බලය හා බලය බලය හා බලය නම් මා විසින් රචිත කෘතිය ජනගත කිරීමේ උළෙලට පැමිණි ඔබ සැමට මගේ ආදර ස්තුතිය පිරි නමනවා. මෙහි අද මට බලශක්ති විෂය උගැන් වූ ගුරුවරු මෙන්ම මගේ ශිෂ්‍යයන් ද සිටිනවා. එමෙන්ම බලශක්ති විෂය කළමනාකරණය හා දේශපාලන වගකීම් දැරූ වැදගත් පිරිසක් ද මෙහි සිටිනවා. බලය හා බලයෙහි එක් “බලයක්” ඉන්ධන හා විදුලිය ආදියෙන් සමන්විත බලශක්ති ලෝකයයි. බලය හා බලයෙහි අනෙක් බලය වෙළෙඳපොල නීති-රීති ආදියෙන් සමන්විත දේශපාලන ලෝකයයි. මේ ලෝක දෙකෙහිම ජීවත් වූ වැදගත් පිරිසක් ඉදිරියේ බලශක්ති ලෝකය හා එහි සමාජ දේශපාලන ලෝකයේ සබැඳියාව කතා කිරීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා.
මේ කෘතිය බලශක්ති විෂය ක්ෂේත්‍රය ගැන හදාරන්නන්ට වැදගත් දත්ත සහිත අධ්‍යාපන කෘතියක් වනු ඇත. බලශක්තිය විසින් නිර්මාණය කරනා මානව සමාජය පිළිබඳව මෙහි කතාකරනා නිසා, බලශක්ති මානව විද්‍යාව ගැන සිංහලෙන් ලියැවුණු මුල්ම කෘතියක් නිසා මානව විද්‍යාඥයින්ට හා සමාජ විද්‍යාඥයින්ට මෙය උපකාරී වනු ඇත. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ද විචාරාත්මක ගවේෂණයක් කර ඇති නිසා ඒ පිළිබඳව උනන්දු දේශපාලක හා මාධ්‍ය වේදීන්ට ද මෙය ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම ගෝලීය උණුසුම වැඩි වීම නැමැති දේශගුණික විපර්යාසය හා එයට පිටුබලය දෙන දේශපාලනය ගැන ද විවරණයක් ඇති හෙයින් පරිසර වේදීනට ද තිරසර බලශක්තියේ අනාගතය ගැන ප්‍රවේශයක් ගෙන ඇති නිසා අනාගතවාදීනට ද මෙයින් ප්‍රයෝජනයක් ගත හැකි වනු ඇත.
මෙහි දී බලශක්ති ක්ෂේත්‍රයේ ජනප්‍රිය මිත්‍යාවන් කීපයක් පිළිබඳව ද මවිසින් සාකච්ඡා කර ඇත. ගල් අගුරු බලාගාර ලාභදායී බවත්, සූර්ය බලය අපිරිමිතව තිබුණ ද ඒවා උකහා නොගන්නේ දේශපාලනය නිසාවවත්, න්‍යෂ්ඨික ශක්තිය ගෝලීය උණුසුමට එකම විකල්පය බවත්, තාක්ෂණය ම`ගින් ඉන්ධන හි`ගය හා ගෝලීය උණුසුමේ අර්බුදය ජය ගනු ඇති බවත්, එවැනි මිත්‍යාවන් කීපයකි. ඒවා පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් දැන් ලංකාවට ද අවශ්‍යය.
ලංවිම දිගුකාලීන ජනන සැළසුම හා ඉන්ධන අර්බුදයට මෙන්ම දේශගුණික විපර්යාසවලට රට සූදානම් කිරීමේ අනාගත සැළසුම පිළිබඳව ද රට දැනුවත් විය යුතුය. තව දශක තුන හතරකින් තෙල් අතුරුදහන් වේ නම් සම්ප්‍රදායික අධිවේගී මාර්ග පද්ධතිවලට ආයෝජනය කිරීම ඵල රහිත ද? 2050 දී ගල් අගුරු අතුරුදහන් වේ නම් 2030 වනවිට රටේ විදුලියෙන් 80%ක් ගල් අගුරුවලින් නිපදවීමේ ලංවිම ජනන සැළැස්ම අනාගතවාදී ද? දේශගුණික විපර්යාස විසින් මුහුදු මට්ටම ඉහළ යවයි නම් වෙරළ තීරයේ නගර නිර්මාණය කාලෝචිත ද? ගෝලීය උණුසුම වැඩි වීම විසින් මෝසම් වැසි විකල් වේ නම් රජරට ගොවි ශිෂ්ඨාචාරය එයින් අවසන් වේ ද? අපි තාවකාලික ආලෝකයට අන්ධ වී අනාගත පරපුර අඳුරේ දමමින් සිටිනවා ද යන්න ගැන අපට මෙම`ගින් සිතන්නට පොළොඹවනු ඇත.
මේ කෘතියෙන් ජාත්‍යන්තර දේශපාලනය ද සාකච්ඡා කර ඇත. ආර්ථීක අතින් යුරෝපයට වඩා ඉතා කුඩා නමුත් යුරෝපය – මර්කල් – හොලෙන්ඩේ පුටින්ට බිය ඇයි? පුංචි ඊශ්‍රායලයට ගාසා තීරයේ කොපමණ ඝාතන සිදුවූවත් යෝධ අරාබි ලෝකය බිය වී ඇත්තේ ඇයි? යෝධ බ්‍රිතාන්‍යයෙන් වෙන් වී යන්නට ස්කොට්ලන්තය බිය වී නැත්තේ ඇයි? සෙන්කුකු කුඩා දූපත්වලට චීනය හා ජපානය යුද වදින්න යන්නේ රටවල ආත්ම ගරුත්වය නිසාම ද? මන්නාරම් ද්‍රෝණිය ගැන ඉන්දියාව, නෝර්වේ – රායප්පු ජෝශප් හා සවුදි අරාබිය උනන්දු වන්නේ යුද අනාථයින් නිසා උපන් මානව භක්තියෙන් ද? මේ සියලූ ප්‍රශ්නවලට තනි උත්තරයක් ඇත. එය නම්, ‘ලේවලට වඩා තෙල් ඝනකම බවයි’.
අද ලංකාව ආර්ථීක උපායමාර්ගයක් නැති කමෙන් අතරමං වී ඇත. සමහර ආර්ථීක දර්ශකවලින් එනම් පවතින මිල ගණන් අනුව ආර්ථීක වර්ධන වේගයෙන් දුගීකම හා විරැකියාව පාලනයෙන්, යටිතල පහසුකම් නැංවීමෙන් අපි ජයග්‍රහණ ලබා ඇත්තෙමු. එමෙන්ම ආණ්ඩුවේ ආදායමට වඩා ණය ගෙවීමට ආර්ථීකයට සිදු වීමෙන් ආණ්ඩුවේ ආදායම් අඩු වීමෙන්, අපනයන ආදායම සාපේක්ෂව ඇද වැටීමෙන් ලාභ ශ්‍රමය හා ලාභ බලශක්තිය නොමැති නිසා ආයෝජන ඇනහිටීමෙන් රට ආර්ථීක අතින් අනතුරුදායක අසමතුලිත තත්ත්වයකට පත්ව ඇත. නිෂ්පාදන සාධක මත ආර්ථීකය වර්ධනය කිරීමේ උපාය දැන් වලංගු නැත. ආයෝජන ගෙන ඒමට, අපනයන වර්ධනයට බලශක්ති මිල ගණන් පිළිබඳ විවෘත සූත්‍රයක් රටට අවශ්‍යය.
ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම සත්‍යම කතාවක් නොවේ. විදුලි බිල දුගී පිරිස්වලට දරාගත නොහැකි බව ද රහසක් නොවේ. රුපියල් 103ට ගෙන එන ඩීසල් රුපියල් 121ට විකිණීම ගැන ද, රුපියල් 97ට – රුපියල් 100ට ගෙන එන පෙට්ට්‍රල් රුපියල් 162ට – 170ට විකිණීම ගැන ද ජනතාව දත යුතුය. පෙට්ට්‍රෝලියම් බදු කා වෙනුවෙන් ද යන්න ගැන දැන ගැනීමට පාරිභෝගිකයන්ට අයිතියක් ඇත. එමෙන්ම ලංවිම 2014 පළමු හය මස තුළ රුපියල් මිලියන 7000ක පාඩුවක් අපේක්ෂා කළ ද එය මිලියන 21,000ක් වූයේ කෙසේ ද යන්න ගැනත්, එම මාස 06 තුළ අතිරේක ලෙස ඉන්ධන ගැලපුම හා ගාස්තු වැඩි වීමෙන් ලැබුණ බිලියන 25 වැය කළ ආකාරය ගැනත්, කර්මාන්තකරුවන් හා විදුලි පාරිභෝගිකයන් දත යුතුය. අද රටට විවෘත ඉන්ධන හා විදුලි අයක්‍රමයක් අත්‍යවශ්‍යය. මේ කෘතිය එය අවධාරණය කරයි. තාක්ෂණික දූෂිතයන් හා සුදුකරපටි අපරාධකරුවන් වෙතින් අනාගත පරපුර බේරා ගැනීමට රටට අවශ්‍ය බලශක්ති ප්‍රතිපත්තිය හා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට සියල්ලන් එක්විය යුතු කාලය එළැඹ තිබේ.