පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අද (31) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජනය කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් සේවා සංගමය, දේශීය ආදායම් පොදු සේවක සංගමය, දේශීය ආදායම් විධායක නිලධාරී සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහභාගී විය.
අය වැයෙන් යෝජිත වයස 18 ට වැඩි පුද්ගලයින් සඳහා බදු ලිපිගොණු විවෘත කිරීමේ කාර්යය සිදු කිරීම අපහසු බවත්, එම ක්‍රියාවලිය ප්‍රායෝගික නොවන බවත් දන්වා සිටි නියෝජිතයින් හට එම ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් හා ඉදිරියේදී සිදු කිරීමට නියමිත ජන සංගණනයේදී එම තොරතුරු රැස් කිරීම පිළිබඳව මෙහිදී සභාපතිවරයා විසින් යෝජනා කරන ලදී. අයවැයෙන් යෝජිත බදු ලිපි ගොනු විවෘත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ජංගම දුරකතන ඇප් එකක් නිර්මාණය කිරීම හෝ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ජන සංගණනය හරහා එම තොරතුරු ලබා ගැනීමට මෙහි දී අවධානය යොමු කෙරිණ.
එමෙන්ම, RAMIS (ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය) යාවත්කාලින විය යුතු ආකාරය පිළිබඳව ද, සභාපතිවරයා විසින් මෙම නියෝජිතයන් වෙත උපදෙස් දෙන ලදී.
RAMIS පද්ධතියේ (ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ) බදු ගෙවන්නන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමේ දී (bulk registration) බදු ගෙවන්නාගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය පමණක් අත්‍යවශ්‍ය තත්ත්වයේ තබාගෙන ඊමේල් ලිපිනය අනිවාර්යය වන අවශ්‍යතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ද, මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණ. එම පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ ආයතනයක් පිහිටුවීම පිළිබඳවත්, ලබන වසරේ දී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය අදාල සිංගප්පුරු සමාගමෙන් ලංකාවට භාර දෙන බවත්, එය ක්‍රමවත්ව කර ගැනීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට තාක්ෂණික පහසුකම් නොමැති බවත් වෘත්තීය සංගම් නියෝජිතයන් විසින් සඳහන් කරන ලදී.
මෙම කරුණු පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන බව ද, සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.