සැමට එක්විය හැකි රට ගොඩනගන වැඩපිළිවෙළ පාඨලී හෙට එළිදක්වයි..!

telephone x 1

සැමට එක්විය හැකි රට ගොඩනගන වැඩපිළිවෙළ පාඨලී හෙට එළිදක්වයි..!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෙට (2024.02.14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව ඔහුගේ අදහසයි. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගැනේ.

වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරිණ. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන වල මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරන බව රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් පවතින ගැටලුවෙන් රට මුදාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කිසිවෙකු ඉදිරිපත් කර නැත. එක්සත් ජනරජ පෙරමුණ හෙට දිනයේ දී ඒ සම්බන්ධ විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග වැඩපිළිවෙලට ඇතුළත් වෙයි. රණවක මහතා කියා සිටින්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවයි. ප්‍රතික්ෂේප කළ යුතු කරුණු ද පැහැදිලිව දැක්වීමට තීරණය කර ඇත. සංශෝධන යෝජනා ද හෙට දිනයේ දී ඉදිරිපත් කරන බව රණවක මහතා පවසයි.

වෙනත් කිසිදු පාර්ශවයක් එවැනි ක්‍රියාවලියකට අවතීර්ණ වී නැති බව ද හෙතෙම පෙන්වා දෙයි. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන් සංකෝචනය වෙමින් තිබේ. එය ජනතාව මත දැඩි පීඩනයක් නිර්මාණය කරයි. කිසිදු පාර්ශවයකට ඊට සුදුසු විසඳුම් නැතැයි පාඨලී චම්පික රණවක මහතා පවසයි. එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා මාලාවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපේක්‍ෂා කෙරේ.

බදු වැඩි කිරීම වෙනුවට රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි විකල්ප ක්‍රමවේද ගණනාවක් හෙට හඳුන්වාදීමට නියමිතයි. සෞඛ්‍ය තත්ත්ව වර්ධනය සහ ඖෂධ ගුණාත්මකභාවය සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ නව වැඩ පිළිවෙළක් ද සකසා තිබේ. පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් ඉලක්ක කරගත් ආහාර සම්බන්ධ වැඩසටහනක් ද සැලසුම් කර ඇත. අස්වනු හානි අවම කරමින් ඵලදායීතාව වර්ධනය ආහාර මිල අඩු කිරීම එහි අරමුණයි. ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ජනතාවට ගැටලු රැසක් මතු කර ඇත. පාලනය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිතව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව බව රණවක මහතා පෙන්වා දෙයි.

කර්මාන්ත සඳහා විදුලි බිල අඩු කළ යුතුය. විදුලිය පරිභෝජනය අඩු, පාරිභෝගිකයන් වෙනුවෙන් සහන සැලසීමට ද අපේක්ෂා කෙරේ. එවැනි ක්‍රියාමාර්ග අතර විදුලි බල මණ්ඩලය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමට ද සැලසුම් සකසා ඇතැයි රණවක මහතා පවසයි. රාජ්‍ය සේවයට ද ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙයි. ඒ පිළිබඳ යෝජනා ද හෙට ඉදිරිපත් කෙරේ. දැනට ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති අසාර්ථක ය. සමෘද්ධි හා අස්වැසුම ආදිය ඊට උදාහරණයි. රණවක මහතා කියා සිටින්නේ සමාජ සුභසාධන විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට පවතින බවයි. හෙට ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙල යටතේ පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇතිවෙයි. ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ, සමාජ සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය ආයතන සමග ද වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කරන බව රණවක මහතා කියා සිටී.

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයෙන් මුදා ගැනීම සඳහා භාවිත කළ හැකි පොදු අවම වැඩපිළිවෙලක් හෙට ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජනරජ පෙරමුණු දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පවසයි.

ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එහෙත් මැතිවරණ කල් දැමීම,ව්‍යවස්ථා සංශෝධන, ජනමත විචාරණ ආදී විවිධ අදහස් මතු වෙමින් තිබේ. වර්තමාන තත්ත්වය මත මහජන විරෝධයක් රට තුළ නිර්මාණය වී ඇත. මැතිවරණ කල් දැමීමෙන් හෝ වෙනත් විකල්ප භාවිතයෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය විය හැකිය. ඒ නිසා මහජනතාවගේ මතයට ඉඩ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්විය යුතු බව කරු පරණවිතාන මහතා අවධාරණය කරයි.

පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් අදහස් නොදක්වයි. එවැනි තත්ත්වයකදී ප්‍රතිපත්ති මූලික සන්ධානයක් නිර්මාණය කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් හෙට ඉදිරිපත් කෙරෙන බව පරණවිතාන මහතා පෙන්වා දෙයි. එහි ප්‍රමුඛ අපේක්ෂාව වන්නේ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමයි. පසුගිය කාල සමයේදී විශාල පිරිසක් සමග එක්සත් ජනරජ පෙරමුණ අදහස් හුවමාරු කරගත්තේය. බහුතරයකගේ අදහස වූයේ ප්‍රතිපත්ති මූලික වැඩසටහනක් රට සංවර්ධනය සඳහා අවශ්‍ය බවයි. ඒ සඳහා වූ ක්‍රියාමාර්ග වැඩපිළිවෙළ හෙට ප්‍රකාශයට පත් කෙරෙන බව අද පැවැති මාධ්‍ය හමුවේ දී පරණවිතාන මහතා පෙන්වාදුන්නේය.

මේ මාධ්‍ය හමුවට එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ද එක්ව සිටියේය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *