පසුගිය වසරේ ජූලි මස 02 වැනි දින පුවත්පතක මුල් පිටුවේ පළවූ ‘සජිත්ට කතාකිරීම තහනම්’ යන ප්රධාන සිරස්තලය මුල් කරගෙන මවිසින් වරප්රසාද කඩ වූ බවට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වරප්රසාද කමිටුව වෙත ඉදිරිපත් කළෙමි.
එහිදී එම පුවත්පත වාර්තා කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට මුදල් කමිටුවට පැමිණ අදහස් පළකිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබ තිබූ මත විමසීමේදී මා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි බවය.
කෙසේ වෙතත් මවිසින් වරප්රසාද කමිටුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ එම ඡන්ද විමසීමේදී විපක්ෂ නායකවරයා තම අදහස් දැක්වීමට ඉඩ දිය යුතු බවට වූ යෝජනාවට පක්ෂව මුදල් කමිටුවේදී තමන් ඡන්දය භාවිත කිරීමට කටයුතු කර ඇති බව ය. ඒ බව මා විසින් පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇති ඡායාරූපවලින්ද තහවුරු විය.
ඒ අනුව අදාළ පුවත්පත ඊට කොන්දේසි විරහිතව කණගාටුව ප්රකාශ කරමින් ප්රකාශයක් නිකුත් කර තිබිණ.
වරප්රසාද කමිටුව අද (11) රැස් වූ අවස්ථාවේ නැවත වරක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, වරප්රසාද පනත අනුව පාර්ලිමේන්තු කමිටුවක හෝ පාර්ලිමේන්තුව තුළ හෝ සාකච්ඡා කෙරෙන කාරණා සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුව විසින් නිකුත් කිරීමට පෙර වාර්තා කිරීම සම්පූර්ණයෙන් ම වැරදි බවත්, අනෙකුත් මාධ්ය ද මින් ඉදිරියට මෙය ආදර්ශයට ගෙන ක්රියා කළ යුතු බවත්, වරප්රසාද කමිටුව විසින් ප්රකාශ කරන ලදී. වරප්රසාද පනත අනුව මෙම ක්රියාව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි වරදකි. මේ සිදුවීම සම්බන්ධ ඉදිරියේදී නීතිමය ක්රියාමාර්ගයක් ගන්නවාද යන්න පිළිබඳ තීරණය කිරීම මා සතු කාර්යයක් බව වරප්රසාද කමිටුව විසින් දන්වා ඇත. එම වරද සම්බන්ධව ඉදිරියේ දී නීතිමය ක්රියාමාර්ග නොගැනීමට මවිසින් තීරණය කර ඇති අතර, මෙවැනි සිදුවීම් සාධාරණීයකරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී වරප්රසාදවලට මුවා වී ඇතැම් මන්ත්රීවරුන් සිදු කරන ප්රකාශයන් සම්බන්ධයෙන් ද මගේ අවධානය යොමු වී තිබේ.