අයවැයේ ලොකුම ගැටලුව වැය කප්පාදුව ගැන උත්තරයක් නැතිකම – පාර්ලිමේන්තු මන්ත්රී, පාඨලී චම්පික රණවක
__
‘දිවයින ඉරිදා සංග්රහය’ සාකච්ඡාව 2022.11.27
පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම උදෙසා මෙවරත් අයවැය ඉදිරිපත් කළ බව ආණ්ඩුව පැවැසුවද ඉන් කිසිදු සහනයක් පීඩාවට පත්ව ඇති ජනතාවට නොලැබෙන බව බොහෝ දෙනා පවසති. මේ මෙවර අයවැය ගැන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක ‘ඉරිදා දිවයින සංග්රහය’ සමඟ කළ කතාබහයි.
ප්රශ්නය – මේ අයවැය ජනතවාදී අයවැයක් නොවන, අයිඑම්එෆ් කොන්දේසිවලට අනුව සැකසුණු අයවැයක් බව තමයි බොහෝ දෙනෙක් කියන්නෙ. ඔබතුමා මේ අයවැය දකින්නේ කෙසේද…?
පිළිතුර -අයිඑම්එෆ් කොන්දේසි මොනවද කියල අපි නම් දන්නෙ නෑ. ඒත් අයිඑම්එෆ් එක නිකුත් කරල තියෙන නිවේදනයට අනුව ලංකාව තමන්ගෙ එදිනෙදා ආදායම්, වියදමින් පියවා ගැනීම ගැන අවධානය යොමුකරල තියෙනවා. ඒක අයිඑම්එෆ් එක කිව්වත් නැතත් කරන්න ඕන වැඩක්. 1954 වසරෙන් පසු 2018 වසරේ දී විතරක් ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. ඒකෙන් අපේ ණය අපට දරාගත හැකි ආකාරයට නැත්නම් තිරසර බවක් ගැන අදහසක් පළ කර තියෙනව. රාජ්ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සම්බන්ධව ලෝක බැංකුව, මූල්ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන ප්රකාශ නිකුත් කරල තිබෙනවා. ප්රශ්නය තියෙන්නෙ අපි දැන් බංකොලොත් රටක්. අපිට අපේ විදෙස් ණය ගෙවන්න බෑ, ගෙවන්නෙ නෑ. ඒ නිසා පුංචි විදේශ විනිමය සහනයක් ලැබිල තිබෙනවා. ඒ සහනය ඇතුළෙ දැන් ඉතින් ඔක්කොම හරි යැයි ඇතැමුන් හිතාගෙන ඉන්න තත්ත්වයකුත් තිබෙනවා.
මේ අයවැයේ ආදායම බදු සමඟ රුපියල් බිලියන 3500ක් බලාපොරොත්තු වෙනවා. වියදම පෙන්නා තිබෙන්නේ රුපියල් බිලියන 7800ක් පමණ. අතිරේකව වැය බරකුත් පෙන්නල තියෙනව. මේ සියල්ල එක් කළ පසු රුපියල් බිලියන 8000ක වියදමක් ඇස්තමේන්තුගත කරල තිබෙනවා.
වැදගත් දේ තමයි තවත් වැය බරක් ආණ්ඩුවෙ තිබීම. එය ගණකාධිකරණ මූලධර්ම මත හංගල තියෙන දෙයක්. ඒ තමයි මාස තුනනෙක්, මාස හයෙන්, අවුරුද්දෙන් කල් පිරෙන මහා භාණ්ඩාගාර බිල්පත්. ඒ තොගයේ වටිනාකම රුපියල් බිලියන 3800ක්. ඒ අනුව ඇත්තටම ආණ්ඩුවෙ වැය බර රුපියල් බිලියන 11500කට අධික ප්රමාණයක් වෙනවා. මේ වැය බරත් එක්ක ආණ්ඩුවෙ ආදායම ගත්තම එක රුපියලකින් රුපියල් 3.4 ක් පියවන්න යනව හා සමානයි. ඒක තමයි සරලව ගත්තම මේ අයවැය තුළින් රටේ ජනතාවගේ ප්රශ්න විසඳෙනවා ද යන්න ප්රශ්නයක්.
ප්රශ්නය – ආදායම් වියදම් අතර පරතරය ඉතා ඉහළයි. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව බලාපොරොත්තු වන මෙම ආදායම ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද?
පිළිතුර– පසුගිය වසරේ බැසිල් රාජපක්ෂ මහත්මයා අපට කිව්වෙ එයා බිලියන 2500කට අධික ප්රමාණයක ආදායමක් උපදනවා කියල. ඒත් ඇත්තටම ලැබිල තියෙන්නෙ රුපියල් බිලියන 1900යි. ඒ නිසා මේ රුපියල් බිලියන 3500ත් ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක්ද කියන ප්රශ්නය එනව. විශේෂයෙන්ම උද්ධමනය ඉහළ යෑම නිසා වැට් බද්දෙ ආදියෙ ඉහළ යෑම නිසා ආදායම් වැඩි වෙන්න පුළුවන්. නමුත් ආදායම් බදු, වාණිජ බදු ආදිය ආයතනවලින් ගැනීමේ සැකයක් මතුවෙනව, මොකද ශීඝ්රයෙන් ව්යාපාර කඩාවැටෙමින් තිබෙනවා. ආදායම් අහිමිවෙමින් තිබෙනවා. ඒ තත්ත්වය තුළ මේ බලාපොරොත්තු වෙන ආදායම ලැබෙයිද කියන ප්රශ්නය බරපතළ ලෙස තිබෙනවා.
ප්රශ්නය– රාජ්ය ආදායම ගැන ඔබ කතා කළා. ඇත්තටම අපනයන ආදායමෙන් රට තුළට ගලාඑන්නෙ ඉතා අඩු ප්රතිශතයක් බව පසුගිය දිනක මහ බැංකු අධිපතිවරයත් ප්රකාශ කළා. එය ඩොලර් බිලියන හතළිහක් බව සඳහන්. ඇත්තටම ඒ ඩොලර්වලට මොකද වෙන්නේ…?
පිළිතුර– මූල්ය අර්බුදයේ පාමුල මැයෙන් මම 2016 වසරේදී ග්රන්ථයක් රචනා කරමින් ඔය ගැන මුලින්ම සඳහන් කළේ මමයි. එහිදී
ග්ලෝබල් ඉන්ටර්විටි රිපෝට් එක මම භාවිතා කළා. එහි ලංකාවෙ ආනයන අපනයන අධි තක්සේරු සහ අවතක්සේරු කරන ආකාරය තිබෙනවා. ඒ තුළින් විශාල ධනයක් රටින් එළියට ගෙනයන බව පැහැදිලි කර තිබෙනවා. 2021දි බිලියන 40කට ආසන්න ධනයක් එහෙම එළියට ගිහින් තියෙනව. ලංකාවෙ ණය බරත් බිලියන 46යි. 2015දි අපේ ණයබර තිබුණෙ ඩොලර් බිලියන 24යි. ඔබට පේනවා ඇති හැම ආණ්ඩුවක් ඇතුළෙම මේ ජාවාරම කරගෙන යනව කියල. මුදල් අමාත්යාංශය, රේගුව මේවට වගකියන්න ඕන. ඒ වගේම වත්මන් මහ බැංකු අධිපතිතුමාගේ අවධානය මේ කෙරෙහි යොමුවීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඒකට එතුමට සහයෝගය දෙන්න ඕන මේ වංචාව නවත්වන්න. ඇඟළුම් අපනයනවලින් හා වෙනත් අපනයනවලින් ඩොලර්වෙලා තියෙන්නෙ 34%යි කියල මහ බැංකු අධිපතිතුමා කියනව. මේක බරපතළ තත්ත්වයක්.
ප්රශ්නය – හොඳයි. නැවත අයවැය සම්බන්ධයෙන් කතා කළොත් දකින්න ඇති කාරණය වන්නේ බදු මතම ආණ්ඩුව යැපෙන්න උත්සාහ ගෙන ඇති බවයි. සෑම අතින්ම හෙම්බත්ව ඇති මිනිසුන් සිටින රටක එම උත්සාහය කෙතරම්දුරට සාධාරණ ද?
පිළිතුර -ආදායම වැඩිකර ගැනීමට සෘජු බදු අයකර ගැනීමේ ගැටලුවක් නෑ. වැට් වගේ බදුවලින් වෙන්නෙ ඇති නැති සෑම ජනතාවටම බදු යන එකයි. ඒ වගේම රාජ්ය ආයතන කාර්යක්ෂම කර ගැනීමට ඒ ආයතනවල වැය බර ඒ රාජ්ය ආයතනම දැරීම සුදුසු ක්රියාමාර්ගයක්.
මම බොහොම වගකීමෙන් කියනව තෙල් සංස්ථාවේ කිසිම පාඩුවක් නෑ. තෙල් සංස්ථාවට තියෙන්නෙ 2020 ඉඳන් කළමනාකරණය කර ගැනීමේ දුර්වලතාවක්. ඒ නිසා ඇති වුණු දැවැන්ත ණය බරක්. ලංකා විදුලිය බල මණ්ඩලය එහෙමයි. කෙසේ නමුත් ලොකුම ප්රශ්නය ආණ්ඩුව තමන්ගෙ වියදම් අඩුකර ගැනීම ගැන කිසිම ප්රතිපත්තියක් ප්රකාශ කරල නෑ. උදාහරණයකට මේ අයවැයේ අපිට පේනවා යෝජනාවක් ඇවිත් තියෙනව ප්රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 1300ක පමණ. බැසිල් රාජපක්ෂ මහත්තයත් දැම්ම රුපියල් බිලියන 1024ක පමණ ප්රාග්ධන වියදමක්. ඒත් ඇත්තටම වියදම් කරන්න පුළුවන් වුණේ රුපියල් බිලියන 300කට කිට්ටු ගාණක්. ආණ්ඩුවට සල්ලි නෑ. ආණ්ඩුව රුපියල් බිලියන 235ක් මාර්ග කොන්ත්රාත්කරුවන්ට ගෙවල නෑ. අපිට ඇහුණ ඒ කාලයෙ අපිට සල්ලි ඇතිවෙන්න තියෙනව, සල්ලි ප්රශ්න නෑ, පාරවල් හදන්න, කාපට් කරන්න කියල. මම එදා කිව්ව අමු මෝඩ වැඩක් ඒ කරන්නෙ කියල. දැන් ඒවට ගෙවන්නෙ නැතිව අතහැරල. ඒ නිසා ඒවායෙ නියැළුණු කොන්ත්රාක්කරුවන් විශාල අමාරුවක වැටිල.
රැකියා අහිමිවෙලා.
ප්රශ්නය – ඒත් මෙම අයවැය තුළින් මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 300ක් පමණ වැයක් තියෙනව නේද?
පිළිතුර- ඔව්. මේ තරම් අමාරු අවස්ථාවක එවැනි වැයක් මාර්ග සංවර්ධනයට යොමු කර ඇත්තේ යටි අරමුණු වෙනුවෙන්. අපි අධිවේගී පාරවල්වලට වියදම් කිරීම අවුරුදු තුනකටවත් නවත්වන්න ඕන. ඒත් අපට මේ වෙලාවෙ දුම්රිය සහ පොදු බස් රථ සේවාව කාර්යක්ෂම කරගැනීම අවශ්ය වෙනවා. ප්රශ්නය – අයවැය තුළින් රාජ්ය වියදම් කළමනකරණය ගැන යොමුවෙලා තියෙන අවධානය ප්රමාණවත් ද?
පිළිතුර– කාර්යාල නඩත්තුව, විදුලිය බිල්, ප්රවාහන බිල්, ජල බිල් ආදි වශයෙන් ආණ්ඩුවෙ රුපියල් බිලියන 1400ක් පමණ වියදමක් තියෙනව. අපි කියන්නෙ නෑ සේවකයන්ගෙ වැටුප් කපන්න. ඇත්තටම වැටුප ප්රමාණවත් නෑ. නමුත් අතිරේක වියදම් කප්පාදු කිරීමේ ආදර්ශයක් දෙන්න ඕන. ඒක පටන්ගන්න ඕන ජනාධිපති වැය ශීර්ෂයෙන් 50%ක් ඉතුරු කරගෙන. ඒ ආදර්ශය මේ කාර්යවලින් පහළට දෙන්න ඕන. ආණ්ඩුවෙ විදුලි බිලෙන් 10%ක්, තෙල් බිලෙන් 20%ක්, කාර්යාල කුලිය ආදිය ඉතුරු කරගන්න ආදර්ශයක් දෙන්න ඕන. ඒ නිසා පහළ සමාජයට පටි තදකරගන්න කිව්වට මිනිස්සු ඒක පිළිගන්නෙ නෑ. මේ අයවැයේ ලොකුම ගැටලුව තමයි වැය කප්පාදුව ගැන කිසිම උත්තරයක් නොමැතිවීම.
ප්රශ්නය – රාජ්ය ආයතන ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තියෙනව. නමුත් ඉදිරිපත් කරල ඇති ඇතැම් ආයතන ලාබ ලබන ආයතන. උදාහරණයක් ගත්තොත් ටෙලිකොම්, ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව වගේ ආයතන පෙන්වා දෙන්න පුළුවන්. ලාභ ලබන රාජ්ය ආයතන ප්රතිව්යුහගත කිරීම සාධාරණ ද?
පිළිතුර -ඉතාම සරලයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ලබන මාර්තු වෙද්දි ලැබෙනවා කිව්වට එහෙම ලැබෙන පාටක් අපිට පේන්නෙ නෑ. ලබන අවුරුද්දට ආණ්ඩුව ගෙනියන්න ඩොලර් බිලියන 5ක වගේ ආදායමක් අවශ්යයි. ඒ අත්යවශ්ය සේවාවන් ගෙනියන්න. මොකද අපනයන ක්ෂේත්රය කඩා වැටෙමින් තියෙන්නෙ. ඒ ලෝක මට්ටමින් ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක. විශේෂයෙන් බටහිර ලෝකයේ කඩා වැටීම. ඒ වගේම විදෙස් ප්රේෂණවල වර්ධනයක් පේන්නෙ නෑ. සංචාර ව්යාපාරයේ වර්ධනයක් පේන්නෙ නෑ. ඉදිරි අවුරුද්ද දුවන්න ඩොලර් බිලියන 5න් ඩොලර් බිලියන 3ක් විතර හොයාගන්න රක්ෂණ සංස්ථාව, ටෙලිකොම්, හිල්ටන් වගේ ආයතන විකුණන්න යනව.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයත් සූදානම් වුණා හිල්ටන් වගේ ඒවා විකුණන්න. කවුරුවත් ගත්තෙ නෑ. ඒ වෙලාවෙ රට බංකොලොත්වෙලා තිබුණෙත් නෑ. ශ්රී ලංකා ටෙලිකොම් ගත්තොත් අපේ භූගත කේබල් පද්ධතියත් එක්ක තමයි මේක විකුණන්න යන්නෙ. මේවායේ ඇතැම් කාරණා ආර්ථිකයකට අදාළ කාර්යයන් නෙමෙයි. ජාතික ආරක්ෂාවට අදාළ කාරණා. ලංකා විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩල ඕන කෙනෙක්ට ඕන කෙනකුගෙන් විදුලිය ගන්න පුළුවන් විදිහේ ක්රමයක් යෝජනා කරල තියෙනව. මාගරට් තැචර් තමයි පෞද්ගලීකරණය එංගලන්තයේ මුළුමනින්ම ගෙන ගියේ. නමුත් ඇය පවා ඇතැම් විදුලි බලාගාර පුද්ගලික අංශයට දුන්නෙ නෑ. එහෙම දීල බෑ ජාතික ආරක්ෂාවට. රක්ෂණ සංස්ථාව 2002ත් විකුණුව. ඒක මහා බරපතළ වංචාවක් සිද්ධ වුණා. ඒ නිසා මේවා විකිණුවත් ඒවායේ වාසිදයක බව රටට ලැබෙනවද කියන ප්රශ්නයත් තියෙනව. මහින්ද රාජපක්ෂ ටෙලිකොම් කොටස් විකුණපු වෙලාවෙ ඒක හරහා ධනවත් වෙච්ච පිරිසක් හිටිය. ඒක සම්පූර්ණ වාසිය ලංකාවට ආවෙ නෑ.
තැරැව්කාරයොයි, සහචර අනුචර ක්රියාකාරීත්වයයි නිසා මේවායින් අදාළ මුදල් ලැබෙනවද කියන ප්රශ්නයත් එනව. මේවා විකුණල 2023 අවුරුද්ද ගෙවාගන්න පුළුවන්වෙයි. ඒත් මේ රටේ අනාගත දරුවන්ට තව දශක ගාණක් ඉදිරියට තියෙනව.
ප්රශ්නය – ඔබතුමා ජාතික ආරක්ෂාව ගැන අදහස් දැක්වූවා. මේ සැරේ ආරක්ෂක වියදම් යම් ආකාරයක කප්පාදුවකට ලක්වෙලා තිබෙනවා නේද?
පිළතුර – මම හිතන්නෙ ලංකාවෙ ආරක්ෂක වියදම අතිශය වැඩියි. අපිට ලක්ෂ 3ක හමුදාවක කිසිම අවශ්යතාවක් දැන් නෑ. අපේ ආරක්ෂක හමුදාව ගැළපෙන විදිහට පත්කරගත යුතුයි. ඒ වගේම අපේ ආරක්ෂක හමුදාවේ පරිවර්තනයක් ඕන. අපිට දැන් ඕන තාක්ෂණික වශයෙන් එන යුද්ධයකට ඕන සුහුරු හමුදාවක් මිසක් හැම බිම් අඟලකම කඳවුරු තියෙන හමුදාවක් නෙමෙයි. ඒ භූගෝලීය යුද්ධය දැන් ඉවරයි. ඒ නිසා ශ්රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් කොච්චර ප්රමාණයක් ඉන්න ඕනද? කොච්චර ප්රමාණයක් වෙනත් ක්ෂේත්රවලට යොමු කරන්න ඕන කියල හොඳ කළමනාකරණ විගණනයක් ඕන. නමුත් අද ආණ්ඩුව පවතින්නෙ පොලිසියයි, ආරක්ෂක හමුදාවයි හරහා මර්දනය ගෙන යෑමෙන්. ඒ නිසා මේක කරගෙන යන්න බෑ. ඔවුන් ජනතාවට බියේ ජීවත්වෙන්නෙ. ලංකාවෙ ආරක්ෂක වියදම් අතිශය වැඩියි. ඒක පුද්ගල වැඩිම ආරක්ෂක වියදම් ලැයිස්තු රාජ්යයේ අපි ඉදිරියෙන්ම ඉන්න රටක්. මේ වියදම අපිට ඔරොත්තු වෙන්නෙ නෑ. 2010 ඉඳන්ම මේක අඩුකරගත යුතුව තිබුණ.
නමුත් උමතුවක් තිබුණ මේ රටේ ආරක්ෂක හමුදා තමයි කුඹුරු කොටන්න ඕන, ආරක්ෂක හමුදා තමයි බේත් විදින්න ඕන, ආරක්ෂක හමුදා තමයි කුණු අදින්න ඕන, ඔවුන් තමයි කාණු සුද්ධ කරන්න ඕන කියල. ඒ උමතුවේ ප්රතිඵල තමයි අපිට දැන් බරක් වෙලා තියෙන්නෙ.
ප්රශ්නය – මේ යන විදිහට ලබන අවුරුද්ද අවසානය වෙන කොට යම් සහනයක් ලැබෙයි කියල මහ බැංකු අධිපතිවරයා පුරෝකථනය කරනව. එහෙම තත්ත්වයක් අපට ළඟා කරගන්න පුළුවන් වෙයිද?
පිළිතුර – පළමු මාස තුන ඇතුළත ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතා ආවොත් යම්කිසි විශ්වාසයක් වෙළඳපොළෙන් ලැබෙයි. මූල්ය අරමුදල ආවත්, නාවත් සමාජයීය අර්බුදය ඉදිරියට යනව. ඒ නිසා කැළඹිලි සහගත 2023කට තමයි අපි යමින් ඉන්නෙ. සමාජ පිපිරීමක් අත ළඟ.
මම ඕක 2021 අයවැය වෙලාවෙදි කිව්ව. සරත් වීරසේකරගෙ පොලිසියට, ගෝඨාභය රාජපක්ෂගෙ, කමල් ගුණරත්නගෙ හමුදාවට මහජන නැගිටීම නතර කරන්න බෑ කියල. මම ඒක නැවත කියනව. ටිරාන් අලස්ගෙ පොලිසියට මේ අර්බුදය නතර කරන්න බෑ. ඒ සමාජ පිපිරීම හදිසි නීතිය දාල හිට්ලර් වගේ මර්දනය කරල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආර්ථික කළමනාකරණය තුළින් දේශපාලන කළමනාකරණය කරල කළ යුතු දෙයක්.
සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
වෙබ් සබැඳිය: