එක්සත් ජනරජ පෙරමුණේ කුඩා ජන හමුවක් අඹතලේ, පාසල් පටුමගෙහි දී පැවැත්විණි. එම පක්ෂ හමුවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැට් බදු වැඩි කිරීම පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, රටේ ණය ප්‍රශස්තකරණය හෙවත් දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාදය සහ එහි පැවති අඩුපාඩු නිසා පොලී වියදම් වැඩි වූ බවත් දේශීය ණය ප්රතිව්යුවහගතකරණයේදී අධික ලාභ ලබන ආයතන වලින් සහ පුද්ගලික ආයෝජකයින්ගෙන් බදු අය නොකිරීම ද බදු වැඩි කිරීමට හේතුවක් වූ බවත්ය. “ඩිජිටල් වේදිකාවක් සකසා අධික ලාභ ලබන දැනට බදු පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගෙන් බදු එකතු කර ගැනීමට කටයුතු කළානම් කෙටි කාළයක් තුළ රටෙහි ආදායම 50% කින් වැඩි කර ගත හැකි” එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම පැන්ඩෝරා පේපර්ස් වල ඇතුලත්ව ඇති බවත් ඒවා අසත්‍ය නම් ඒ සඳහා අමාත්‍යවරයාට ඊට එරෙහිව නඩු පැවරීම සිදු කළ හැකි බවත් ප්‍රකාශ කළ චම්පික රණවක මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. මාධ්‍ය වෙත වැඩිදුර අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා” ප්රශ්නය අලුත් වැඩබලන පොලිස්පතිතුමාගේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ? පිළිතුර “ඇත්තටම එකපාරටම කොහොමද මේ කුඩු මතුවෙන්නේ? කලින් පොලීසිය හිටියේ නැද්ද? ඒ පොලිසිය තියෙන කාලේ මත්ද්‍රව්‍ය තිබුනේ නැද්ද? පොලීසියේ වගකීමනේ කුඩු නවත්තන එක. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසයි මත්ද්‍රව්‍ය සංසරණය කරන්නට යොදාගන්න කුඩා ඉත්තොයි විතරක් නෙවෙයි ඒවා ගෙන්නවන තෝරු, මෝරුයි කියලා කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. අපට තාම නම් ඒ තෝරු, මෝරු ඇල්ලුවා කියලා කිසිම තොරතුරක් ලැබුණේ නෑ. මේක එක්තරා ආකාරයක මාධ්‍ය සංග්‍රාමයක්, වැඩබලන පොලිස්පති තනතුරෙන් ස්ථිර පොලිස්පති ධූරය ලබාගැනීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම අධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවකින් වරදකාරයෙක් වූ අයෙක්ට පොලිස්පති ධූරය ලබාදෙනවා කියන්නේ, මුළු මානව හිතවාදී නීති පද්ධතියට කරන ලද බලගතු අවමානයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අපිට මතකයි ‘මතට තිත’ ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලයේ මත්කුඩු ජාවාරම්කාරයින්ට මරණ දණ්ඩනය පවා නියම කළා. ඒ වගේ ගොඩක් දේවල් ඉතිහාසය පුරා ම සිද්ධ වූ දෙයක්. මේවා අමුතු අලුත් දේවල් නෙමෙයිනේ.”
අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක් වෘත්තීයවේදීන් රට හැරයාමට බලපාන කරුණු ගැන ක්‍රම සහ විධි කාරක සභාවේ විශේෂ අවධානය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දෙසැම්බර් මස 13 වැනිදා පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සුබසාධක ප්රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සංගම්වල නියෝජිතයන් ද කැඳවා තිබිණ. අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කටයුත්ත, ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණු අතර ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ දීමනාව සම්බන්ධ ගැටළු හේතුවෙන් ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ දායකත්වය ද ලබා ගැනීමට නොහැකි වූ බවත්, එම ක්‍රියාවලිය ආධුනික නිලධාරීන් ලවා කරවා ගැනීමට සිදුවීම නිසා ප්‍රායෝගික ගැටළු රාශියක් පැන නැගුණු බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී ගම් මට්ටමින් සමාජ සුබසාධන කටයුතු ඉටු කිරීම වෙනුවෙන්ම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුද්දක් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා නීතිමය බාධාවක් නොවන බව අනාවරණය වූ නිසා ප්‍රතිලාභීන් සෙවීමේ කටයුත්ත අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්රවලට කරන බර තැබීම අඩු කොට දුප්පත්කම යන කරුණට වැඩි බර තැබීමක් සිදු කරමින් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා විදුලිය බිල යන පරාමිතිය මත දිළිඳුකම මැනීමේ වැදගත්කම තමන් මුල සිට අවධාරණය කළා සේම එම පරාමිතිය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමගින් ප්‍රතික්ෂේප කළ නොහැකි, අභියෝග කළ නොහැකි ශක්තිමත් පරාමිතියක් අනුව ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි බව ද, පෙන්වා දුන්නේ ය. දුප්පතුන්ගේ රෙජිස්ටරය සකස් කිරීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ වීමට සූදානම් ද යන්න ඔහු මෙහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය. එහිදී සමෘද්ධි නිලධාරීන් පෙන්වා දුන්නේ අස්වැසුම ක්‍රියාවලියේ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සම්බන්ධ වන නමුත්, 2002 අංක 24 දරණ සුභසාධක ප්රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති ප්‍රකාරව රාජකාරි ඉටු කිරීමේදී අසත්‍ය තොරතුරක් මත ක්‍රියා කිරීම හේතුවෙන් වැරදිකරු වීම, දඬුවමට යටත් වීම හා වැරදි ගෙවීම්වලදී ආපසු අය කර ගැනීම යන ප්‍රතිපාදන හේතුවෙන් තමන්ට සිදුවන නීතිමය අසීරුතාව ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටින බව ය. එහිදී සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එම වගන්ති මගින් නිලධාරීන් වෙත කිසිදු අපහසුතාවක් සිදු වී නොමැති බව ය. අදාළ පනත සංශෝධනය කිරීම, පාර්ශවයන් අතර යම්කිසි එකඟතාවකට ලිඛිතව එළඹීම සහ විශ්වාසය හා රටේ අවශ්‍යතාව මත පදනම් ව සුහදශීලී එකඟතාවකින් වගකීම ඉටු කිරීම යන විකල්පයන් අතරින් එකක් තෝරා ගත යුතු බවත්, ඉන් වඩාත් සිදු කළ හැකි සහ දුප්පතාගේ වටපිටාව ගැන සිතා සහකම්පනයෙන් සිදු කළ යුතු කාර්යය වන විශ්වාසය මත රාජකාරියට එළඹීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. කෙසේවෙතත්, සමෘද්ධි නිලධාරීන්ගේ පාර්ශවයෙන් වාචික එකඟතාවකට වඩා නීතිමය පදනමකින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. ඒ අනුව 2002 අංක 24 දරණ සුභසාධක ප්රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති සංශෝධනය කිරීම සඳහා මීට පෙරද මුදල් අමාත්‍යාංශය වෙත කාරක සභාව විසින් නිර්දේශයක් කර ඇති බවත්, එම නිර්දේශය නැවත මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. කාරක සභාවේ දෙවෙනි සැසියේ දී වෘත්තිකයන් මත බදු පැනවීම සම්බන්ධව ගැටළු හා බදු ප්‍රතිපත්තියට සිදු කරන ලද මෑත කාලීන වෙනස් කිරීම් පිළිබඳ සාකච්ඡාවට ගැනිණ. මේ සඳහා විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සංගම්වල නියෝජිතයන් කැඳවා තිබිණ. වෘත්තීය සංගම් හමුවේ අදහස් දැක් වූ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්; ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සතු බලතල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කමිටුව මගින් අනාවරණය කරගත් තොරතුරු, ලබා දුන් නියෝග සහ එහි සාධනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදී. වෘත්තීයවේදීන් වැනි සීමිත ආදායම් පරාසයක් තුළ කටයුතු කරන පිරිසක් විශාල බදු බරකට හසු කිරීම හේතුවෙන් ඔවුන් අසාර්ථක ක්රමයක ගොදුරක් බවට පත්ව ඇති බව වෘත්තීය සංගම්වල අදහස විය. බදු ලබා ගත හැකි විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇති තත්ත්වයක් තුළ නිසි ආකාරයෙන් වැටුප් ලබන වෘත්තීයවේදීන්ගෙන් අය කෙරෙන බදු මුදල් පමණක් නිසි ලෙස අය කර ගැනීමේ ක්‍රමවේදයක් සහිත බැවින් ජීවන වියදමට සාපේක්ෂව සෘණ වැටුපක් ලබන විශාල පිරිසක් වෘත්තීයවේදීන් අතර සිටින බව ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් 2% ක පමණ පිරිසක් සෘණ වැටුපක් ලබන තත්ත්වයට පත් ව ඇති අතර, මේ හේතුවෙන් වෘත්තීයවේදීන් විශාල පිරිසක් රට හැර යන තත්ත්වයට පත්ව තිබෙන බව කියැවිණ. 2022.01.01 දින සිට 2023.09.30 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 348 දෙනෙක් රට හැර ගොස් ඇති අතර, අනෙක් වෛද්‍යවරුන් 850 දෙනෙක් ද රට හැර ගොස් ඇති බව ප්‍රකාශ විය. මේ වන විට රට හැර ගිය සම්පූර්ණ වෛද්‍යවරුන් ගණන 1500 ඉක්මවා තිබෙන බව ද, හෙළි විය. එම කාලය තුළ රෝහල් 20 ක් සම්පූර්ණයෙන් ම වසා දමා ඇති අතර, වැසී යාමේ අවදානම සහිත රෝහල් සහ රෝහල්වල ඒකක 400 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව ප්‍රකාශ විය. බැංකු ක්ෂේත්රයේ සමස්ත සේවක පිරිස වන 56,000 කට ආසන්න ප්‍රමාණයෙන් 1500 කට ආසන්න ප්‍රමාණයක් ජූනි මාසය අවසන් වන විට රට හැර ගොස් ඇති අතර, සැප්තැම්බර් 30 වන විට මෙම තත්ත්වය දෙගුණයක් දක්වා වර්ධනය වී තිබෙන බව කියැවිණ. එමෙන්ම දෙසැම්බර් මාසය අවසාන වන විට මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව ද පැවසිණ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 වර්ෂයට අදාළ ව ඉංජිනේරුවන් 100 කට ආසන්න පිරිසක් විදේශගත වී ඇති අතර, 2023 මාර්තු මාසය වන විට 15% ක් පමණ පිරිසකගේ ආදායමින් ඉතිරි වන ප්‍රමාණය මසකට රු. 20,000 කට අඩු බවත්, 20% කට එම ප්‍රමාණය රු. 40,000 කට අඩු බවත් අනාවරණය විය. වෛද්‍යවරුන්ගේ පමා වූ ගෙවීම් (Arrears Payments) ගෙවීමේ දී, මෙන්ම පශ්චාත් උපාධි සඳහා වියදම් කරන ලද මුදල්වලින් ප්‍රතිපූරණය කරන ගෙවීම්වලට පවා සම්පූර්ණ වශයෙන් බදු අය කෙරෙන අතර, එය පරිපාලන ගැටළුවක් බව වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් කියැවිණ. එම අසාධාරණ ක්‍රමවේදය සම්බන්ධ නිශ්චිත යෝජනාවක් කාරක සභාව වෙත යොමු කරන ලෙස සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය. බදුකරණ ක්‍රියාවලියේ ගැටළුවක් ලෙස මුදලින් සිදු කෙරෙන ගෙවීම් සඳහා බදු අය කිරීමේ ගැටළු පැන නැගී ඇති අතර, FINTEC වැනි ඊ-රිසිට්පත් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඉදිරියේ දී එවන් ඩිජිටල් තාක්ෂණික විසඳුමක් කෙරෙහි වන යෝජනාවක් කාරක සභාව මගින් සිදු කෙරෙන බව ද කාරක සභා සභාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. වෘත්තීයවේදීන් රට හැර විදේශගත වීම සඳහා බලපාන ප්‍රධාන කරුණ වැටුප් සහ බදු සම්බ්බන්ධ ගැටළුව පමණක් නොව, රටේ ආර්ථික අනාරක්ෂිත බව සහ දරුවන්ගේ අනාගතය යන කරුණු ද, ප්රමුඛ ව බලපා ඇති බව මෙහිදී ප්‍රකාශ විය. වෘත්තීයවේදීන් රට හැර යන්නේ කැමැත්තකින් නොවන බවත්, යුරෝපා රටවල්වලට යන බොහෝ වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද රැකියාවට වඩා උසස් මට්ටමේ රැකියා නොලබන බවත්, ජීවන තත්ත්වය ද බොහෝ පහත් මට්ටමකට වැටී දුක්ඛිත තත්ත්වයට පත් වන අවස්ථා වැඩි බවත් ප්‍රකාශ වූ අතර, එම තත්ත්වය පිළිබඳ සමාජය නිසි ලෙස දැනුම්වත් වී නොමැති පෙන්වා දී වෘත්තිකයන් විදේශගත වීම අඩු කොට රට තුළ රඳවා ගැනීම සඳහා සමාජය නිසි ලෙස දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණ. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, එස්.එම්.එම්. මුෂාරෆ්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද එක්ව සිටියහ.
මුලින්ම රාජ්‍ය ආයතන ටික ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. ජනතාව පෙළන වැට් බදු වැඩි කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ බලවත් විරෝධය 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා - එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.- ඊයේ දින (11) වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 15% සිට 18% දක්වා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද නොමග යවමින් වැට් බදු වැඩි කිරීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩි දුර අදහස් දැක් වූ රණවක මහතා, මෙතෙක් කාලයක් වැට් බදු යොදා නොගත්ත තවත් භාණ්ඩ 97කට වැට් බදු එකතු කිරීම සිදුකළ බවත් ,ආණ්ඩුවට බහුතරය තිබුණ ද මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්රදාය මෙවැනි බලහත්කාරී අනුමත කිරීම් කර ගැනීමෙන් තමන්ගේ අසංවරකමත්, අශෝබන කමත් මේ සමාජයට පෙන් වූ බවත් ඊට ඔවුන්ගේ බලගතු විරෝධය පළ කරන බව ද, ප්‍රකාශ කළේය. 2022 තිබූ ආණ්ඩුවේ ආදායම් වලට වඩා 2025 වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5%කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවද වසර 3 ක් වැනි කෙටි කාළයක් තුළ ලොව කිසිදු රටකට අත්පත් කොට ගත හැකි තත්ත්වයක් නොවන බවද මන්ත්‍රිවරයා පැවසූවේය. එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2000 කට අධික ප්‍රමාණයක් බවද, එහිදී කුඩා දරුවෙකුගේ සිට මහල්ලෙක් දක්වා සියලුම දෙනා රු. ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවුරුදු තුනක් ඇතුළත (2023, 2024, 2025) ආණ්ඩුවට බදු වශයෙන් ගෙවීම සිදු කළ යුතු බවද පෙන්වා දුන් පාඨලී චම්පික රණවක මහතා වැට් බදු නැංවීම තුළින් රජය බිලියන 600 කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක් බවත්, 2024 ආරම්භයේදීම ආණ්ඩුව එක් පුද්ගලයෙක්ගෙන් රු. 30,000 ක් බදු වශයෙන් උදුරා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. මේ ආකාරයට රටේ ජනතාව මත බදු බර නොදමා සීනි, පිටි, පොල්තෙල් වලින් බදු වංචා කළ අයගේ බදු ආදායම් සොයා ඒවා ආණ්ඩුව අය නොකර ගන්නේ මන්දැයි ප්‍රශ්න කළ රණවක මහතා ඉදිරි වසර තුළ ජනතාවට සහන සැපයීමට අවශ්‍ය කරන ඕනෑම තීන්දුවක් ගැනීමට සූදානම් බව ද පැවසීය. තෙල් සංස්ථාවේ ලාභය බිලියන 88ක් වුවද එම ආයතනය ද බදු නොගෙවා ඇති බවත්, රාජ්‍ය ආයතන 52 ක ලාභය බිලියන 303ක් බවත් එම ආයතන වලින් ද, රජය බදු අය කර ගත යුතු බව පෙන්වා දුන් රණවක මහතා, පසුගිය මාසයේ ලංකා විදුලිබල මණ්ඩලේ ලාභය කෝටි 2600 ක් බවත් මේ මාසයේ කෝටි 3000 කට වඩා ලාභයක් අපේක්ෂා කරන බවත් පැවසූ අතර, එම ආයතන වලට බදු නොගෙවිය හැක්කේ මන්දැයි ප්‍රශ්න කළේය. තවමත් බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන ආයතනයක් මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු රිසි සේ කරගෙන යන බව ද සඳහන් කළේය. ඒ නිසා සෑම සතියකම කෝටි 10.6 ක් (දස කෝටි හැට ලක්ෂයක්) රටට අහිමි වන බව ද පෙන්වා දුන්නේය. රෝහල් සියයක් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බවත් අධ්‍යාපනය ලැබීමට වසරකට 15000ක් ඕස්ට්‍රෙලියාවට සංක්රමණයවීම හේතුවෙන් ඩොලර් මිලියන 600කට අධික ප්‍රමාණයක් රටට අහිමි වන බව ද ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයැදුම් කිරීමෙන් ලොව 12 වැනි රට බවට අප රට පත් ව තිබෙන බව ද ඔහු පැවසීය. නව බදු ප්‍රතිපත්තිය අනුව ඩීසල් ලීටරයක් රු.34 කින්, හා 92 පෙට්‍රල් ලීටරයක් රු. 38 කින් පමණ වැඩිවෙන බවත්, ලබන ලබන වසරේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ ද ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ වන බව ද ඔහු පැවසීය. ඉලක්කගත බදු ආදායම ලබා ගැනීමට අවශ්‍ය නම් වියදම් කප්පාදු කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැනෙන සුළු අයට දැනෙන විදියට කළ යුතු බවත්, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂටත්, 2020 අගෝස්තු මාසයේ දී පොහොට්ටුවට ඡන්දය දීමේත් ප්‍රතිඵලයක් ලෙසට සැමට ආදායම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් අහිමිව ඇති බවත් පැවසුවේය. එක්සත් ජනරජ පෙරමුණ තීරණාත්මක 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ගොඩනගන බවත්, අයුක්තියට පත් ව සිටින රට පරාධීනත්වයට පත්ව තිබෙන රට ඉන් ගලවා ගැනීම සඳහා බොහෝ ක්‍රම ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා රජය මගින් ඊයේ සම්මත කරගත් පනත මගින් නැවත භාණ්ඩ 97 කට වැට් එකතු කිරීම මඟින් රටේ ජනතාව පීඩනයට පත් කිරීම පිළිබඳවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ අනූ හතකට නැවත එකතු කිරීම මගින් රජය මේ රටේ සාමාන්‍ය ජනතාව මතට විශාල බරක් එකතු කොට ඇති බවත් පැවසීය. ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන බවත් එම මැතිවරණ වලදී අවශ්‍යවන අරමුදල් ලබා ගැනීමේ අරමුණින් බදු වංචාවලට අදාළ සමාගම් වලින් බදු අය කර ගැනීමට කටයුතු නොකොට සාමාන්‍ය ජනතාව මත බදු බර පටවන බවත් ඔහු පැවසීය. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු පැනවීම හේතුවෙන් මන්දපෝෂණය වැඩි වන අතර, ඖෂධ නිෂ්පාදනය සඳහා යන්ත්‍ර වලටත් වැට් එකතු කිරීම මගින් ඖෂධ නිෂ්පාදනය අඩුවන බව ද, ඒ මහතා ප්‍රකාශ කළේය. ඩීසල් වලින් සිදු වන විදුලිබල නිෂ්පාදනය නිසා විශාල වශයෙන් විදුලි බිල ඉහළ ගොස් ඇති බවත් එයට ප්‍රතිකර්මයක් ලෙස සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය ජනතාව යොමු කළ යුතු වුව ද, ඒ සඳහා ද බදු පැනවීම හේතුවෙන් විදුලිය ඉන්ධන හරහා සිදුකිරීමට සිදු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. බදු වැඩි කිරීම පිළිබඳව ජාතික සංවිධායකවරයා එක්සත් ජනරජ පෙරමුණේ බරපතළ විරෝධය ප්‍රකාශ කළේය. ප්රශ්නය - ඒ උනාට අපි දැක්කා නාමල් රාජපක්ෂ මැතිතුමා එතකොට තවත් පාර්ලිමේන්තුවේදීත් කිව්වා අපි මේ බදු අය කිරීමට අපිත් විරුද්ධයි කියලා. නමුත් මේ අය ඡන්දේ නම් ලබා දුන්නා. පිළිතුර බදු අය කරන්න වෙලා තියෙන්නේ රට බංකොලොත් වෙච්ච නිසානේ. ඉතින් බංකොලොත්භාවයට වගකිව යුතු වන්නේ එතුමාගේ පියාණන් එතුමාගේ බාප්පලා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා, එතුමන්ලාගේ උපදේශක වෙච්ච පී. බී. ජයසුන්දර හා අජිත් කබ්රාල් කියලා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග දීලා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ වගකීමෙන් මිදෙන්න ඔවුන්ට බෑ. ඒ බව ඔවුන් අවබෝධ කරගෙන අනාගතයේ දේශපාලනය කරනවා නම් හොඳයි, තවත් වහසි බස් කියන්නේ නැතුව. ඒගොල්ලෝ එළියේ කියනවා අපි මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වලට විරුද්ධයි කියලා., ඊට පස්සේ ආපහු ඡන්දේ දෙනවා. ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? ජනතාවට අපිට කියන්න තියෙන්නේ ඔය පොහොට්ටුව හරහා සෞභාග්‍යමත් අනාගතයක් කරා යන්න ඡන්දේ දීලා දැන් රුපියල් ලක්ෂ දෙකක් එක පුද්ගලයෙක් නැති කරගෙන තියෙනවා. තුන්වේල කාපු මිනිස්සු දෙවේල කනවා. දෙවේල කාපු මිනිස්සු එකවේල කනවා. රටේ පිරිහිච්ච නැති තැනක් නෑ. කර්මාන්ත කඩා වැටෙනවා. ජීවත් වෙන්න බෑ. මේ වෙනකොට පන්ලක්ෂ පනස්දාහකගේ විදුලිය විදුලි බලය ගෙවා ගන්න බැරුව කපලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා කිව්වා නිවන් දකින්න ඡන්දේ දෙන්න කියලා පොහොට්ටුවට.. ඉතින් ඒකේ ප්රථිඵලයක් හැටියට අද පිරිවෙන්වල, ඒ වගේම විහාරස්ථානවල විදුලිය කපලා තියෙනවා. හැම වසරකම 2000 කට අධික පිරිසක් භික්ෂූන් වහන්සේ සිවුරු අරිනවා. මාසෙකට 175 ක් විතර සිවුරු අරින්න පෝලිමේ ඉන්නවා. අර බැමිණිටියාසාය ආවට පස්සේ, වළගම්බා යුගයේ අපට ඒ තත්වය අත්පත් කරලා දුන්නේ, අපේ රාජපක්ෂ කියන එක බොහෝම කණගාටුවෙන් හා දුකෙන් කියනවා. ඒ වගේම අපිට අභිමානයක් තියෙනවා මේ අයව අවුරුදු 10 කට කළින් 2014 දි හෙළිදරව් කරලා මේ කට්ටිය මෙහෙමයි කියලා ආණ්ඩුවෙන් එළියට බැහැලා සටන් කිරීම ගැන අපිට අභිමානයක් තියෙනවා.
පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගර්භනී මවුවරුන් උදෙසා උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සංවිධානය කර තිබිණ. බණ්ඩාරනායක මාවත මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මෙම වැඩසටහන සෑම සතියකම අගහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, සංවිධාන කටයුතු මැද කොළඹ සචිත්ර රණසිංහ මහතා විසින් සිදු කරනු ලබයි. මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; "කොළඹ නගරය ඇත්තටම දැන් අවුරුදු 30 ක් තිස්සේ ජනගහනය වැඩි වෙන්නෙ නෑ. අවුරුදු 30 කට කළින් හිටපු ජනගහනයමයි තාම ඉන්නේ. මොකද මේ නගරය අතහැර දාලා වැඩියි. ඉපදෙන ගානට වඩා, අලුතෙන් පදිංචි වෙන ගානට වඩා නගරය අත ඇරලා දාලා යන ගාණ ඒක නිසා 1993 හිටපු ජනගහනයම තමයි අදත් ඉන්නේ. ඉතින් ඉස්සර මැද කොළඹ කිව්වාම විශාල ආසනයක්. ගොඩාක් සෙනඟ හිටපු ආසනයක්. දැන් ලොකුවටම සෙනඟ ඉන්නේ හෝමාගම. මැද කොළඹ නෙමෙයි. ඒ වගේ අපේ ජනගහනය ගොඩාක් අඩුවෙලා තියෙන්නේ. මොකද මේ නගරය නාගරික පහසුකම් හරි අඩුයි. මම කාලයක් නාගරික සංවර්ධනය භාරව හිටියා. අපේ ඉන්න පවුල් 70000 න් 60000 ක්ම අපිට කියන්න පුළුවන් දුප්පත් ජනතාව. අපි ගෙවල් 50000 ක් අඳුනගත්තා හදන්න. 20000 ක් අවසන් කළා. මේ අවට තියෙන ඔක්කොම ගෙවල්. අපි ඒ කාලේ හදලා ඉවර කළේ. නමුත් තව විශාල පිරිසකට නිසි නිවාස නෑ. ඒ හින්දා හරිහමන් ජීවන රටාවකුත් නෑ. හරි හමන් ආදායමකුත් නෑ. ඒ වගේම දරුවන්ගේ අනාගතය ගැන එහෙම විශ්වාසයකුත් නෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපි යම් යම් ප්‍රශ්න කොළඹ විසඳුවා. දැන් කොළඹ කුණු ප්‍රශ්නෙ නේද? කුණු ගොඩවල් ගැහිලා, මුලින්ම තිබුණා මට්ටක්කුලිය කුණු කන්දක්, ඊළඟට තිබුණා බ්ලූමැන්ඩල් වල කුණු කන්දක්. ඊළඟට කොලොන්නාවේ කුණු කන්දක්. අන්තිමට කොලොන්නාවේ, මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියා. 33 දෙනෙක් නැතිවුණා. දැන් අද කසල ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අපි ඒ ප්‍රශ්නෙ විසඳුවා. අද කොළඹ කුණු වලින් විදුලිය නිපදවෙනවා. ඒක තමයි කතාව. නමුත් අදත් නිපදවෙලා ඉතුරු වෙන ඒ අළු ටික ගෙනිහින් දාන් නෑ. අපි හැදුවා ස්ථානයක්. පුත්තලම. එතැනට ගෙනියන්න. ඉතින් ඒ වගේ මේ නගර ඒ කරලා දීපු වැඩ ටිකවත් කරගෙන යන්න තත්වයක් නෑ. ඊළඟට ඉස්සර හරියට උතුරු කොළඹ මේ අවට ප්‍රදේශවල ගංවතුර තිබුණා. කැළණි ගඟ උතුරන්නෙ නෑ. මීට වඩා කොළොන්නාවේ. ඊටත් වඩා කඩුවෙල. කොච්චර වැස්සත් මේ පහුගිය මං හිතන්නේ අවුරුදු හතර තරම් වැස්සෙ නෑ ලංකාවට කවදාවත්. පිටාර මිසක් ගංවතුර. පිටාර ඇතිවෙනවා. පිටාර ඇතිවෙන එකට ප්‍රධාන හේතුව අපේ නගර සභාව, අපේ කානු පද්ධතිය නඩත්තු කරන්නේ නෑ. ඒක නිසා පිටාර ඇති වෙනවා. නමුත් අපි පොළොව යටින් උමං හදලා, ලන්දේසි කාලෙන් පස්සේ පොළොව යටින් අපි උමං හදනකොට ගොඩක් දෙනෙක් කිව්වා මේ නගරේ ගිලාබහී නගරේ කඩා වැටෙයි. ගෙවල් විනාශ වෙයි. ගොඩාක් විරෝධතා තිබුණා. නමුත් අපි කොළඹත් හැදුවා උමං දෙකක්. මේ මේ මැද කොළඹත් හැදුවා. බම්බලපිටියෙත් හැදුවා. කිසිම ප්‍රශ්නයක් නැතිව අද ඒ උමං වැඩ කරනවා. මෙතන මේ අපේ උසාවිය ගාව ජල පොම්පාගාරයක් හැටියට නාගලන්වීදිය ජල පොම්පාගාරයක් ඇතිවුණා. ඒ වගේම අඹතලේ පොම්පාගාරයක් හැදුවා, කඩු පාලමේ හැදුවා. එතන ගංවතුර ආවොත්, ගඟට වතුර පොම්ප කළා. අද හුඟාක් දෙනෙක් දන්නේ නෑ. දැන් අපි දන්නවා මාතර ගංවතුර නේද? හැමදාම නිල්වලා එකක්. කැළණි ගඟේ ගංවතුර දැන් නෑ. දැන් කාටවත් කෑම බෙදන්න ඕන නෑ. අනාථ කඳවුරු නෑ. මේප්‍රශ්නෙ අපි විසඳුවා. හැබැයි පස්සේ සීයට සීයක් විසඳලා නෑ. ස්ථාන පහළොවක් අඳුරගත්තා. හයයි ඉවරෙටම. ඒ ඉවර කරපු තැනින් එක අඟලක්වත් ඉස්සරහට ගිහිල්ලා නෑ. ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නෙ නෑ. ඩෙංගු උවදුර විශාල වශයෙන් පැතිරිලා යනවා. ඩෙංගු උවදුර පැතිරිලා ගියාට දැන් අපේ නගර සභාවට අපිට තියෙනවා කාර්යාල. අර දුමායනය කරන්න කිව්වම දුම් ගහන්න සල්ලි නෑ කියනවා. ඉතින් එතකොට ඩෙංගු උවදුර ඇතිවෙනවා. ඒක භයානක ප්‍රශ්නයක්. ඒක ඇඟට නොදැනී පැතිරිලා යනවා. මං හිතන්නේ මේ සංඛ්‍යාලේඛන එහෙම ඉදිරිපත් කරන එක ඇයි කරන්නෙ නැත්තෙ කියලා ඇහුවහම සංචාරකයෝ එන එකක් නෑ කියලා කියනවා. ඒ කියන්නේ දැන් හොඳම ඩෙංගු පැතිරුණාම ලංකාවට සංචාරකයෝ එන්නේ නැතුව එළියට. ඒක හින්දා මේක හොඳ නෑ. ඒක කියන්න ඕනේ. මේක අපි කතා කරන්න ඕනේ. මේක ඉතාමත්ම නරක තත්වයකට පත් වෙනවා. දැන් අපි සතුටු වෙනවා අපේ වෛද්යාචාර්යතුමිය මෙතන ඉන්න එක ගැන. දැන් රටේ දොස්තර මහත්තුරු රට දාලා යනවා. ග්‍රාමීය රෝහල් 40 ක් වැහිලා. විශේෂයෙන් වතුකරයේ. තව 100 ක් වැහෙන්න යනවා. විශේෂඥ වෛද්‍යවරු යනවා. ඇයි මේ රටේ දැන් ඉන්න හිතෙන තැනක් නෙවෙයි. ඉතින් අපේ දරුවෝ රට යනවා. ඒ පිටරට මෙහෙ දේපළ විකුණලා හරි, අපේ අම්මලා, තාත්තලාගෙත් අදහස ඒකනේ. කොහොමහරි ළමයි රට යවන්න ඕනෙයි කියලා නේද? ඉතින් ඒ ඒ විදිහට වෙනවා. ඉතින් රට ටික ටික, වැදගත් මිනිස්සු නැති තැනක් බවට පත්වෙනවා. එහෙම රටක තමයි දැන් මේ ලස්සන දරුවෙක් උපත ලබන්න ඉන්නේ. ඉතින් ඒක හින්දා ඒ දරුවව අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ දරුවට සුරක්ෂිත හෙටක් ඇති කරන්න ඕනේ. මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කිව්වා හැම 10 දෙනෙක්ගෙන්ම 6 දෙනෙක් ඉන්නේ අනතුරුදායක තත්ත්වයක. එක්කෝ කෑම නැතුව. එක්කෝ අධ්‍යාපනය නැතුව, එක්කෝ සෞඛ්‍ය පහසුකම් නැති වෙනවා. හැම දහ දෙනෙක්ගෙන්ම හය වෙනවා. ලොකු ගාණක්. දැන් අපි අපේ මේ කොළඹ නගරයේ ඉන්න අයගෙන් 90%ක් ම අයිති වෙන්නේ ඒගොල්ලන්ගෙන්. මොකක්ද එක්කෝ ආහාර නැතුව, පෝෂණය නැතුව, එහෙමත් නැත්නම් අධ්‍යාපනය නැතුව, එහෙමත් නැත්නම් සෞඛ්‍ය පහසුකම හරියට නැහැ. ඒක නිසා අපි ඉතාම සතුටු වෙනවා අපේ මේ කරන මේ සත්කාරයට, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයටත්, කථිකාචාර්යතුමියටත් අපි නැවත ස්තූතිවන්ත වෙනවා. මේ වගේ කටයුත්තක් කිරීම ගැන. ඉතින් අපි ප්‍රර්ථනා කරනවා ඔබේ කුසේ ඉන්න දරුවා මේ රටට, මේ ලෝකයට බිහිවෙලා, මේ රටට නායකයෙක් වෙන්න ක්‍රියා කරයි කියලා. මොකද හැම දෙයක්ම කරන්න හැම දෙයක්ම කරන්න යම් මහන්සියක් වෙන්න ඕනේ නේද? වේදනාවක් විඳින්න. ඒ අර්ථයෙන් ගත්තම මේ ලෝකේ අමාරුම වේදනාවෙන් ඉන්නේ කවුද? අම්මාවරුන්. නේද? මේ දරුවෙක් උපත ලබන එක මාරම වේදනාවක්. ඒක තමයි ලෝකේ දරාගන්නම බැරි වේදනාවක්. හැබැයි ඒ වේදනාව දරාගෙන දරුවෙක් උපත ලබන්න අම්මාවරු බැහැයි කිව්වා නම් ඇහුවොත් අපට නම් බැහැ. දරුවෝ වේදනාව දරන්න කියලා. මමත් නැහැ. මේ අපි කවුරුත් නැහැ. ඒ මොකද ඒ අම්මාවරු ඒ වේදනාව දරන්න සූදානම් වීම නිසා තමයි මේ ලෝකේ බිහිවෙනකොටම බිහිවෙලා තියෙන්නේ. එතකොට අපි වේදනා විඳින්නේ, කැපවීම් කරන්නේ අපේ දරුවෝ ගැන. මම ගත්තාම, මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැරිවියෝ දෙන්නෙක්. එක එක්කෙනා විවාහ වෙලා, අනිත් එක්කෙනා විවාහ වෙලා නෑ. ඉතින් අපි දන්නවා, මේ අද රටේ තියෙන ගැටලුව, ප්‍රශ්න. ඉතින් ඒක හින්දා, මේ අමාරු වේදනාවකට මුහුණ දෙන්න යන්නේ ඕගොල්ලෝ. ඒ වේදනාවෙන් පස්සේ එන්නේ, මේ රටට, මේ නගරයට, ඉදිරිය ගොඩනගන්න පුළුවන් විශාල පෞරුෂයක් තියෙන දරුවෙක් කියන එක විතරක් හිතේ තියාගෙන, අපි කටයුතු කරමු.
විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට නිල අයිතිවාසිකමක් තියෙනවා, මේ ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන්න. පසුගිය කාලේ ධනයට, බලයට, රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කළා. ඒත් ඒ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ටම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යා යුතුමයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. "පාලනාධිකාරිය, වෘත්තීය සමිති වලට අමතරව විදුලි පාරිභෝගිකයා කියන අලුත් බලය අද ශක්තිමත් වෙලා තියෙනවා තුන්වෙනි බලවේගය විදිහට. "මේ ක්ෂේත්රයේ අයිතිකරුවෝ අපි" කියලා යම් යම් ආයතන, සංවිධාන, ක්ෂේත්‍ර කතා කළාට, මේ විදුලි ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට අද ඉඳන් නිල අයිතිවාසිකමක් තියෙනවා මේ ක්ෂේත්රය සම්බන්ධ කටයුතු කරන්න" යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ප්‍රකාශය සහ සැපයුම් සේවා සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, අපේ රටේ විදුලිබල ක්ෂේත්රය එක්තරා අවිධිමත් ක්රමවේදයකයි පවතින්නේ. එයට හේතුව රජයන් විසින් ගනු ලැබූ ඇතැම් ප්‍රතිසංස්කරණ යෝජනා වෙනත් රජයන් විසින් වෙනස් කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කළ යුතු අවස්ථාවකයි අපි අද සිටින්නේ. 19 සියවසේ අගභාගයේ උතුරු ඇමරිකාවේ එංගලන්තයේ සහ යුරෝපයේ විදුලි පද්ධති ඇති වුණා. විදුලි මිල ක්‍රමය ඇති වුණා. බිල් සැපයුම ඇතිවුණා. ඒවා බොහෝ දුරට කෙරුනේ පුද්ගලික සමාගම් වලින්. ඒ සමාගම් විවිධ මිල අයකිරීම් කළ නිසාත්, වෙනත් කිසිඳු ප්‍රභවයක් විදුලිය ලබාගැනීමට නොතිබුණ නිසාත් විදුලි නියාමනය අවශ්‍ය වුණා. ඒ අනුව තමයි නියාමන කොමිෂන් ඇති වුණේ. මේ රටේ විදුලි ඒකාධිකාරයක් ලංවිමට තිබුණා. 1969 නව පනතකින් විදුලිබල මණ්ඩලය බිහිකරද්දි රටේ ජනතාවගෙන් 4% කටයි විදුලිය තිබුණේ. විදුලියන අනුපාතය වැඩිවෙලා අද 100 % ක විදුලිය ලබාදෙන තත්ත්වයක් ඇති වෙලා. ඇත්තටම 56 ලක්ෂයක් වන පිරිසෙන් ලක්ෂයකට වගේ තමයි අද විදුලිය නැත්තේ. නමුත් සෑම ගමකටම අද විදුලි පහසුකම සපයලා තිබෙනවා. නිවාස 60,000 ක් පමණ තාවකාලික නිවාස වලට විදුලිය ලබාගනීමේ ගැටළුවකුත් තියෙනවා. දකුණු ආසියාවේ හොඳම විදුලියන අනුපාතය පවතින රට බවට ලංකාව පත්වෙලා. ලංවිම පාඩු ලබන අකාර්යක්ෂම ආයතනයක් බවට සමාජ මතයක් ඇතිවීමේ ප්‍රතිපලයක් හැටියට විදුලිබල මණ්ඩලය කොටස් 6 කට වෙන්කරනු ලැබුවා. ඛනිජ තෙල් ක්ෂේත්‍රයත් කොටස් 3 කට වෙන්කරලා. විවිධ සමාගම් අතර බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී මේ ක්ෂේත්‍ර සම්බන්ධව යම් නියාමනයක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ තමයි මහජන උපයෝගීතා කොමිසම පිහිටෙව්වේ. විදුලිය , ඛනිජ තෙල් සහ ජලය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මේ මහජන උපයොගීතා කොමිසම පිහිටෙව්වා. නමුත් අද වෙනකල් විදුලි ක්ෂේත්රය පමණයි මේ මහජන උපයෝගීතා කෙමිසමට සම්බන්ධ වෙලා තිබෙන්නේ. අපේ බොහෝ විට සංසන්දනය වන අංශ දෙකක් තමයි විදුලිබල ක්ෂේත්රය සහ දුරකතන. දුරකතන සේවය පුද්ගලීකරණය වනවිට විශාල භීතියක් තිබුණා මිල වැඩි වෙලා සේවා තත්ත්වය පහළ මට්ටමකට වැටෙයි කියලා. නමුත් සිදුවුණේ ඒකේ අනිත් පැත්ත. මිල අවම වෙලා වඩාත් ගුණාත්මක සේවයක් ලබාදෙන්න දුරකතන සේවයට හැකිවුණා. විදුලි ක්ෂේත්රය සම්බන්ධයෙනුත් ඒ අවස්ථාවේ බලවත් ලෙස තර්ක මතුවුණා. දැනට රජයේ කිසිඳු තීරණයක් නැහැ විදුලි ක්ෂේත්රය මේ තියන තත්ත්වය වෙනස් කරන්න. අපිට දැන් තියෙන්නේ දැනට පවතින මේ ක්ෂේත්රය කාර්යක්ෂමව පවත්වා ගැනීම. අපි එක ඉලක්කයක් සාර්ථක කරගත්තා. ඒ තමයි රට පුරාම විදුලිය ලබාදීම. අපේ අනෙක් ඉලක්කය තමයි 24 පැයම විදුලිය ලබාදීම. ඒකත් යම්කිසි මට්ටමකට සාර්ථක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද ලෝකයේ සෑම ක්ෂේත්රයක්ම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක් සමග බැඳිලා තියෙන්නේ. පාරිභෝගික අයිතිය, වගකිම පිළීබඳව, සන්නිවේදන තාක්ෂණයෙන් අපට තොරතුරු ලබාදීමට බැඳිලා ඉන්නේ. මහජනතාවට අයිතියක් තියෙනවා තමාගේ බිල සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඕන ඕන ගණන් සපයන්න හැකියාවක් නැහැ. අපි ඒ ගැන මහජනයාට වගකිව යුතුයි. විදුලි ක්ෂේත්රය අපේ අකාර්යක්ෂමතාව නිසා පාඩු ලබනවානම්, මහජනයාගේ මුදලින් තමයි ඒ පාඩු ගෙවන්නේ. මේක ඉතාම හොඳ වැදගත්, විප්ලවිය අවස්ථාවක්, විදුලි පාරිභෝගිකයාට තමන්ගේ වගකීම සහ අයිතිවාසිකම් දැනගැනීමට. අපි සෑම කෙනෙක්ම විදුලි පාරිභෝකයෙක්. මේ ආයතනයේ සභාපතිවරයාත්, සාමාන්‍යාධි කාරිවරයාත්, වෘත්තීය සමිතිවල අයත්, ඇමතිවරුත් පාරිභෝගිකයෝ. ඒ නිසා විදුලි පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා දේශපාලනමය වශයෙන් වුවත් ලංකා විදුලිබල මණ්ඩලයේ, ලෙකෝ ආයතනයේ අනාගතය තීරණය කරන්න. මේ ආයතන වල සිදුවන ක්‍රියාදාමය මොකක්ද. ගනුදෙනු මොනවාද යන්න මීට වඩා බලාත්මකභාවයක් උසුලන්න ඕන පාරිභෝගික ජනතාව. පසුගිය කාලේ ධනයට බලයට රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කරන්න පුළුවන් වුණේ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යායුතුමයි. ඒ වගේම ඕනෑම බලවන්තයෙක්, බලගතු දර්ශනයක්, සිද්ධාන්තයක් ඒ අවට පරිසරයේ වෙනස්වීමට නතු වන්නේ නැත්නම්. ඒවා වඳවී යනවා. වෙනස්වීමට නොහැකිවන තත්ත්වය යටතේ ඕනෑම දෙයක් වඳවෙනවා. ඉතාම බලවත් ශක්තිමක් ඩයිනෝසරයන් වඳවී ගියා. බලගතු රාජ්‍යයන්, අධිරාජ්‍යයන් වඳවී ගියා. ඒ නිසා මේ විදුලි පාරිභෝගික තත්ත්වයත් සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. පැරණි තාලයටම අපට හැමදාමත් කටයුතු කරන්න බැහැ. අපට මොන විදිහේ දේශපාන ශක්තියක් තිබුණත් වෙනස්වීමට අනුව වෙනස් වෙන්න බැරිනම්, අප වඳවීයාමට ගොදුරු වෙනවා. අපේ ජනතාව බලාත්මක කරන්න, වෙනස්වීමට සුදුසු ආකාරයෙන් වෙනස් වෙමින් කටයුතු නොකළොත්, ජනතාව අපව වෙනස් කරාවි. ඒ නිසා විදුලි පාරිභෝගික සමිති මේ රටේ විදුලිබල ක්ෂේත්රය පාලනය කරනු ලබන පාලනාධිකාරිය බවටම පත්වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා" යැයි පැවසීය. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ලංවිම සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එම්. සී. වික්‍රමසේකර , ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති බන්ධුල චන්ද්‍රසේකර, සාමාන්‍යාධිකාරි එච්.එස්. සෝමතිලක, මහජන උපයෝගී කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
CameraLK (කැමරා-එල් කේ) හි ඡායාරූපකරණය පිළිබඳ පුහුණුව ලැබූ පුහුණුලාබීන් සඳහා සහතික පත්‍ර ප්රදානය කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වින. මෙහිදී දිවයිනේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවිය. තවද CameraLK මඟින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත සමරු තිලිණයක් ද පිරිනැමීය.
රටේ ඉදිරි දැක්ම කෙබඳු විය යුතුද? විද්වත් කතිකාවත සදහා රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඒකරාශී කොට මේ වන තෙක් රටේ දියුණුවේ පසුබෑමට බලපෑ හේතු සහ ඒවා මගහරවා ගනිමින් තම තම ක්ෂේත්‍ර තුලින් ඒ සදහා ලබා දිය හැකි දායකත්වය පිළිබදවද මෙහිදී සාකච්ජා කරනු ලැබිණි.