෙන්වා දී තිබේ.
‘45%ක් බදු දැලට අහුවෙන්නේ නැහැ. ෆේස් බුක්, යූ ටියුබ් වලිනුත් බදු ගන්න ඕනා.’
ශ්‍රී ලංකාවේ මුළු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 3%කි. නමුත් රටේ මූල්‍ය ක්‍රියාවලියට යටත් නොවන, අවිධිමත් අංශය (බැංකු ප්‍රකාශන, රිසිට්පත් ආදිය නොමැතිව ගනුදෙනු කරන පිරිස) 45%ක් බවට හඳුනාගෙන ඇත. ඔවුන් බදු ක්‍රමයට ඇතුළත් කර ගතයුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
”ඒ වගේම අපි දැකපු තව වැදගත් දෙයක් තමයි ඩිජිටල් සේවා මත බදු අය කරන්න ලෝකයේ ගිවිසුමක් අත්සන් නොකළ රටවල් හයෙන් එකක් ශ්‍රී ලංකාව. උදාහරණයක් ලෙස ඌබර් එකයි පික්මී එකයි ගත්තොත්, පික්මී එකෙන් බදු අය කර ගත්තාට ඌබර් එකෙන් බදු අය කරගන්න බෑ අපිට. ෆේස් බුක්, යූ ටියුබ් මේ කිසිවකින් අපිට බදු අය කරගන්න බෑ. නමුත් අපේ අල්ලපු රට ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල් ඒ බදු අයකර ගැනීම කරනවා. අපි ඇතුළු රටවල් හයයි ඒක නොකරන්නේ. අපි පැහැදිළිව පෙන්නලා තියෙනවා අනිවාර්යෙන් ඒ ගිවිසුමට ඇතුලත් වෙලා ඒ මත කටයුතු කරන්න ඕනා කියලා.” යනුවෙන් පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
විදේශ වෙළදාමේ දී වැරදි ලෙස ඉන්වොයිස් සකස් කිරීමෙන් බදු මග හැරීම සහ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවීමෙන් තොරව වෙනත් රටවල තැන්පත් කිරීම මගින්ව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් ශ්‍රී ලංකා රජයට අහිමි වීම ගැන ද අදාළ වාර්තාවෙන් අවධානය යොමු කර ඇත.
2009 දී බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 60 : 40 අගයට ගෙන ආ යුතුය. එහෙත් දැනට ලංකාවේ බදු ආදයම් රැස් කිරීමේ දී ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 20 : 80 වේ.
මත්පැන් බෝතලයට QR එකක්.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා 23ක් ඇති අතර සුරා බදු ආදායමෙන් 73% ක් ලැබෙන්නේ ප්‍රධාන සමාගම් දෙකක් මගිනි. බදු වංචා අවම කර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත බදු මුද්‍රා සහිත ස්ටිකරය ඇලවිය යුතුය.
එහෙත් මෙම ස්ටිකරය අලවනු ලබන්නේ මත්පැන් නිෂ්පාදන ආයතන 21ක් පමණි. ප්‍රධාන සමාගම් දෙක ‘එම්බ්ලම්’ ලෙස හඳුන්වන වෙනම ක්‍රමයක් භාවිත කරන අතර එය හඳුනාගත හැක්කේ ‘UV ලයිට් එකක’ ආධාරයෙනි. එබැවින් බදු වංචා අවම කර ගැනීම සඳහා සියලු සමාගම් එක පොදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝග කර තිබේ.
එම ලාංඡනය සහිත මත්පැන් බෝතලයක් නිකුත් කළ සැනින් අදාළ බදු මුදල මහා භාණ්ඩාගාරයට යොමු කරන ක්‍රමයක් හඳුන්වා දීමටත්, පාරිභෝගිකයාට සිය ජංගම දුරකථනය හරහා අදාළ මත්පැන් බෝතලයේ QR කේතය පරික්ෂා කර නිසි පරිදි බදු ගෙවන ලද, ප්‍රමිතියට නිෂ්පාදිත මත්පැන් බෝතලයක් දැයි හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටත් උපදෙස් ලබා දී ඇත. ඊට හේතුව ස්ටිකර් ක්‍රමවේදය 2018 හඳුන්වා දී තිබුණ ද ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීමට මේ වසරේ දී පළමු වරට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබුණේ ඒ පිළිබඳව ක්‍රියා කරන්නැයි මෙම කාරක සභාවේ උපදෙස් වලින් අනතුරුව වීම නිසා ය. අදාළ වැටලීමේ දී ස්ටිකර් අලවා නොමැති මත්පැන් බෝතල් 44,000කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර එක් සමාගමකින් රුපියල් කෝටි හතරකට ආසන්න දඩ මුදලක් අය කරගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 7 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලදී.
බදු පැහැර හරින අය හඳුනා ගන්න එකම අංකයක්.
ඒකාබද්ධ අදායම් කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව 2016 දී නිර්දේශ කරන ලදී. එහෙත් එය තමවත් ක්‍රියාත්මක වන්නේ නැත.
”දැන් RMV එකේ, අදායම් බදු දෙපාර්තමේන්තුවේ , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර සම්භන්ධයක් නැහැ. එකම පුද්ගලයාට විවිධ ආයතනවල විවිධ හඳුනා ගැනීමේ අංක තියෙන්නේ. ඒ නිසා අවහිරතා මග හැර ගන්න වගේම බදු අහිමි වීම අවම කර ගන්න අපි රාජ්‍ය ආයතන 13ක ඒකාබද්ධ කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා” යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක විස්තර කළේය.
අදාළ කමිටුව එක් එක් ආයතන සම්බන්ධ නිර්දේශ වෙනම දක්වා ඇත. එම කමිටුවේ විෂය පථයට වැටෙන අපදා කළමනාකරණයට අදාළ ක්‍රියාවලිය සොයා බැලීමේ දී අනාවරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අවුරුදු දහයකින් රැස් වී නොමැති බවය.